ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ස්පාඤ්ඤයේ නැඟෙනහිරෙන් පිහිටි වැලෙන්සියා ප්‍රාන්තයට පෙරේදා බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් හටගත් දරුණු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 158දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවත් පුද්ගලයන් රැසක් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බැවින් මරණ ගණන තවත් ඉහළ යනු ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වැලෙන්සියා ප්‍රාන්තයේ නගර ගණනාවකට මේ ගංවතුර තත්ත්වය බලපා ඇති අතර, නිවාස, ගොඩනැඟිලි, මහාමාර්ග,පාලම් හා රථ වාහන සිය ගණනක් ද ගංවතුරට හසුවී විනාශ වී ඇතැයි වාර්තාවේ. මේ වන විටත් එරට ආපදා සහන සැලසීමේ කණ්ඩායම්, යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව අතුරුදන්වුවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා දසදහසකට වැඩි පුද්ගලයන් පිරිසක් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එක දිගට අඛණ්ඩව පැය අටකට වැඩි කාලයක් ඇද හැලුණු වර්ෂාව ගංවතුර තත්ත්වයට හේතු වී ඇති අතර, ඇසින් දුටු පුද්ගලයන් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ එය ‘සුනාමියකට සමාන වූ ගංවතුර තත්ත්වයක් බවය.අධික වැසි තත්ත්වය හේතුවෙන් දුම්රිය හා පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර, ප්‍රාන්තයේ සියලු පාසල් ද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.මෙවැනි දරුණු ගංවතුර තත්ත්වයක් ස්පාඤ්ඤයට බලපා ඇත්තේ වසර 51කට පසුව බවත්, මීට පෙර 1973 දී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් ජීවිත 150ක් පමණ අහිමිවූ බවද වාර්තා වේ.

ගංවතුර හා වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර, මියගිය පුද්ගලයන් වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

විපතට පත් වූවන් සඳහා යුරෝ මිලියන 250 ($ 270m) ආධාර ප්‍රකාශයට පත් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න