ඊජිප්තුව හෙට (නොවැ. 01) සුවිසල් කෞතුකාගාරයක් විවෘත කරන්නේය. ගීසා පිරමීඩ පෙනෙන මානයේ, වර්ග කි.මී. 500,000 ක පරිශ්‍ර වපසරියක ඉදි කර ඇති එය, ග්‍රෑන්ඩ් ඊජිප්තු කෞතුකාගාරය (Grand Egyptian Museum) යනුවෙන් නම් කර තිබේ.
අභ්‍යන්තර සහ කලාපීය අර්බුද හේතුවෙන් අඩපණව ඇති එරට  සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් එය  විවෘත කෙරේ.
ඊජිප්තු ශිෂ්ටාචාරය පුරා මතු කරගත් දස දහස් සංඛ්‍යාවකට අධික කෞතුක භාණ්ඩ එහි ප්‍රදර්ශනයට තබා  ඇත. එම ශිෂ්ටාචාරයේ සුප්‍රකට තුතන්කාමන් (Tutankhamun) රජුට අයත්, ලොව මුල් වරට ප්‍රදර්ශනය කෙරෙන වටිනා කෞතුක වස්තූන් රැසක් ද ඒ අතර වේ.  
නව කෞතුකාගාරය VR ඇතුළු නවීන පහසුකම් රැසකින් ද  සමන්විතය.  
ආර්ථික අර්බුද රැසකින් ගැලවීම පිණිස අවස්ථා රැසකදී ඊජිප්තුව ජාත්‍යන්තර මූල්‍ය සහන පැතීය.
එරට අත්‍යවශ්‍ය ඉන්ධන සහ ධාන්‍ය ආනයන සිදු කෙරෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන් උපයන ධනයෙනි. ඉකුත් වසරේ එරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 15.7  ඉක්මවීය.
නිල වාර්තා අනුව, ඊජිප්තුව පසුගිය වසරේ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක වාර්තාගත ආදායමක් ඉපයීමට සමත් විය.  2015 / 16 වකවානුවේ එරට සංචාරක ව්‍යාපාරය අතිශය පිරිහීමට ලක් වූ අතර වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 තෙක් පහත වැටිණි. 2011 වසරේ එරට ක්‍රියාත්මක වූ ජන අරගලයෙන් අනතුරුව මුහුණ පෑ දේශපාලන අර්බුද ඊට හේතු විය.
අබලන් යටිතල පහසුකම්, දුර්වල සැලසුම්කරණය මෙන්ම, ආරක්ෂක හේතූන් මත පැනවූ විවිධ නෛතික සීමා හමුවේ ද එරට සංචාරක කර්මාන්තය බෙහෙවින් අඩපණ විය. මෑතක සිට ඊජිප්තුව එම අර්බුද ජයගනිමින් සිටී. සංචාරක කර්මාන්තය පිලිබඳ එරට අසල්වැසි තරගකරුවා තුර්කියයි. පසු ගිය වසරේ ඒ වෙත ඇදුණු  විදෙස් සංචාරකයින්   සංඛ්‍යාව මිලියන 50 ඉක්මවයි. තුර්කිය, ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 60කට අධික ආදායමක් ඉපැයීය.
පැරණි කයිරෝ කෞතුකාගාරයේ තැන්පත් කිරීම  පිණිස ඉඩ ඇහිරි  කෞතුක භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ද නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට එක්  කර ඇත. රතු මුහුද ආශ්‍රිත  නිකේතන එරට ප්‍රධාන විදෙස් සංචාරක ආකර්ෂණයකි. කයිරෝ අගනුවර සිට ඒ වෙත යාමට  ගතවන කාලය අවම වශයෙන් පැයක් පමණ වේ. එහි පැමිණෙන බොහෝ විදෙස් සංචාරකයින් දීර්ඝ ලෙස රැඳී සිටීමට ප්‍රිය කරන  බව ද ඊජිප්තු සංචාරක බලධාරීහු පවසති.
පසු ගිය දෙවසර තුළ රතු මුහුදේ හුති ත්‍රස්ත  ප්‍රහාර  ඊජිප්තු සංචාරක ව්‍යාපාරය කෙරෙහි ද තදින් බලපෑවේය. ගාසා යුද්ධය හා රුසියා - යුක්‍රේන ගැටුමද අන්තර් කලාපීය විදෙස් සංචාරක  කර්මාන්තයට දැඩි අභියෝග එල්ල කළේය.
ඊජිප්තුවේ කයිරෝ අගනුවර මිලියන 23කට අධික ජනගහනයෙන් යුක්තය. එහි සිට නව කෞතුකාගාරය වෙත මාර්ගය ද මෑතක ප්‍රතිසංස්කරණය  කෙරිණි. ඊට කි.මී.25ක පමණ දුරින්   නව ගුවන් තොටුපොළක් ද ඉදි කර තිබේ.   අධික තදබදයක් රහිත පෙදෙසක, ගීසා පිරමිඩ වෙත පිවිසෙන නව සංචාරක දොරටුවක්  ද විවෘත කර ඇත.
ඊජිප්තුවේ පැවති සංචාරක නවාතැන් කාමර 235,000ක් වෙත නව ලැගුම් කුටි 5000ක් එක් කර තිබේ. වසර අවසානයට පෙර ඊට තවත් කුටි 9000ක් එක් කිරීමට  පියවර ගැනෙමින් පවතී.2030 වන නව කෞතුකාගාරය වෙත මිලියන 30කට අධික සංචාරකයින් පිරිසක් ආකර්ෂණය වනු ඇතැයි, අපේක්ෂා කෙරේ.
 
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/31/2025
Egypt hopes vast new museum by the Pyramids will accelerate tourism revival


 
     
     
    