චන්ද්‍රයාන් -2 රොකට්ටුව අභ්‍යවකාශයට  

චන්ද්‍රයාන් -2 රොකට්ටුව අභ්‍යවකාශයට   

ඉන්දියාවේ චන්ද්‍රයාන් -2 අභ්‍යවකාශ යානය රැගත් ජී එස් එල් වී එම් කේ ත්‍රී රොකට්ටුව අද පස්වරුවේ අභ්‍යවකාශගත වීමට නියමිතව තිබේ.

ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කළේ, අද පස්වරු දෙකයි හතළිස් තුනට ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රිහාරිකොත පිහිටි සතිශ් ධාවන් අභ්‍යවකාශ තොටුපළෙන් එම රොකට්ටුව පිටත්වනු ඇති බවයි .

ඒ සඳහා වන පැය 20 ක අවරෝහණ කාලය ගණනය කිරීම ඊයේ පස්වරු හයයි හතළිස් තුනට ඇරඹිණ.

ඉකුත් 15 වැනි දින අලුයම කක්ෂගත කිරීමට නියමිතව තිබූ මෙම යානය අභ්‍යවකාශගත කිරීම අවසන් මොහොතේ නතර කෙරුණේ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි .

එහි හීලියම් ටැංකියේ පීඩනය පහත වැටීම හේතුවෙන් මෙම දෝෂය හටගත් බව පසුව හෙළිවිය.

චන්ද්‍රයා වෙත සිහින මිලියන ගණනක් ගෙනයාමට නියමිත මෙම යානය දැන් පෙර කවරදාටත් වඩා ශක්තිමත් බව ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

රෝවර් යානයක් යොදාගෙන චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ජලය පවතීදැයි සොයා බැලීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි .

අභයවකාශ ගත කිරීමෙන් පසු දින 17 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටීමට නියමිත චන්ද්‍රයාන් ටූ යානය ,පසුව දින 28 ක් චන්ද්‍රයාගේ කක්ෂයේ රැඳී සිටිනු ඇති .

මෙම යානය පූර්ව සැලසුම් කල පරිදි ලබන සැප්තැම්බර් මස 6 වැනි දින සඳ මත ගොඩබැස්වීමට නියමිතයි .

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් චන්ද්‍රයා මත යානයක් සාර්ථකව ගොඩබැස්වූ ලොව හතරවැනි රට බවට ඉන්දියාව පත්වනු ඇත.

මේ වසර මුලදී ඊශ්‍රායාලය මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කල නමුත් සඳ මත යානය ගොඩබැස්වීමට ප්‍රයත්න දැරීමේදී එය අසාර්ථක විය.

ඉන්දියාව මෙම මෙහෙයුම වෙනුවෙන් වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 150 ක් වන අතර චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය මතට යානයක් ගොඩබස්වන ප්‍රථම මෙහෙයුම මෙය වනු ඇති.

චන්ද්‍රයාන් ටූ මෙහෙයුමට ඉංජිනේරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් දායකත්වය දී ඇති නමුත් මුල්වරට මෙවැනි අන්තර් ග්‍රහලෝක ගවේෂණයක් මෙහෙයවීමට ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය කාන්තාවන් දෙදෙනෙකුට අවස්ථාව දී තිබේ.

ඒ අනුව ව්‍යාපෘති අධ්‍යක්ෂ මුතයා වනිතා සහ රිතූ කරිධාල් එක්ව චන්ද්‍රයාන් ටූ මෙහෙයුමේ ක්‍රියාවලිය පාලනය කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න