V2025

ආර්ථික

හොඳම කුරුඳු ගැන දන්නවාද?

ශ්‍රී ලංකාවේ පවතින විවිධ කුරුඳු ප්‍රභේද සහ ඒවයේ ගුණාත්මකභාවය හඳුනාගැනීම වෙනුවෙන් සිදුකරන පර්යේෂණයක් සඳහා මහජන සහය අපේක්ෂා කරයි.

 ඒ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය, ජාතික විද්‍යා පදනම, කුරුඳු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් මෙහෙයවනු ලබන පර්යේෂණයක් සඳහාය.

 වාර්තා වන ආකාරයට අදාළ පර්යේෂණය සඳහා උසස් ප්‍රමිතියෙන් යුතු අස්වැන්නෙන්, සුවඳින්, රසයෙන්, ඖෂධීය ගුණයෙන් ඉහළ සහ පිළිබෝධ හා ලෙඩරෝගවලට හොඳින් ඔරොත්තුදෙන කුරුඳු ශාඛ අවශ්‍ය කර ඇත.

 තොරතුරු ලබාදිය හැකි පුද්ගලයන් වේ නම් මහාචාර්ය ගාමිණි පුෂ්පකුමාර 071 4 933 591 හෝ ආචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක 071 3 460 632 මහත්ම මහත්මීන් වෙත තොරතුරු ලබාදිය හැකි බවත් ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කර්මාන්තය ඉහළ ප්‍රමිතියකට ගෙනඒමේ අරමුණින් මෙම අධ්‍යයනය සිදු කරනු ලබන බවත් පර්යේෂකයන් දැනුම්දෙයි.

 

Comment (0) Hits: 308

වරාය ඇමතිට දත්ත වැරදිලා - නැව් සමාගම් කියයි

නාවුක කර්මාන්තය සහ ඒ ආශ්‍රිත භාණ්ඩ පරිවහණ කටයුතු හරහා මෙරටට ඩොලර් මිලියන 800කට අධික ආදායමක් ලැබෙන බවට වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසන කතාව මුළුමනින්ම අසත්‍යක් බව වාර්තා වෙයි.

newstube.lk වෙත අදහස් දැක්වූ නාවුක සමාගම් කිහිපයක නියෝජිතයින් මේ බව සඳහන් කර සිටි අතර එහිදී ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ මෙරට දේශීය නාවුක සමාගම් 500ක් ඇති බවත් ඒවා තුළ 12000 කට අධික සේවක සේවිකාවන් ප්‍රමාණයක් සේවයේ නිරත බවට දක්වන වාර්තා නිවැරදි නොවන බවය.

එසේම මෙරට නාවුක කර්මාන්තයේ නියැලීම සඳහා විදෙස් සමාගම් වලට ඇති සීමා ඉවත් කිරීමට බියෙන් පසුවන්නේ මේ වන විටත් නාවුක කර්මාන්තයේ කතිපධිකාරයක් ගොඩනගාගෙන ඇති සමාගම් කිහිපයක් බවත් ඒ හැර වෙනත් කිසිඳු සමාගමක් එවැනි නීති සංශෝධනයකට විරුද්ධ නැති බවද ඔවුන් සඳහන් කර සිටියි.

එසේම දැනට නාවුක ක්ෂේත්‍රයේ පවතින කතිපයාධිකාරය මෙරට නාවුක කර්මාන්තයේ වර්ධනයට හේතු වනවාද ? ඒ තුළ වාසි ගනිමින් සිටින්නේ කවුද? මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කරමින් සමාගම් දෙකතුනක් පවත්වා ගෙන යන කතිපයාධිකාරය වෙනස් නොකරන්නේ මන්ද? එම සමාගම් සහ පැවති ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයින් අතර ඇති සම්බන්ධතා මොනවාද? යන්න ගැන සොයා බැලීම වරාය සහ නාවුක අමාත්‍යවරයාට මෙන්ම ඇත්ත දැනගැනීමට කැමති සියලු දෙනාට වැදගත් බවද ඔවුන් සඳහන් කර සිටියි.

2018 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර ඇති නාවුක කර්මාන්තයට අදාළ යෝජනා සම්බන්ධව අප කල විමසීමකදී ඔවුන් මෙම අදහස් දැක්වූ අතර සමාගම් කිහිපයක් යටතේ ඇති කතිපයාධිකාරය ඉවත්කර වැඩි වැඩියෙන් සමාගම් වෙත නාවුක කර්මාන්තය විවෘත කිරීම් හරහා හොඳ වෙළඳපොල තරගයක් තුළ නාවුක කර්මාන්තයේ ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයක් ඇතිකරගත හැකි බවද ඔවුන් පැවසීය.

එසේම නව අයවැය යෝජනාවට විරුද්ධ පාර්ශව නාවුක කර්මාන්තයේ බිඳ වැටීමක් ගැන සඳහන් කර සිටියත් පවතින සීමා ලිහිල් කිරීම තුළ සමාගම් වැඩිවීම, රැකියා අවස්ථා වැඩිවීම සහ වැටි ප්‍රමාණයක මෙහෙයුම් සිදුවීම තුළ කර්මාන්තයේ කඩාවැටීමක් ඇතිවන්නේ කෙසේද යන්න ගැන පැහැදිළි කල යුතුව ඇති බවද සඳහන් කර සිටියි.

 

Comment (0) Hits: 296

“ලංකා තේ” රුසියාවේ තහනම් !

තේ ඇතුළු ශ්‍රී ලංකාවේ ආනයනය කරන කෘෂි නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමට රුසියාව තීරණය කර ඇත.

2018 අගෝස්තු 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම පනවා ඇත්තේ මෙරටින් ආනයනය කළ ඇසුරුම් කළ තේවල කප්රා නම් කෘමි විශේෂයක් හමුවී ඇති නිසාය.

රුසියානු කෘෂිකාර්මික ආරක්ෂණ අධිකාරී Rosselkhoznadzor Chanturia විසින් මේ බව නිවේදනය කර ඇත.

එසේම රුසියාවේ තේ ඉල්ලුමෙන් 23%ක් සම්පුර්ණ වන්නේ ශ්‍රී ලාංකීය තේ හරහා බවත් එය රුසියාවේ තේ ඉල්ලුමට ගැටළුවක් විය හැකි තත්ත්වයක් බැවින් ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි පනවා හෝ අදාළ තීරණය සම්බන්ධව නැවත සලකා බලන ලෙස රුසියානු තේ වෙළඳුන් දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

එහෙත් රුසියානු කෘෂිකාර්මික ආරක්ෂණ අධිකාරියේ අදහස වී ඇත්තේ ශ්‍රී ලංකාවට අමතරව රුසියාවේ අංක එකේ තේ සැපයුම්කරුවා වූ ඉන්දියාව ඇතුළුව කෙන්යාව, චීනය, වියට්නාමය වැනි රටවල් හරහා රුසියානු තේ ඉල්ලුම සමනය කරගත හැකි බවය.

කෙසේ වුවත් මෙරටින් රුසියාව වෙත අපනයනය කරනු ලබන කෘෂි නිෂ්පාදන සියල්ල වෙත මෙම තහංචිය බලපාන අතර එම තත්ත්වය මෙරට අපනයන වෙළඳපොලට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇති බව වෙළඳපොළ විශ්ලේෂකයින් සඳහන් කරයි. එසේම මීට පෙරද කසල තේ අපනයනය සම්බන්ධවද ශ්‍රී ලංකාවට චෝදනා එල්ලවූ බවත් දිගින් දිගටම මෙවැනි චෝදනා එල්ලවීම කර්මාන්තයට හානිකර බවද ඔවුන් පෙන්වා දෙයි.

2017 වසරේ මුල් මාස දහය තුළ පමණක් ඩොලර් මිලියන 436ක වටිනාකමකින් යුතුව තේ ටොන් 141300ක් රුසියාව මෙරටින් ආනයනය කොට ඇත.

මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරන්නේ අදාළ කෘමි විශේෂය සහල් ගබඩා ආශ්‍රිතව වෙසෙන බවත් ගැටලුවට තුඩුදී ඇති තේ බහාලුම මීට පෙර ධාන්‍ය ප්‍රවාහනයට යොදාගෙන ඇති එකක් බව වාර්තා වී ඇති බවය. එනිසා මෙය මෙරට තේ වල ප්‍රශ්නයක් නොවන බවත් ඒ පිළිබඳ රුසියානු බලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යංශය සඳහන් කර සිටියි.

 

Comment (0) Hits: 436

දෙසැම්බර් 09 අයවැය ඉවරයි ?

2018 අයවැය ඉදිරිපත් වුයේ අමුතු විදිහකටය. එතෙක් අප අසා දැක තිබුණේ වාර්ෂික මහ බැංකු වාර්තාවක් මෙන් දත්ත සහ වචන වෙනස්වූ නමුත් එකම රාමුවක සම්ප්‍රදායික අයවැය කතාය. 2018 අයවැය වෙනස් ආකාරයක් ගත්තේ එය සම්ප්‍රදායික රාමුව කඩාගෙන මෙරට ආර්ථිකයට අදාළ ඉතිහාස කතාවේ ඛේදවාචී වර්තමානය හරියට ලකුණු කර දක්වමින්ය. එය යළිත් සිහිපත් කරනවා නම් සිංගප්පුරුව ගොඩනැගූ ලී ක්වාන් යූ “එදා මෙරට හැඳින්වුයේ පොදුරාජ්‍ය මණ්ඩලය සතු ආදර්ශමත්ම රටක්” වශයෙන්ය. එසේම නිදහස ලබන මොහොතේ එංගලන්ත මාධ්‍ය මෙරට හඳුන්වා තිබුණේ “පෙරදිග ලෝකයේ ස්විට්සර්ලන්තය” බවට අනාවැකි සටහන් කරමින්ය.

මුල්‍ය අර්බුදයක්

එහෙත් 2018 අයවැය ඉදිරිපත් වුයේ රටේ ආර්ථිකය දරුණු මුල්‍ය අර්බුදයක් හමුවේ නිරාවරණයව පැවති අවස්ථාවකය. එහි බරපතලකම කියා පෑවේ ගෙවන්න තබා හිතාගන්නවත් බැරි ලෙස ගොඩගැසී තිබු රාජ්‍ය ණය කන්දරාවය. එයින්ද විදෙස් ණය ගෙවීම යන්න බරපතල අභියෝගයක් ලෙස දත් විලිස්සා තිබිණ. ධනවාදී වේවා , සමාජවාදී වේවා මේ කුමන දේශපාලන ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන පාර්ශවයකට මේ ණය උගුලේ අර්බුදයෙන් ගැලවීමට මඟක් තිබුණේ නැත.

වරද කාගේද?

සියලු දෙනා කරමින් සිටියේ ණයබරතාවයේ පංගුව සිය විරුද්ධවාදී දේශපාලන පාර්ශවයේ ගිණුමට බැර කිරීමය. එහෙත් රටක ආණ්ඩුවකට එසේ අනෙකාගේ ගිණුමට ණය බැර කළ පමණින් ණයට අදාළ පවෙන් ගැලවීමට නොහැකිය. ඒ ණය කාගේ පවෙන් ආවත් “ණය පව්” ගෙවීමට ගෝලීය රාජ්‍ය දාමයේ සාමාජික රටක් ලෙස මෙරටට වගවීමක් ඇත. ඒ කියන්නේ පරණ පව් පවා වර්තමාන පාලනය ගෙවීමට සුදානම් විය යුතු බවය.

ඒ අනුව 2014 වසර වන විට පැවැති මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,113 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක් විය. 2014 වසරේ පැවැති සමස්ථ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.3% ක් ලෙස සටහන්ව තිබිණ. ඒ තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.4% ක් ණය ගෙවීම සඳහා වැයකරන්නට නව පාලනයට සිදුවූ අතර තිබූ ආර්ථික තත්ත්වය අනුව රජයේ ආදායම ණය ගෙවීමටත් ප්‍රමාණවත් නොවිණ.

සාදය හමාරයි

2017 වසර දක්වාම රටේ ආර්ථිකය හසුරවා ගත්තේ ණය ගෙවීමට තවත් ණය ගනිමින් සහ වැඩිවන ණයබර පාලනය කර ගැනීමට විවිධාකාරයේ උපාය උපක්‍රම අත්හදා බලමින්ය. එහෙත් 2018 වසර එහි අවසානය සනිටුහන් කල අතර ඒ 2019 -2022 සමයේ මෙරට ඉතිහාසයේ ගෙවන්නට සිදුවන වැඩිම විදෙස් ණය පොළී වාරික ගෙවීමට සිදුවු පසුබිම නිසාය.

එනම් 2015 ට පෙර ලබාගත් විදේශීය ණය වෙනුවෙන් 2019 වසරේ ඇමරිකන් ඩොලර් මිලියන 3992ක්, 2020 - ඇමරිකන් ඩොලර් මිලියන 3463ක්, 2021 – ඇමරිකන් ඩොලර් මිලියන 3453ක් සහ 2022 - ඇමරිකන් ඩොලර් මිලියන 3842ක් ගෙවීමට සිදුව තිබිණ.

එනිසා තවදුරටත් කාටවත් නැළවෙන්නට හෝ හෙට දේශපාලනය ගැන සිතා පැද්දෙන්නට වෙලාවක් තිබුණේ නැත.

අයවැය කුඩු

එසේම 2015-2017 වසර වලදී මධ්‍ය කාලීන උපාය මාර්ග ඇතුළත් ආර්ථික වැඩපිළිවෙලක් තුළ පවතින අර්බුදය ජයගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කල හැකි බවට අග්‍රාමාත්‍යවරයා මැදිහත්වී ඉදිරිපත් කළා අපට මතකය. එහෙත් අවාසනාව වුයේ එම ඉදිරිපත් කල ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට තරම් එම කාලවකවානුවේ ඉදිරිපත්වූ අයවැය දායක නොවීමය. එය කොතරම් අභාවාචී තැනකට ඇද වැටුනාද කියනවා නම් අයවැය යෝජනා තරමටම ඒවා සංශෝධනය කරන්නට සිදුවිය. එය කොතරම් උග්‍ර විවේචනයකට ලක්වුවාද කියනවා නම් ලිබරල් උගතුන් පවා අයවැයට වැටෙන්න පහර ගැසුවේය.

2018 අභියෝගය

2018 අයවැය හමුවේ වූ ඊළඟ අභියෝගයද වුයේ එයයි. එහෙත් අයවැය ඉදිරිපත් විය. 2025 ආර්ථික ප්‍රතිපත්තිය අතේ තබාගෙන “දෙන්නම් බැටේ” පන්නයට අයවැය එනතෙක් කල් මැරූ උදවියට අලුත් කතාවක් කියන්නට ද සිදුවිය. එනම් “අයවැය හොඳයි -හැබැයි කරන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ” ලෙස ඒ අලුත් කතාව අපට සාරාංශ ගත කරන්නට පුළුවන.

එහෙත් ඒ මධ්‍යයේ “බියර් මිල පහල දැමීම නිසා සංස්කෘතිය උයියා වෙනවා”, වැනි දුප්පත් සහ පටු අර්ථ ගෙන අයවැය යෝජනා වලට එරෙහි ජනමතයක් සකසන්නට උත්සහ කලාද එය සාර්ථක වුයේ නැත. “නාවුක සහ භාණ්ඩ පරිවහනය සම්බන්ධ සීමා ලිහිල් කිරීම හමුවේ , ඩොලර් මිලියන 800ක් අහිමි වෙනවා” කියා ගජබින්න දෙසා බෑවද ඒ වචන භෞතික බලවේගයක් බවට පත්වුයේ නැත.

වචන පැහැදිළියි

අයවැය ඉදිරිපත් වුයෙම රටේ ආර්ථිකය හදන ප්‍රතිපත්තිමය කාරනා ඉදිරියට අරගෙන වීම ඊට හේතු විය. විශේෂයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා දේශීය ව්‍යවසායකත්වය ගෝලීය ආර්ථිකයට ගැලපෙන ලෙස නංවාලීම, ආර්ථික ලිහිල්කරණය සහ නීල හරිත ආර්ථිකයක් හරහා සංවර්ධනය හමුවේ එන පරිසර අර්බුදය විසඳාගනිමින් ආර්ථිකය හදන වැඩේට ජනතාව සිය සහය පලකරේය. මෑත ඉතිහාසයේ නොවූ ලෙස ආණ්ඩුවේම ඇතැමුන් කුමන හෝ පදනමකින් අයවැය විවේචනය කරමින් පාර්ලිමේන්තු විවාදයට එක්වුවත් අයවැය දෙවන වර කියවීම 2/3 වැඩි ජන්දයකින් සම්මත වුයේ වචන වලට වඩා දැන් අවශ්‍ය වැඩ කිරීම බවට ජනමතය තහවුරුව තිබු නිසාය.

සැබවින්ම ඉහලින් පටවන බරසාර යෝජනා වෙනුවට අයවැයේ තිබුණේ පවතින අර්බ්දයෙන් ගැලවීමට කල යුත්තේ කුමක්ද යන්න සහ ඉදිරි අභියෝගය ජය ගැනීමට අදාළ ප්‍රතිපත්තිය.ජනතාව ඉල්ලුවේද එවන්නක්ය. වචන වලින් නොකීවත් ජනතා ප්‍රාර්ථනය වුයේ හිඟාකන ආර්ථිකයක කොටස් කරුවන් වීමට වඩා හම්බකරන ආර්ථිකයක කොටස් කරුවෙකු වීමය. පෝසත් රටක් කියූවිට ජනතාව ඊට උසුළු විසිළු නොකර එය භාරගත්තේද එනිසාය.

වැඩ අවශ්‍යයි

එසේනම් දැන් ඇත්තේ වැඩ කිරීමය. ඒ ජනතා අපේක්ෂාව ඉටුකිරීමටය. අයවැය තුළ යෝජනා කළ ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ ජනතාවට හිමිවිය යුතුව ඇත. රටේ ප්‍රධාන පක්ෂ දෙකෙහි එකමුතුවෙන් සහ ආශීර්වාදයෙන් ගෙන ආ මෙම අයවැයේ ප්‍රතිලාභ 2018 වසරේ සිට සමස්ථ සමාජයට කාන්දු විය යුතුව ඇත. ඒ අනුව newstube.lk වෙබ් අඩවියේ “ආර්ථික” කොටස මේ හමුවේ අවධාරණය කරන්නේ 2017 දෙසැම්බර් 09 වනදායින්, එනම් අයවැය තෙවනවර ජන්ද විමසුමෙන් “2018 අයවැය” අවසන් නොවන බවය. ජනතාව වෙනුවෙන් අප වැඩ පටන්ගන්නේ මෙතැන් සිටය. සිහිනය කීවාට සිහිනය සැබෑ වන්නේ අවධිවී වැඩ කිරීම තුළය. වචන ලස්සන වුවාට ඒවාට අර්ථ ලැබෙන්නේ ලස්සනට වැඩ කලොත් විතරය. එහෙනම් මහත්වරුණි, එන්න මේ ඔබේ වචන, වැඩ බවට පත්කරන්න ඇති සමයයි. newstube.lk “ආර්ථික” ය ඔබ දෙස අවධානයෙන් සිටින සමයයි.

 

Comment (0) Hits: 282

ජනතාවාදී සංවර්ධනය සහ සොහොන් සංවර්ධනයේ වෙනස - ඇමති පාඨලී

ජනතාවාදී පාලනයක් කියන්නේ පියාගේ සොහොන හදන්න රජයේ අරමුදල් ලක්‍ෂ 900 ක් වියදම් කිරීම නොව රජයේ අරමුදල් ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට වියදම් කිරීම බවත් පුද්ගල අපේක්ෂා මන්ද මානසිකත්ව හෝ උමතුකම්වලට රජයේ අරමුදල් වියදම් නොකළ යුතු බවත් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ අද (15) බස්නාහිර මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන හා පුර්ණ අධික්‍ෂණය, සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ ගම්පහ බස්නැවතුම්පල දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,

“ගොඩනැගිලි ඉදිකිරීම වේවා, සංවර්ධන කාර්යයන් වේවා ඒවා විනිවිද පෙනෙන ආකාරයට අවම මිලට, උපරිම ප‍්‍රමිතියට සිදු විය යුතුයි. එහෙම නැතිව වැඩිම මිලට අඩුම ප‍්‍රමිතියට ඒවා සිදු වෙනවා නම් එයින් ඇති පළක් නැහැ. රජයේ ආයතනයක් වූ සීසීබී ආයතන මගින් මෙම කටයුත්ත සිදු කළා. එහි ප‍්‍රමිතිය අපි සහතික කරනවා. ජනතාවට අවශ්‍ය පහසුකම් ඒ තුළ සහතික කර තිබෙනවා.

වලව් හදපු වාස්තු විද්‍යාඥයා

සමහර අවස්ථාවල මේ වගේ විනිවිද නොපෙනෙන ගණුදෙනු නිසා ප‍්‍රකෝටි ගණන් රටට ආදායම අහිමි වෙනවා. ඒවා සමහරුන්ගේ අවශ්‍යතා විය හැකියි. නමුත් ජනතාවට ඒවා අහිමි වී යනවා. අප හැදුවා ආරක්‍ෂක මූලස්ථානය, එය දෙවෙනි වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනයට විතරයි. ඒ සඳහා වියදම් කර තිබෙනවා මිලියන 62,000ක්. වියදම් කරන්න පටන් ගත්තේ ගෝල්ෆේස් පිට්ටනියේ ඉඩමක් විකුණලා මිලියන 8,000 කට අද ඒ වගේ 8 ගුණයක් ඒ සඳහා වියදම් කරන්න වෙලා තිබෙනවා. කොහොමද මේවා ලබාදුන්නේ. පුද්ගලයෙකුගේ නමක් දාලා, ඔහු තමයි මෙහි වාස්තු විද්‍යාඥයා, ඔහුට වියදමින් .5% ක් යා යුතුයි කිව්වා. ඒ වාස්තු විද්‍යාඥයා තමයි මේ පැත්තේ වලව් හැදුවේ, ගම්පහ ඔරුවල කාර්යාල හැදුවේ. ඒ සල්ලිවලින්. ඒවා තමයි සංවර්ධනය ලෙස ඔය උජාරුවෙන් කියව කියව යන්නේ. ඒවා සංවර්ධනය නෙමෙයි. ඒවාට වන්දි ගෙවන්න වෙනවා තව පරම්පරා ගණනාවකට. රටට ඔරොත්තු දෙන සංවර්ධනයක් නෙමෙයි කිසිම විනිවිද පෙනෙන සුළු භාවයක්, තරඟකාරීත්වයක්, අවම මිලක්, උපරිම ප‍්‍රමිතියක් ඒ සංවර්ධනයේ නැහැ. මේ සංවර්ධනයේ ඒ සියල්ලම ගැබ්වෙලා තිබෙනවා. එයයි මේ පාලනයේ වෙනස.

සංවර්ධනයේ ප්‍රතිලාභ කාටද

අප කරගෙන යනු ලබන සංවර්ධනයෙන් අපට ආදායම් ඉපදවෙනවාද, ජනතාවට පහසුකම වැඩිවෙනවාද?, රටේ ආර්ථිකයට එමගින් ප‍්‍රයොජනයක් ලැබෙනවද? ආර්ථික වාසිය කොපමනද කියා අප බැලිය යුතුයි. එහෙම නැතිව තැන තැන විශාල වාණිජ මධ්‍යස්ථාන, නගර ශාලා, වෙනත් බලාගාර, වරායවල්, ගුවන්තොටුපලවල් ඉදිකළා කියලා

රටට ආර්ථික වාසියක් නැතිනම්, රටට, ජනතාවට එමගින් මිල උපදවන්න බැරිනම් එතන සංවර්ධනයක් නැහැ. උදාහරණයක් හැටියට කොළඹ මහ නම්බුවෙන් හැදුවයි කියනවා. කොළඹ හැදුවා මාලූ ටැංකියක් ආකේඩ් එකේ. එහි වීදුරුව විතරක් ලක්‍ෂ 650 යි. විවෘත කිරීමේ උළෙල ලක්‍ෂ 500 යි ඉන්දියාවේ නිලියෝ ගෙන්වලා. මේවයින් ලැබෙන ආර්ථික වාසිය මොකද්ද? මේවයින් මහජනයාට ලැබිලා තිබෙන ආර්ථික වාසිය මොකක්ද? පරිප්පුවලට, සීනිවලට, කිරිපිටිවලට බදු වැදිච්ච එක විතරයි මේවයින් උනේ. ඒවයේ පව් අපට සහ අපේ ජනතාවට ගෙවන්න සිදුවෙලා තිබෙනවා”

ඉස්සර කොළඹ සටන

“ඉස්සර කොළඹ තිබුණා ලොකු සටනක්, මිනිස්සු පාරට ඇවිත් ගෙවල් කඩනවා කියලා කෑ ගැහුවා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය අවුරුදු දෙක තුළ නිවාස 6000 ක් අයින් කර තිබෙනවා. එක පෙළපාලියක්, එක උද්ඝෝෂණයක් නැහැ. එක ප‍්‍රතිවිරෝධයක් නැහැ. අද වොක්ෂෝල් විදීයේ ගෙවල් 400 ක් කඩනවා. මිනිසුන්ගේ අත්වලින්. හමුදාවෙන් හෝ තුවක්කු ගෙනිහින් නෙමෙයි. වතුරවලට කෑගැසූ රතුපස්වල මිනිසුන්ට වෙඩිතිබ්බා වගේ නෙමෙයි අපි සංවර්ධනය ගෙනයන්නේ. අහිංසක හමුදා සෙබළු අපරාධ කාරයෝ කරගෙන නෙමෙයි, ජනතාවගේ කැමැත්තෙන්, නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් එකට ගෙන තමයි අපි සංවර්ධනය ගෙනයන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය

ඇමරිකා එක්සත් ජනපදය ධනවත් රටක් වෙන්න කලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී උනා. 1776 දී ඇමරිකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණා. ඇමරිකාව නිදහස් වෙළඳපලක් බවට පත් කළා, ලෝක බලවතා උනේ අවුරුදු 100 කට පස්සේ. අපේ රටටත් 1948 නිදහස ලබාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළා. 77 අපි නිදහස් ආර්ථිකයකට ගමන් කළා. ඉන්දියාවත් එහෙමයි. ඉන්දියාව 1948 අපිත් එක්ක නිදහස ගත්තා හැබැයි ආර්ථිකය විවෘත කළේ 1991 දී, ඒ නිසා මේ දෙකම එකට යා යුතුයි. සමහරු හිතනවා මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කලින් යා යුතුයි කියලා, සමහරු හිතනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බල්ලට ගියත් කමක් නැහැ ආර්ථිකය ඉස්සරහින් ගෙනයායුතුයි කියා. නැහැ මේක ගහට පොත්ත වගේ එකට ගමන් කළ යුතුයි. එතකොට තමයි තිරසරව, ධරණීයව එම සංවර්ධනය ඉදිරියට යන්න පුළුවන්. එනිසා බලහත්කාරයෙන් තොරව, කැමැත්තෙන් හැමෝගෙම එකඟතාවයෙන් යමක් සම්මුතියෙන් යමක් කරනවාද, ඒවා ස්ථාවරයි. එම ස්ථාවර මාවතේ තමයි මේ නව පාලනය යන්නේ කියන එක ඔබට අවධාරණය කරනවා.

අලුත් යුගයක්

ඒ වගේම මේ හැමදෙයක්ම පරිසරයට එකඟ විය යුතුයි. පරිසරය නියඟය, ජලගැලූම්, කුනාටු ආදියෙන් ඉතාම භයානක විදිහට බැට දෙනවා. ඒ නිසා සෑම සංවර්ධනයක්ම පරිසරයට එකඟ විය යුතුයි. පරිසරයත් සමග එකට කටයුතු කරන්න. ඔබ කවුරුත් දන්නවා මෙම ස්ථානය කලින් ගම්පහ කුණුවල. අද මෙතන රමණීය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේදී දියුණු වෙයි. ඒ නිසා මේ බස් නැවතුමෙන් එහා සිටින ජනතාවගේ ජීවිතත්, එයත් සමග වෙනස් වෙයි. ඒ අය වෙනස් වෙලා අලූත් යුගයකට ගමන් කරයි. ඒ නිසා අපි මේ මාසයේ සිට ගම්පහ විතරක් නෙමෙයි මේ මුළු රටේම කසළ ගැටළුවට ස්ථිර, තිරසර විසඳුමක් දෙන වැඩපිළිවෙලක් අප දියත් කරනවා. ඒ වැඩපිළිවෙලට බාධා නොකරන ලෙස සෑම දේශපාලන පක්ෂයකින්ම ඉල්ලා සිටිනවා. රට තිරසරව යෑමට නම් තිරසර සංවර්නයට පරිසර ආරක්‍ෂණය ඉතාම අත්‍යවශ්‍යයි.

2020 ලැබෙන්නේ මොනවාද

ඒ නිසා මෙම කරුණු නොමැතිව මොනම සංවර්ධනයකින්වත් පළක් නැහැ. පවුල් හැදෙන සංවර්ධනය, පරිසරය වනසන සංවර්ධනය, රටේ ආර්ථිකයට බරක් වන සංවර්ධනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, මිනිස් නිදහසට බාධාවක් වන සංවර්ධනය අපට වැඩක් නැහැ. අපට ඕනේ ඒ සෑම කරුණක්ම එකට එකතු කළ වැදගත් සාමූහික සංවර්ධනයක්. එහි ප‍්‍රතිලාභ පවුලකට නෙමෙයි සෑම දෙනාටම බෙදා හදා දෙන සංවර්ධනයක්. ගම්පහ දැන උගත් ජනතාව කාපට් කළ පාරවල්වලටවත්, එතන මෙතන ඇති වූ වෙළඳපලවල්වලට නැතිනම් මායාමය සංවර්ධනයට යටත් නොවන ජනතාවක්. එය අපට 2015 මැතිවරණයේදී පැහැදිලි උනා. ජනතාවට අවශ්‍ය උනා නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, කල්පවතින සංවර්ධනය, ජනතා අපේක්‍ෂාව ඉටුවන සංවර්ධනය එය දැන් ඔබට ලැබෙමින් යනවා. 2020 වන විට තවත් බොහෝ දෙවල් ඔබට ලැබෙනවා. මේ මග යමින් ආර්ථිකයට, අනාගත පරපුරට බරක් නොවන සංවර්ධනයක් අපි දියත් කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය රජයේ අරමුදල්වලට වඩා පෞද්ගලික ආයෝජන මගින් ආර්ථිකයට බරක් නොවන යෝධ සංවර්ධනයක් ඉදිරි කාලයේදී අපි කි‍්‍රයාත්මක කරන බව ඔබ හැමට පොරොන්දු වෙනවා යයි පැවසීය.

 

 

 

Comment (0) Hits: 274

සහල්වලින් අරක්කු හදන්න අවසර දුන්නේ මහින්ද

මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදාගැනීමට අනුමැතිය ලබාදී ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට 2006 වසරේදී නිපෝන් එක්ස්පෝ සමාගමට එම විශේෂ අවසරය ලබාදීමට රාජපක්ෂ පාලනය කටයුතු කර ඇත.

මේ බව අනාවරණය වුයේ වත්මන් ආණ්ඩුව මධ්‍යසාර වල යෙදවුමක් ලෙස සහල් යොදාගැනීමට අනුමැතිය ලබාදී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව newstube.lk වෙබ් අඩවිය මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙකු වෙතින් කළ කරුණු විමසීමකදීය.

2018 අයවැයෙන් බද්දක්

එහිදී වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් මුදල් අමාත්‍යංශ නිලධාරියා සඳහන් කර සිටියේ වත්මන් ආණ්ඩුව 2018 අයවැය මඟින් එතනෝල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වලට බදු පැනවීමක් සිදුකළ බවත්, ඒ අනුව රා සඳහා ලීටරයකට රුපියල් 5.00 ක බදු මුදලක් සහ මොලෑෂස් ,ඉරිඟු , සහල් සහ පලතුරු සඳහා කිලෝග්‍රෑම් 1කට රුපියල් 10.00 ක බදු මුදලක් යෝජනා කර එය 2017 නොවැම්බර් 09 වනදා සුරාබදු ආඥා පනත යටතේ විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ක්‍රියාවට නැගූ බවය.

ප්‍රශ්නය අදාළ මහින්දට

mahindaඒ අනුව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා යොමුකර ඇති ප්‍රශ්නය පැවති රාජපක්ෂ පාලනයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් මිස මේ වන විට මුදල් අමාත්‍යංශයට අදාළ ප්‍රශ්නයක් නොවන බවද එම නිලධාරියා පැවසීය.

සැබවින්ම ආසන්න වශයෙන් 2014 අගෝස්තු මාසය වන විටද සහල් මිල ඉහළයාමට හේතුව ලෙස එතනෝල් නිපදවීම සහ මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග සැඟවීම බවට රාජපක්ෂ පාලනයට චෝදනා එල්ලවිය.

විශේෂයෙන් පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරකීමේ සන්ධානය වැනි සංවිධාන මේ පිලිබඳ දිගින් දිගටම රාජපක්ෂ පාලනයට විවේචන එල්ලකළ අතර රටේ සහල් අතිරික්තයක් පැවතිය යුතු සමයේදී පවා සහල් මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි සහ අසාධාරණ ආකාරයට මිල ඉහළයාමට හේතුව ලෙස එම සංවිධාන පෙන්වා දුන්නේ ආහාර ලෙස පරිභෝජනයට සුදුසු සහල් තොග මහා පරිමාණයෙන් එතනෝල් නිෂ්පාදනයට යොදා ගැනීමය.

ජයටම ගිය බදු වංචාව

එසේම ඒ සමයේ මහා පරිමාණයෙන් එතනෝල් ආනයනය සඳහා රාජපක්ෂලාගේ දේශපාලන හිතවතුන් සහ මැති ඇමතිවරු ක්‍රියාකළ අතර එම දේශපාලන බලය යොදාගෙන ආනයනික එතනෝල් තොග වෙනුවෙන් රජයට ගෙවිය යුතු බදු මුදල්ද වංචා කල බව ප්‍රසිද්ධ රහසක්ය. ඊට එක් උදාහරණයක් වන්නේ 2014 වසරේ සහ 2015 වසරේ ආනයනික එතනෝල් වෙනුවෙන් මාසිකව රජය ලැබූ බදු මුදල් සංසන්දනය කිරීමය. 2014 වසරේ එහනොල් ආනයනය වෙනුවෙන් රජය ලැබූ මාසික ආදායම සාමාන්‍යයෙන් රුපියල් මිලියන 3400 ක් වුවත් 2015 වසරේ රජයේ මාසික එතනෝල් බදු ආදායම සාමාන්‍ය ලෙස සහටන් වුයේ රුපියල් මිලියන 9500ක් වශයෙන්ය. ඒ අනුව රාජපක්ෂ රෙජීම සමයේ මාසිකව රුපියල් මිලියන 6100 කට ආසන්න බදු වංචාවක් සිදුව ඇති බව පැහැදිලිය.

 

 

 

 

Comment (0) Hits: 1710

විද්‍යුත් මාධ්‍යවල රේටින් අවුල්

විද්‍යුත් මාධ්‍යවල රේටින් ප්‍රශ්නයට වහාම මැදිහත් විය යුතු බවත් එය මේ වන විට ඉතා නරක තැනකට ගමන්කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කරයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

මාධ්‍ය වාර්තා ප්‍රායෝගිකව සුදුසු නොවන බවත් මේ පිළිබඳව රජය මැදිහත් විය යුතු බවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කර සිටියේය.

මෙම ආයතන පක්ෂ භේදයකින් තොරව රටේ පුරවැසියන් වෙත කරන්න පුළුවන් දායකත්වය ඉටු කරනවා ද කියලා ඇසිය යුතුයි. රටේ දියුණුවට කළ හැකි දායකත්වය කාර්යභාරය හා වගකීම ඉටු කරනවද කියන කාරණය නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. අපිට මේ පිළිබඳව යම් පාලනයක් ඉටු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. පාලනය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මර්දනය නොවෙයි. මාධ්‍ය ආයතනවල දායකත්වය ලබාගැනීම වර්තමානයේ කාලෝචිත අවශ්‍යතාවයක් වී තිබෙනවා . සමාජයක් වශයෙන් පිරිහීම, මිත්‍යාවට ලක්වීම හා රටේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා.

Comment (0) Hits: 287

ලංකාවේ තේ ලෝක උරුමයට

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ආර්ථික සංස්කෘතිය සහ සමාජීය පසුබිම අධ්‍යයනය කරමින් සකස් කරනු ලබන වාර්තාවක් යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා තේ කර්මාන්තය ලෝක උරුමයක් ලෙස නම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත.

මීට අමතරව විවිධ සංස්කෘතික අනන්‍යතාවක් සහිත දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනා ගෙන ඇති ශ්‍රීපාදස්ථානය, කතරගම සහ කෝනේෂ්වරන් කෝවිල් පූජා භූමි ද ලෝක උරුම ලෙස නම් කිරීම සඳහා සක්‍යතා අධ්‍යයනයක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ආරම්භ කර ඇත.

91 වසරින් පසු මෙරට වැදගත් ස්ථාන ලෝක උරුම ලෙස නම් කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයට කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.

මේ පිළිබඳ එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමක දි පැවසුවේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පසුපස විශාල සංස්කෘතික සහ පාරිසරික වටපිටාවක් ගොඩනැඟී ඇති බැවින් වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සංස්කෘතික සහ මානව උරුම රැකගැනීම සඳහා ශ්‍රී ලංකා තේ කර්මාන්තය ආශ්‍රීත වටපිටාව ලෝක උරුමයක් ලෙසින් නම් කරන ලෙස යුනෙස්කෝ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

Comment (0) Hits: 258

නාවුක කර්මාන්තය සමාගම් 5කට නතුවීම යහපත් නෑ -ඇමති මංගල

සමාගම් පහක් විසින් මෙරට නාවුක කර්මාන්තය පාලනයට ගෙන ඇති බවත් ආයතන කිහිපයක යහපත ගැන සිතා කටයුතු කිරීම යහපත් නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ 9 වනදා පාර්ලිමේන්තුවේ පැවති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව සිදුකරමින්ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ නාවුක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර ලිහිල්කරණය කිරීමට යෝජනා කිරීම සම්බධව ඇතැම් සමාගම් විරුද්ධත්වය පළකර සිටියත් ස්වාධීන නියාමන යාන්ත්‍රණයක් යටතේ නාවුක කටයුතු ලිහිල්කිරීම සම්බන්ධව පෙර අවස්ථා ගණනකදීද යෝජනා වී තිබූ බවය.

එසේම එවැනි ක්ෂේත්‍ර ලිහිල්කරණය කිරීමේ අපේක්ෂාව තරගකාරී වෙළඳ රටාවක් සකස්කර ගැනීම සඳහා බවත් පවතින පැරණි නීති සංශෝධනය කිරීම එහි එක් පියවරක් බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

ජනතා අනුමැතිය වැදගත්

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “2018 නීල හරිත ආර්ථිකයක්” අයවැය යෝජනා සකස් කරනු ලැබුවේ වෘත්තීය කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශව වල අදහස් ලබා ගැනීම හරහා බවත් ජනතා අනුමැතියකින් තොරව කිසිඳු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකරන බවය.

එසේම සමාජ ආරක්ෂණය සහිත රජයක වැදගත් කම පිළිගනිමින් රජය සෑම විටම අඩු වරප්‍රසාද ලත් අය රැක බලාගන්නා බවත් අයවැය තුළින් එවැනි ආරක්ෂණයන් සලසාදීම වෙනුවෙන් විධිවිධාන සළසා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

දේශීය ව්‍යවසායකයන්ට වැඩි වාසි

සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය ආකාරයට නිෂ්පාදන ගම්මාන ලෙස දියුණු කළ හැකි ග්‍රාම නිලධාරී වසම් හදුන්වා ගෙන ඒවාට අවශ්‍ය තාක්ෂණ පහසුකම් ලබාදෙන බවත් විදේශ වෙලඳපොළ ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් දේශීය ව්‍යවසාකයන්ට වැඩි අවස්ථා ලබාදීමට සහ අපනයනය සඳහා වැඩි අවස්ථා ලබාදීම සම්බන්ධවද 2018 අයවැයේ විශේෂ අවධානයක් යොමුව ඇති එහිදී අමාත්‍යවරයා පවසා ඇත.

Comment (0) Hits: 286

නාවුක කර්මාන්තයට අයවැයෙන් අභියෝගයක් !

භාණ්ඩ මෙහෙයුම් සහ නාවුක කර්මාන්තය ආශ්‍රිත ආයතන වල හිමිකාරීත්වය වෙනුවෙන් විදේශීය සමාගම් සතු සීමා ඉවත් කිරීමට වන ප්‍රතිපත්තිමය යෝජනාව ඉදිරිපත් වුයේ 2018 අයවැය හරහාය. එහි එන 97 වන යෝජනාව එයයි. එනම්, නූතන භාණ්ඩ හුවමාරු සහ නාවික කර්මාන්තයේ ඉල්ලුමට මුහුණදීම පිණිස 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත සහ 1971 අංක 52 දරන වෙළඳ හා නාවික පනත සංශෝධනය කරනු ඇත. වඩා හොඳ තරගකාරීත්වයක් සහතික කිරීම සඳහා ස්වාධීන වරාය නියමකයකු හඳුන්වා දෙනු ඇත. නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතන වල විදේශ හිමිකාරීත්වය කෙරෙහි ඇති සීමාවල් ලිහිල් කරනු ඇත. මෙමගින් ජාත්‍යන්තර ප්‍රධාන නාවික සමාගම් සහ භාණ්ඩ හුවමාරු ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතු වල නිරතවීමට උපකාරී වනු ඇත. යන්නය.

මේ වන විටත් ඊට එරෙහිව පිරිසක් අවි අමෝරාගෙන ඇත. ලිබරල් ආර්ථික ක්‍රියාවලිය, ලිහිල්කරණය, විවෘත වෙළඳපොල, ඒ තුළ වන තරගය, ජාතික අභිලාෂ, දේශීය කර්මාන්තකරුවා, දේශීය ආර්ථිකය ගැන කියන විකාර කතා රැසක් සමඟ මේ වන විට එම යෝජනාවට එරෙහි පිරිස් අදහස් පළකරන්නට ගෙන ඇත. එක්තරා මාධ්‍ය ආර්ථික ඔස්තාර්වරයෙකු මේ ගැන කියන්නේ අපූරු කතාවක්ය. එනම්,

“ලිබරල්කරණය සෝදාපාළුවක්‌ නොවිය යුතුය. ආර්ථිකය ලිබරල්කරණයට ලක්‌ කිරීම රටේ අභිලාෂයන් සිතේ දරාගෙන, දූරදර්ශීව සිදුකළ යුත්තකි. එසේ නොකිරීම තුළ රටක දේශීය කර්මාන්ත නිසැක වශයෙන්ම බරපතළ අනතුරකට හෙළන්නක්‌ විය හැකිය. “ ලෙසින් වන විකාර අදහසක්ය. මේ වචන සිදුකර ඇත්තේ තැනේ හැටියට අනා ජනතාව නොමඟ යවන්න පමණක් බවට තේරුම් ගැනීමටම ඉහත උපුටා දැක්වීම ප්‍රමාණවත්ය.
සැබවින්ම ඉන්දියන් සාගරය තුළ මෙරට පිහිටීම අනුවම නාවුක පරිවහණ අංශයේ පුළුල් වර්ධනයක් අත්කරගැනීමට අවස්ථා ඇත. ඓතිහාසිකවම මෙරට ආර්ථිකයට අදාළ ජාතික අභිලාශයන් අතර නිතර කියවෙන කතාවක් වන්නේ ‘ශ්‍රී ලංකාව ආසියාවේ නාවුක කේන්ද්‍රයක්” බවට පත්කරගත යුතු බවය. ආසන්නතම නිදර්ශන අනුව නම් පැවති පාලනයත් වත්මන් පාලනයත් සිය ආර්ථික උපායමාර්ග ප්‍රකාශන තුළ මේ කරුණ අවධාරණය කර ඇත. එහෙත් තවමත් නාවුක කේන්ද්‍රයක් බවට පත්වීමේ සේයාවක් වත් දක්නට නොමැත. දැන් ප්‍රශ්නය ඇත්තේ කොතැනද?

සැබවින්ම 1992 වර්ෂයේ සිට මෙරට නාවුක කර්මාන්තයේ නියැලීමට විදෙස් සමාගම් සඳහා සීමාවක් පවතී. ඊට අනුව විදේශීය සමාගම් වෙත නාවුක කර්මාන්තයේ නියැලීමට හැකියාව ඇත්තේ 40% ක කොටස් හිමිකාරීත්වයක් යටතේ පමණි. ඒ තුළ අනෙක් 60% ක කොටස හිමිවන්නේ දේශීය ඒජන්ත සමාගම් වෙතය.

පවතින තත්ත්වය වෙනස් කරන්න යන විට ඊට එරෙහිව දුන්න කඩුව ගෙන සටනට එන උදවිය කියන්නේ 1992 ට පෙර විදෙස් සමාගම් වෙත මෙරට නාවුක කර්මාන්තයේ නියැලෙන්න 100%ක අවස්ථාව තිබු බවත්, එහෙත් ඒ සමයේ එවැන්නක් සිදු නොවූ බවක්ය. අනුව දශකයෙන් පසුව ගෝලීය ආර්ථිකය වෙනස් වූ අන්දම ගැන සහ අවම වශයෙන් සෝවියට් කඳවුරේ බිඳ වැටීමෙන් පසුව ගෝලීය ආර්ථිකය වෙනස් වූ අන්දම මෙන්ම තිස් අවුරුදු සිවිල් යුධ සමයක මෙරට පසුවූ බවද ඒ අයට අමතකවී ගොස් ඇත.

අනෙක් අතට සිවිල් යුද්ධයෙන් නතුරුව යුද්ධය වමාරා අනුභව කිරීම සහ ලොවෙත් නැති ජාතික ආර්ථිකයක් ගැන මනෝ විකාර හේතුවෙන් නව තත්ත්වය ගැන පළල් සිතීමක් ඔවුන් වෙතින් අපේක්ෂා කරන්නටද නොහැකිය.

එහෙත් යුද්ධයෙන් පසුව මෙරට ඇත්තේ අලුත් තත්වයක්ය. එසේම මහා පරිමාණයේ භාණ්ඩ පරිවහනයට සම්බන්ධ සහ විශාල ප්‍රමාණයේ නවුකා සමාගම්ද අපට නැත. එවැනි සමාගම් සමඟ තරග කිරීමට සමත් ප්‍රාග්ධන හැකියාවක් හෝ ව්‍යාපාර සම්බන්ධතා ජාලයක්ද අපට නැත. ඒ වෙනුවට අප සතුව ඇත්තේ දේශීය ඒජන්තකම පමණය. එසේම නැව් සමාගම් ලෙස කොතරම් සමාගම් ලියාපදිංචිය ලබාගෙන සිටියත් ඒ සියලු සමාගම් එක සමාන ධාරිතාවයකින් යුතුව නාවුක කර්මාන්තයේ නියැලෙන්නේ නැත. ඒ වෙනුවට මෙරට පවතින්නේ සීමිත සමාගම් කිහිපයක් ගෝලීය වශයෙන් මහා පරිමාණයේ නිරත නාවුක සමාගම් වල දේශීය ඒජන්ත කම දරමින් මෙරට නාවුක කර්මාන්තයේ කතිපයාධිපතිත්වයක් පවත්වා ගෙන යාමක් පමණය.

msnඉතා පැහැදිලිව දේශීය ඒජන්ත සමාගම් කිහිපයක් මත මෙරට නාවුක කර්මාන්තය නැංගුරම්ලා ඇති බව ඔබට දක්නට හැකිය.

එසේම හේලීස් සමාගම අවුරුදු 139ක්, ජෝන් කීල්ස් අවුරුදු 147ක්, මැක්ලරන්ස් අවුරුදු 73ක්, එයිට්කන් ස්පෙන්ස් අවුරුදු 149 ක් සහ හේමාස් අවුරුදු 69 පැරණි පාලක නියෝජිත ආයතන ලෙස මෙරට කටයුතු කරයි. එම සමාගම් වලින් පැරණි සමාගම් ආරම්භයේ විදේශීයන් සතු වුවත් මේ වන විට එම සමාගම් වල හිමිකාරීත්වය දරන්නේ දේශීය කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින්ය. එසේම එම කෝටිපතියන් කවුද යන්න සහ ඔවුන් කී දෙනෙකු මෙරට මෙම නාවුක නියෝජිත ආයතන වෙත හිමිකාරීත්වය දරනවාද යන්න අප මෙහි සඳහන් කරන්නේ නැත. එහෙත් ඇත්ත කතාව වන්නේ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු මත මෙරට නාවුක කර්මාන්තය නතර වී ඇති බව පමණය. ඒ අනුව ඔවුන් මෙරට නාවුක කර්මාන්තයෙන් 74% ක් අත්කරගෙන තිබේ.
ඒ අනුව දැන් 2018 අයවැය යෝජනාවට එරෙහි පාර්ශව නොකියන එක් කතාවක් අප හමුවේ නිරාවරණය වීද ඇත. එනම් ඔවුන් කියන තරම් මෙරට දේශීය නාවුක කර්මාන්තය තුළ සමාගම් රාශියක් නොමැති බවත් ඒ වෙනුවට මෙරට ඇත්තේ සමාගම් කිහිපයක කතිපයාධිපතිත්වයට නතුවූ නාවුක කර්මාන්තයක් පමණක් බවත්ය. සමාගම් හී වයස් සාමාන්‍ය සලකා බලනවා නම් වසර 115 ක් තිස්සේ මේ සමාගම් මෙරට නාවුක කර්මාන්තය තුළ සිය අධිකාරය ගොඩනගා ගෙන ඇත.

ඒ අනුව පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ මෙම කර්මාන්තය වෙනුවෙන් විදෙස් සමාගම් වෙත පවතින සීමා ඉවත්කළ විට වෙළඳපොල තර්ජනයක් එනවා නම් ඒ එන්නේමේ ඉහත සඳහන් සමාගම් කිහිපයට පමණක් බවය. එහෙත් අයවැය යෝජනා අතර කොහෙත්ම දේශීය සමාගම් අර්බුදයට යවන බවක් හෝ විදෙස් ආයෝජන හමුවේ දේශීය නියෝජිතායතන අනාරක්ෂිත වන බවක් සඳහන් වන්නේ නැත. ඒ වෙනුවට අයවැය තුළ යෝජිත ප්‍රතිපත්තිය කියන්නේ “නැගී එන සමාගම් තරඟකාරිත්වයකින් ආරක්ෂා කිරීම රජය විසින් සිදුකරන” බවය. “එහෙත් පාරිභෝගිකයින්ට ප්රතිලාභ සඳහා ලාභ ලැබීමට සහ කර්මාන්තයේ වර්ධනය සඳහා තරග කරන සහ නව සොයාගැනීම් සඳහා තරඟ කළ හැකිය” යනුවෙන්ය.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිය සහ ඊට එරෙහි පාර්ශව දක්වන ප්‍රතිපත්තිය අතර පැහැදිලි වෙනසක් ඇති බවය. එසේම වසර 115 කට ආසන්න ඉතිහාසය තුළ ඉහත සමාගම් සතු කතිපයාධිපතිත්වය හමුවේ නව සමාගම් කර්මාන්තයට ඇතුලත්ව නොමැති බවද ඔවුන් කියන්නේ නැත. එහෙත් ඉහත දත්ත දකින ඕනෑම අයෙකුට ඉතා පැහැදිලිව නාවුක කර්මාන්තය සමාගම් 5ක් මත නැංගුරම්ලා ඇති බව දැකීම දුෂ්කර නැත.

එසේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදය තුළ එන රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මුලධර්ම සහ මුලික යුතුකම් හී 27. (2) ඊ කොටසේ “නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතලොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක්” ලෙස ඇතත් නාවුක කර්මාන්තය තුළ එවැනි නිදහසක් නොපවතින බවද මෙහිදී පෙන්වා දිය යුතුව ඇත.

අනෙක් අතට අදාළ යෝජනාවට විරෝධය පලකරන පාර්ශව එල්ලකරන විවේචනයක් වන්නේ දේශීය නියෝජිතායතන දුර්වල වීම තුළ වාර්ෂිකව ඩොලර් මිලියන 800 කට ආසන්න ආදායමක් රටට අහිමිවන බවය. ඒ තරම් අදායමක් මෙරට දේශීය නියෝජිතායතන හරහා රජය ලබනවා නම් තමන්ගේම කියා අලුත් වරායක් ඉදිකර ගන්නට එම සමාගම් කිහිපයට හැකියාව ඇත. මන්ද හම්බන්තොට වරාය ඉදිකිරීමට පළමු අදියරේ ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 361 ක් සහ දෙවන අධියරේ ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 808ක් පමණක් වූ නිසාය.

එසේම නිශ්චිතව කියනවා නම් සමාගම් කිහිපයක, කතිපයාධිකාර බලය හේතුවෙන් ප්‍රසිද්ධ උපක්‍රමයක් වන්නේ වෙළඳපොල අල්ලා ගැනීම වෙනුවෙන් පාඩු ලබමින් වුවත් පහල මිල ගණන් ඉදිරිපත් කිරීමය. ඒ තුළ ඇති අනෙක් අපේක්ෂාව වන්නේ අඩු මිල මත තරගයට මුහුණදීමට නොහැකි සමාගම් බිඳ වැටීමෙන් පසුව එම සමාගම් වල කළමනාකරණය ලබා ගැනීම සහ අනෙක් සමාගම් තරගයෙන් ඉවත් කිරීමෙන් පසුව මිල තීරණය කිරීමේ තීරකයා බවට අදාළ සමාගම් පත්වීමය.එවිට අලුත් සමාගමකට වත් අලුතින් වෙළඳපොළට ඒමට හැකියාව ලැබෙන්නේ නැත. . වෙනස් කල යුත්තේ එම කතිපයාධිකාරයට සීමා වී ඇති කර්මාන්තය පුළුල් වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය. ඒ හරහා ඉන්දියාව ඇතුළු ආසන්න වෙළඳපොල සතු බදු සීමා අතික්‍රමණය කල හැකි ආකාරයට මෙරට නාවුක කටයුතු සිදුකිරීමට විදෙස් සමාගමකට වුවද හැකියාව ඇති ලෙස මෙරට ප්‍රතිපත්තිය යළි සකස් කිරීමය.

ඒ හැර පවතින නීති රැකගෙන භාණ්ඩ පරිවහනය සහ නාවුක කර්මාන්තය මේ කුඩා දිවයිනේ වෙළඳ පොලට සීමා කර ගන්නට හිතනවා නම් කළයුතුව ඇත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ නාවුක කේන්ද්‍රයක් කිරීම වැනි සිහින නොදැක සිටීමය. මන්ද සිහින සැබෑ වන්නේ නින්දේදී නොව අවධිවු පසුවය. නිදිගැට හැර වැඩකළ විටය.

 

Comment (0) Hits: 306

වැඩි මිලට පොල් වික්කොත් අද සිට දඩ

පොල් ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා බලපැවැත්වෙන පාලන මිල උල්ලංඝණය කරන ව්‍යාපාරිකයන් වැටලීම අද (09) සිට දීපව්‍යාප්තව අරඹන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

අදාළ පාලන මිල උල්ලංඝනය කරන පාර්ශව වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජනතාවට රජය ලබාදෙන සහනය ඒ ලෙසින්ම ලැබෙන්නට සැලස්සවීම මෙම වැටලීම් සිදුකිරීමේ අපේක්ෂාව බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

2017 දෙසැම්බර් 06 වනදා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනයට අනුව එක් පොල් ගෙඩියක් සඳහා රුපියල් 75.00 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර තවත් ආහාර භාණ්ඩ 3ක් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

2017 දෙසැම්බර් 06 වනදා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ.

2048 30 S

Comment (0) Hits: 280

තෙල් ගැන බොරු කියපු නාලිකාවකට ලෙඩක්

මෙරට රටේ තෙල් හිඟයක් ඇති බවට වරින් වර අසත්‍ය ප‍්‍රචාරය කරමින් ජනතාව මුලාකිරීමට කටයුතු කළ රුපවාහිනී නාලිකාවල බලපත‍්‍ර අහෝසි කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

Comment (0) Hits: 280

හම්බන්තොට වරාය චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම් දෙකක් යටතට

UPDATE- හම්බන්තොට වරාය චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම් දෙකක් යටතට පැවරීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ 09 වනදා පැවති උත්සවයකදී සිදුකර ඇත.

ඊට අනුව හම්බන්තොට වරායේ මෙහෙයුම් සහ සේවා කටයුතු, එච්.අයි.පී.ජී හෙවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ එච්.අයි.පී.එස් හෙවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා පෞද්ගලික සමගම යන සමාගම් දෙක වෙත පැවරීම සිදුකොට ඇත.

එහිදී හම්බන්තොට වරාය අයෝජන ව්‍යාපෘතිය ආරම්භ කරමින් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම ශ්‍රී රජයට ලබා දිය යුතු මුදලෙන් සියයට 30ක් වන අමෙරිකානු ඩොලර් මිලියන 294 ක චෙක්පත අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීමද සිදුව තිබේ.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ , චීනයෙන් ලැබුණු එම මුදල් ප්‍රමාණය මෙරට විදේශ සංචිත ගිණුමේ, විශේෂ ගිණුමක තැම්පත් කරන බව ය

මෙම අවස්ථාව සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, මෙන්ම චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගමේ උපසභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

-----------------------------------------------------------------------------------------------------------------

හම්බන්තොට වරාය අද සිට වැඩ - ඩොලර් මිලියන 294ක් ලංකාවට

හම්බන්තොට වරායේ චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියේ මෙහෙයුම් අද (09) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

99 වසරක බදු ගිවිසුමක් මත ක්‍රියාවට නැගෙන මෙම ව්‍යාපෘතියේ අදාළ ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම එකක මුදලක් හිමිවීමට නියමිත අතර එයින් 30%ක් එනම් ඇමරිකන් ඩොලර් 294ක මුදලක් මෙම මෙහෙයුම් කටයුතු ආරම්භයේදී මෙරටට හිමිවීමට නියමිතය.

හම්බන්තොට වරාය සංවර්ධනය සදහා ශ්‍රී ලංකාව සහ චීනය අතර හවුල්කාරීත්ත්ව ගිවිසුම පසුගිය ජුලි මස 29 වැනිදා අත්සන් තැබිණි.

Comment (0) Hits: 305

මහනුවරටත් ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයක්

මහනුවර පුරවරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් මහනුවර, අංපිටිය ප්‍රදේශයේ ඉදිකෙරුණු “ගෝල්ඩන් ක්‍රවුන්” හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය 25දා විවෘත කෙරිණි.

Comment (0) Hits: 261

Air Asia ලංකාවේ වැඩ අල්ලන්න සුදානම්

අඩු වියදම් ගුවන් සේවාවන් සපයන ආසියාවේ විශාලතම සමාගමක් වන Air Asia සමාගම මෙරට ගුවන්සේවා ඇරඹීම සඳහා ඉදිරිපත්වී ඇති බව වාර්තා වෙයි.

Air Asia සමාගම විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සම්බන්ධව කැබිනට් සන්දේශයක් (අංක MNPEA/2017/149) ජාතික ප්‍රතිපත්තිසහ ආර්ථික කටයුතු අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය හවුල් කැබිනට් සන්දේශයක් පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත යොමුකර ඇති අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙම ගුවන් සේවය ශ්‍රී ලාංකීය සමාගමක් සමඟ හවුල් ආයෝජනයක් ලෙස පවත්වාගෙන යාමටද Air Asia සමාගම එකඟතාව පළකර ඇත.

මෙම ගුවන් සේවය මෙරට තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ අඩු පිරිවැය ව්‍යාපාර ආකෘතියක් යටතේ වන අතර ඊට අනුව ආසන වැඩි සංඛ්‍යාවකින් සමන්විත නවතම තනි ගුවන් යානා ඇණියක් පවත්වාගෙන යාම, අමතර සේවාවන්ගෙන් තෝරා තනි පන්තියේ සේවාවක් ලෙස එය ක්‍රියාත්මක වනු ඇත.

එසේම මෙරට ගුවන් සේවයක් ඇරඹීම සඳහා වසර 5ක කාලයක් ඉලක්ක ගතකර ඉදිරිපත් කර තිබෙන Air Asia සමාගමේ යෝජනාවට අනුව අනෙක් ගුවන්සේවාවන් ක්‍රියාත්මක නොවන එහෙත් පුළුල් වර්ධනයක් අත්කරගත හැකි නවතම ගුවන් මාර්ග 27ක් භාවිතයට ගැනීමට නියමිතය.

තවද එම ගුවන් මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාවේ ප්‍රධාන උපාය මාර්ගික කේන්ද්‍රස්ථාන ලෙස සැළකෙන කොළඹ, යාපනය සහ හම්බන්තොට සිට ඉන්දියාව දක්වා ( ගුවන් වාර සති 301 ක් හෝ ආසන ධාරිතාව 56%ක්) , ඉන් අනතුරුව ඉන්දියාව හැර අනෙකුත් දකුණු ආසියානු රටවල් සඳහා ( ගුවන්වාර සති 105ක් හෝ ආසන ධාරිතාව 19%ක්), චීනය සහ ආසියාන් සංවිධානයට අයත් රටවල් දක්වා (ගුවන් වාර සති 84ක් හෝ ආසන ධාරිතාව 16%ක්), සහ අවසාන වශයෙන් මැදපෙරදිග රටවල් හා අප්‍රිකානු රටවල් දක්වා (ගුවන් වාර 49ක් හෝ ආසන ධාරිතාව 9%ක්) දියත් කිරීමට නියමිතව ඇත.

මේ පිළිබඳ සඳහන් කරන රජයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙරට 2020 සංචාරක උපායමාර්ග සැලැස්මේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ගුවන් ගමන් සම්බන්ධතා තරකර ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් වන බවත් ඒ සඳහා Air Asia සමාගමේ පැමිණීම අතිශය වැදගත් වන බවය.

Air Asia සමුහ ව්‍යාපාරය රටවල් 26ක් තුළ ගුවන් මාර්ග 220ක් ද ගමනාන්ත 110ක් ද ආවරණය කරන ගුවන්යානා 220ක් සේවයේ යොදවා ඇති විශාල සමාගමකි. එසේම Air Asia සමුහ ව්‍යාපාරය යටතේ අඩු වියදම් සහිත ගුවන් සේවා සපයනු ලබන ගුවන් සමාගම් 9ක් ක්‍රියාත්මක අතර ලෝකයේ හොඳම අඩු වියදම් ගුවන් සේවා සමාගමට හිමිවන Skytrax සම්මානය අඛණ්ඩව 9 වරක් දිනා ගැනීමටද එම සමාගම සමත්ව ඇත.

Comment (0) Hits: 255

Page 11 of 11