V2025

ආර්ථික

බ්‍රික්ස් මුදල් ඒකකය සහ ඇමරිකන් ඩොලරය !

අලුත් අදහසක් නොවුනත්, බ්‍රික්ස් රටවල් පහ එකතු වෙලා ජාත්‍යන්තර මුදල් ඒකකයක් හදන කතාව නැවතත් උඩට ඇවිත් තිබෙනවා. මේ විදිහට අලුත් මුදල් ඒකකයක් හදන්න යන්නේ ඇමරිකන් ඩොලරයට විකල්පයක් ලෙසයි.

මෙය ඩොලරයට විකල්ප හැදීමට දරා තිබෙන එකම හෝ පළමු උත්සාහය නෙමෙයි. මීට පෙර මේ විදිහට යෝජනා කළ ඇතැම් විකල්ප පසුව සැබෑ විකල්ප බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරින්, සාර්ථකම විකල්පය යුරෝව කියා කියන්න පුළුවන්. බිට්කොයින් වල සිට පසු ගිය වසර කිහිපය තුළ නිර්මාණය කරනු ලැබ ඇති ක්‍රිප්ටෝ මුදල් ඒකක සියල්ලම වගේත් ඩොලරයට විකල්ප ලෙස මතු වී ඇති මුදල් ඒකක ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉහත මුදල් ඒකක වලට අමතරව ඇමරිකාව ඇතුළේම ඩොලරයට විකල්ප ලෙස භාවිතා වන මුදල් ඒකක විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ගැන ඇමරිකාවෙන් පිටත ලොකු සාකච්ඡාවක් සිදු වෙන්නේ නැහැ. මෙවැනි විකල්ප ගණනාවක් තිබුණත් ඇමරිකන් ඩොලරයට තිබෙන ප්‍රමුඛ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා.

ඇමරිකන් ඩොලරයට පෙර ලෝකයේ ප්‍රමුඛ මුදල් ඒකකය වුනේ බ්‍රිතාන්‍ය පවුමයි. ආසන්න වශයෙන් දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙන් පසුව ක්‍රමයෙන් බ්‍රිතාන්‍ය පවුම වෙනුවට ඇමරිකන් ඩොලරය ආදේශ වී ඩොලරය මුල් තැනට පැමිණියා. මේ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා.

ලෝකයේ මහ බැංකු වල විදේශ වත්කම් වලින් 58%ක් පමණ තවමත් ඇමරිකන් ඩොලර්. කලකට පෙර මෙම ප්‍රතිශතය 70% වැනි මට්ටමක තිබුණා. සංචිත මුදල් ඒකකයක් ලෙස ඇමරිකන් ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකක ආදේශ වෙමින් ඇතත්, ඇමරිකන් ඩොලරයට තිබුණු ප්‍රමුඛ ස්ථානය තවමත් එලෙසම තිබෙනවා.

ජාත්‍යන්තර ගනුදෙනු වලින් අඩකට වඩා තවමත් සිදු වෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්. මේ ගනුදෙනු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වන්නේ ඇමරිකාවෙන් පිටතදී වෙනත් රටවල් දෙකක් අතරයි. බැඳුම්කර ඇතුළු ජාත්‍යන්තර ණය ගනුදෙනු වලින් අඩකට වඩා සිදු වන්නේද ඇමරිකන් ඩොලර් වලින්. විදේශ විණිමය හුවමාරු ගනුදෙනු වලින් 90%ක පමණදීම ගනුදෙනුවේ එක පැත්තක් ඇමරිකන් ඩොලර්.

පහතින් තිබෙන්නේ 2022 වසර අවසන් වන විට ලෝකයේ මහ බැංකු වල විදෙස් සංචිත ලෙස පවත්වා ගත් ප්‍රධාන මුදල් ඒකක වල ප්‍රමාණයි.

මුළු සංචිත ප්‍රමාණය - ඩොලර් බිලියන 11,089.0 (100.0%)
ඇමරිකන් ඩොලර් - ඩොලර් බිලියන 6,471.3 (58.4%)
යුරෝ - ඩොලර් බිලියන 2,270.4 (20.5%)
ජපාන යෙන් - ඩොලර් බිලියන 610.9 (5.5%)
බ්‍රිතාන්‍ය පවුම් - ඩොලර් බිලියන 548.7 (4.9%)
චීන යුවාන් - ඩොලර් බිලියන 298.4 (2.7%)
කැනේඩියානු ඩොලර් - ඩොලර් බිලියන 263.7 (2.4%)
ඕස්ට්‍රේලියන් ඩොලර් - ඩොලර් බිලියන 217.5 (2.0%)
ස්විස් ෆ්‍රෑන්ක් - ඩොලර් බිලියන 25.3 (0.2%)
වෙනත් - ඩොලර් බිලියන 382.9 (3.5%)

මෙම සංයුතියෙහි දැකිය හැකි විශේෂ කරුණක් වන්නේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය නියෝජනය කරන චීනයේ මුදල් ඒකකයට තිබෙන සාපේක්ෂව අඩු ජාත්‍යන්තර පිළිගැනීමයි. මේ පිළිබඳව චීනයට ඇති කණස්සල්ල තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙමෙයි. බ්‍රික්ස් මුදල් ඒකක යෝජනාව හරහා ප්‍රධාන වශයෙන්ම මතු වන්නේ මෙම කණස්සල්ලයි.

එක්සත් රාජධානියට වඩා විශාල ආර්ථිකයක් තිබෙන ඉන්දියාවට මෙන්ම, ඕස්ට්‍රේලියාවට වඩා විශාල ආර්ථිකයන් නියෝජනය කරන රුසියාවට හා බ්‍රසීලයටද මෙවැනිම කණස්සලක් නොතිබෙන්නට හේතුවක් නැහැ. බ්‍රික්ස් කණ්ඩායම සමඟ සිටින දකුණු අප්‍රිකාවේ ආර්ථිකයනම් ඉහත රටවල් හතරේ ආර්ථිකයන්ට සාපේක්ෂව එතරම් විශාල නැහැ.

කිසියම් රටක මුදල් ඒකකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීමෙන් අදාළ රටට වාසි ගණනාවක් ලැබෙනවා. ඒ අතරින් ප්‍රධාන වාසිය ආයෝජන ගලා ඒම හරහා මුදල් ඒකකයට ඇති වන ඉල්ලුම නිසා පොලී අනුපාතික ඉතා අඩු මට්ටමක පවත්වා ගනිමින් ණය ලබා ගන්නට හැකි වීමයි. දෙවන වාසිය විදේශ ණය වුවද තමන්ගේ මුදල් ඒකකයෙන්ම ලබාගත හැකි නිසා විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු නොවීමයි.

ඉහත වාසි තිබුණත්, මෙහි අවාසිද තිබෙනවා. ප්‍රධානම අවාසිය තමන්ගේ මුදල් ඒකකය ඕනෑවට වඩා ශක්තිමත් වීම නිසා අපනයන තරඟකාරීත්වය පවත්වාගත නොහැකි වීමෙන් දිගින් දිගටම පවතින වෙළඳ ශේෂ හිඟයක් ඇති වීමයි. කාලයක සිට දිගටම පවතින ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය මගින් පෙන්නුම් කරන්නේ මෙම අවාසියයි.

එකම හේතුව නොවුනත්, ඇමරිකන් ඩොලරයට තිබෙන පිළිගැනීම පසුපස ඇති ප්‍රධානම සාධකය ඇමරිකානු ආර්ථිකයයි. ඇමරිකානු ආර්ථිකය බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා ප්‍රමුඛ ලෝක ආර්ථිකය බවට පත් වීමත්, ඇමරිකන් ඩොලරය බ්‍රිතාන්‍ය පවුම අභිබවා ප්‍රමුඛ මුදල් ඒකකය වීමත් සමාන්තරව සිදු වූ සිදුවීම් දෙකක්.

චීන ආර්ථිකය තවමත් ඇමරිකන් ආර්ථිකයට වඩා කුඩා වුවත්, බ්‍රික්ස් රටවල් පහේ ආර්ථිකයන් සියල්ල එකතු කළ විට ඇමරිකන් ආර්ථිකයට වඩා විශාලයි. ඒ වගේම, චීන ආර්ථිකය පමණක් වුවද යුරෝපීය සංගමයේ රටවල් සියල්ලේම ආර්ථිකයන්ට වඩා විශාලයි. පහත තිබෙන්නේ 2021 තත්ත්වයයි.

චීනය - ඩොලර් බිලියන 17,734යි
ඉන්දියාව - ඩොලර් බිලියන 3,176යි
රුසියාව - ඩොලර් බිලියන 1,779යි
බ්‍රසීලය - ඩොලර් බිලියන 1,609යි
දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 419යි
බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 24,717යි
ලෝක ආර්ථිකයේ පංගුව - 25.6%යි

ඇමරිකන් ආර්ථිකය - ඩොලර් බිලියන 23,315යි
ලෝක ආර්ථිකයේ පංගුව - 24.2%යි

යුරෝපීය සංගමයේ ආර්ථිකය - ඩොලර් බිලියන 17,177යි.
ලෝක ආර්ථිකයේ පංගුව - 17.8%යි

එසේනම් බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හැදුවොත් ඩොලරය කඩා වැටෙයිද? අඩු වශයෙන් යුරෝවෙන් ඩොලරයට ආ තරමේ තරඟයක් ඇති වෙයිද?

බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හදා ගත්තා කියා මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ඉඩක් නැහැ. ඊට ප්‍රධානම හේතුව මෙවැන්නක් "නොගැලපෙන රෝද" එකතු කර හදන කරත්තයක් වීමයි. මෙය යුරෝව හදද්දී පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

යුරෝව හදද්දී වගේම දැනටත් යුරෝපීය රටවල් අතර වෙළඳාමෙන් විශාල පංගුවක් එම රටවල් අතරම සිදු වූ වෙළඳාමයි. යුරෝපීය රටවල් අතර වෙළඳාම සඳහා ඇමරිකන් ඩොලරය වැනි කොහේවත් තිබෙන මුදල් ඒකකයක් යොදා ගැනීමට විශේෂ හේතුවක් තිබුණේ නැහැ. මේ කතාව බ්‍රික්ස් රටවල් වලටද වලංගු වුවත්, එම රටවල් අතර සිදු වන වෙළඳාමේ පරිමාව ඉතා කුඩා එකක්. පහත තිබෙන්නේ 2021දී එක් එක් බ්‍රික්ස් රට විසින් අනෙකුත් රටවල් හතරට සිදු කළ අපනයන ප්‍රමාණයේ වටිනාකමයි.

චීනය - ඩොලර් බිලියන 239.8යි
ඉන්දියාව - ඩොලර් බිලියන 38.6යි
රුසියාව - ඩොලර් බිලියන 83.4යි
බ්‍රසීලය - ඩොලර් බිලියන 95.5යි
දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 18.7යි
බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 476.0යි
ලෝක වෙළඳාමේ පංගුව - 2.1%යි

මේ අනුව, බ්‍රික්ස් රටවල් එකතු වී අලුත් මුදල් ඒකකයක් හදාගෙන එම රටවල් අතර සිදුවන ගනුදෙනු 100%ක්ම එම අලුත් මුදල් ඒකකයෙන් කළත්, එම ගනුදෙනු සියල්ල ලෝක වෙළඳාමෙන් 2.1% පමණයි. මීට සාපේක්ෂව ඇමරිකාවේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඩොලර් බිලියන 4,686.1ක් හෙවත් ලෝක වෙළඳාමෙන් 21.0%ක් තරම් විශාලයි. ඒ වගේම, බ්‍රික්ස් රටවල් පහ ඇමරිකාව සමඟ කරන වෙළඳාම පමණක්ම වුවත් බ්‍රික්ස් රටවල් අතර සිදුවන වෙළඳාම මෙන් දෙගුණයක් හෙවත් ලෝක වෙළඳාමෙන් 4.2%ක්.

බ්‍රික්ස් රටවල් පහේ දළ දේශීය නිෂ්පාදිත එකතුවෙන් 71.7%ක්ම චීනයේ දළ දේශීය නිෂ්පාදිතයයි. එමෙන්ම, මෙම රටවල් අතර වෙළඳාමෙන් 91.0%ක්ම සිදු වන්නේ චීනය සමඟයි. චීනය හැර අනෙක් රටවල් අතර සිදු වන වෙළඳාම මුළු බ්‍රික්ස් වෙළඳාමෙන් 9.0%ක් පමණයි. ඒ නිසා, කිසියම් සූත්‍රයකට අනුව මෙම රටවල් පහේ මුදල් ඒකක සම්බන්ධ කරමින් අලුත් මුදල් ඒකකයක් හැදුවත්, එහි වටිනාකම බොහෝ දුරට තීරණය වන්නේ චීන යුවානයේ වටිනාකම මතයි. අනෙක් මුදල් ඒකක වලට තිබිය හැක්කේ නාමික බලපෑමක් පමණයි. ඒ නිසා, මෙවැනි මුදල් ඒකකයක් හඳුන්වා දීම යනු ප්‍රායෝගිකව චීන යුවානය ජනප්‍රිය කරවීමකට වඩා වැඩි දෙයක් නෙමෙයි.

චීන යුවානය සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය නොවීමට ප්‍රධානම බාධාව වන්නේද චීනයමයි. මෙය අනෙක් බ්‍රික්ස් රට වල මුදල් ඒකක වලටද අදාළ කරුණක්. බ්‍රික්ස් රටවල් කිසිවක ප්‍රාග්ධන ගිණුම් විවෘත නැහැ. එයට සාපේක්ෂව ජනප්‍රිය මුදල් ඒකක හිමි අනෙකුත් රටවල ප්‍රාග්ධන ගිණුම් විවෘතයි. සංවෘත ප්‍රාග්ධන ගිණුමක් ඇති රටක මුදල් ඒකකයක මිලෙන් එහි නියම මිල නිරූපණය වන්නේ නැහැ. ඒ නිසාම, එවැනි මුදලකට සංචිත මුදල් ඒකකයක් ලෙස විශ්වාසය ගොඩ නගා ගැනීමේ හැකියාවක්ද නැහැ.

චීනය කවර හෝ දිනක ප්‍රාග්ධන ගිණුම විවෘත කළහොත් චීනය වෙත බාහිර ප්‍රාග්ධනය ගලා ඇවිත් චීන යුවානය ශක්තිමත් වෙනවා. චීන යුවානය ඩොලරය සමඟ පහසුවෙන් තරඟ කළ හැකි සංචිත මුදල් ඒකකයක් බවට පත් වෙනවා. එහෙත්, ඒ සමඟම චීනයේ අපනයන තරඟකාරීත්වයද නැති වෙනවා. අපනයන මුල් කරගත් චීනයේ ආර්ථික වර්ධනයද මන්දගාමී වෙනවා.

චීනය හෝ අනෙකුත් කිසිදු බ්‍රික්ස් රටක් මෙම අත්‍යවශ්‍ය පියවර තබන්නට සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම, චීන යුවානය හෝ අලුතෙන් හදා ගන්නා බ්‍රික්ස් මුදල් ඒකකයක් සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය වීමේ ලොකු ඉඩක් නැහැ. එසේ ජනප්‍රිය වීමම එක්තරා ආකාරයකින් චීනය විසින් ආර්ථික අර්බුදයකට පාර කපා ගැනීමක්.

ප්‍රාග්ධන ගිණුම විවෘතව නොතිබීමට අමතරව චීන ව්‍යවසාය මත චීන රජයේ මැදිහත්වීම්ද යුවානය ජනප්‍රිය කරවීමට තිබෙන විශාල බාධාවක්. චීන රජයට අවශ්‍ය විටෙක යුවානයේ වටිනාකම මෙන්ම චීනයේ ඇති යුවාන් වත්කම් වල වටිනාකම්ද විශාල ලෙස වෙනස් වන ආකාරයේ බලපෑමක් කළ හැකියි. මෙම අවදානම හමුවේ යුවානය කෙරෙහි බාහිර විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ.

කෙසේ වුවත්, ඩොලරයේ ලෝක අධිපත්‍යයෙහි ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා. ප්‍රධානම ප්‍රශ්නය ඇමරිකාවේ දේශපාලන අධිකාරිය විසින් ඩොලරය දේශපාලන අවියක් ලෙස භාවිතා කිරීමයි. ඩොලරය ලෝකයේ වඩාත්ම විශ්වාසනීය මුදල් ඒකකය බවට පත් වී තිබෙන්නේ ඇමරිකන් ආර්ථිකයේ ශක්තිය මත පදනම්ව මිස ඇමරිකන් දේශපාලන අධිකාරයේ බලපෑම් නිසා නෙමෙයි. එහෙත්, දේශපාලන අරමුණු මත ඇමරිකන් රජය විසින් වරින් වර විවිධ රටවලට සම්බාධක පමුණුවද්දී සිදුවන්නේ ඩොලරය පිළිබඳව ගොඩ නැගී ඇති මෙම විශ්වාසනීයත්වය බිඳ වැටීමයි.

ඇමරිකාවේ භාණ්ඩාගාර නිලධාරීන් විසින් ඇමරිකානු රජය විසින් ඩොලරයේ ශක්තිය දේශපාලන අවියක් සේ යොදා ගැනීම පිළිබඳව ඔබාමා, ට්‍රම්ප් මෙන්ම බයිඩන් පරිපාලනයටද අනතුරු අඟවා ඇතත්, වෙනත් රටවල මෙන්ම ඇමරිකාවේද දේශපාලන තීරණ වලදී වැඩි අවධානයක් යොමු වන්නේ කෙටිකාලීන ඉලක්ක වලටයි. බ්‍රික්ස් මුදල් ඒකකයක් හැදීම වැනි යෝජනා එන්නේ මෙවැනි හේතු නිසායි.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

රුපියල තවත් ශක්තිමත් වෙයි !

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව, ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 331.05ක් ලෙසත් දැක්වෙයි.

Screenshot 2023 03 08 at 14.44.56 1068x441

ධන බද්ද හා ධන සම්ප්‍රේෂණ බද්ද !

ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී "දේශීය විසඳුම්" හෝ "විකල්ප විසඳුම්" වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා.

බදු කැපිල්ලෙන් රාජ්‍ය ආදායම් විශාල ලෙස පහත වැටුණා. අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගොස් ණය ගැනීමේ අවශ්‍යතාවය විශාල ලෙස ඉහළ ගියා. වැඩියෙන් ණය ගන්න යද්දී පොලී අනුපාතික අනුරූප ලෙස ඉහළ යාමට ඉඩ හැරිය යුතු වුවත්, ඒ වැඩේ සිදු වුනෙත් නැහැ. ඒ නිසා, හිඟය පියවන්න වුනේ මහ බැංකුවෙන් ණය ගැනීමෙන් හෙවත් සල්ලි අච්චු ගැසීමෙන්.

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහද්දී රුපියලේ සාපේක්ෂ වටිනාකම අඩු වෙනවා. එවිට එය නිරූපණය වන පරිදි ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හැරිය යුතුයි. එය නොකළ නිසා ඩොලර් ලාබ වෙලා වේගයෙන් රුපියල් ඩොලර් වුනා. රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඩොලර් අර්බුදයක් ආවා. ප්‍රශ්නයේ මුල තිබුණේ අවිචාරවත් බදු කැපිල්ල.

බදු කැපිල්ලටද පසුබිමක් තිබුණා. විශාල අයවැය හිඟයක් පවත්වා ගැනීම, පොලී අනුපාතික පහළින් තියා ගැනීම සහ විණිමය අනුපාතය ඕනෑවට වඩා ශක්තිමත්ව තියා ගැනීම 2015ට පෙරද වසර ගණනක් තිස්සේ සිදු වූ නිසා 2015 වන විට ලංකාව ආර්ථික අර්බුදයක් කිට්ටුවටම ඇවිත් තිබුණා. IMF ගිහින් එම ආර්ථික අර්බුදය වලක්වා ගනු ලැබුවා. ඒ සඳහා බදු වැඩි කර අයවැය හිඟය අඩු කරන්න සිදු වුනා. ඩොලරය ඉහළ යන්න දෙන්න වුනා. ආර්ථික වර්ධනය සීමා වෙන්න ඉඩ හරින්න සිදු වුනා.

ඉහත පිරිමැසුම් ක්‍රියාමාර්ග කිසිවක් ආකර්ශනීය දේවල් වුනේ නැහැ. බදු කැපිල්ල, පොලී අනුපාතික පහළින් තියා ගැනීම, ඩොලරයක මිල පාලනය කිරීම ආදී හැම දෙයක්ම සිදු වුනේ ඔය පසුබිමේ. සම්මත දැනුම ප්‍රතික්ෂේප කරමින් ක්‍රියාත්මක කළ මෙම "ගෘහස්ථ විසඳුම්" වල ප්‍රතිඵල ලොකු මිලක් ගෙවීමෙන් පසුව ශ්‍රී ලාංකිකයින් විසින් තේරුම් ගත්තා.

මේ වෙද්දී බදු ඉහළ දැමීම මගින් වැරැද්ද නිවැරදි කර තිබෙනවා. බදු වැඩිවීම රටට දැනෙන නමුත් උද්ධමනය තරමටම දැනෙනවා කියා මම හිතන්නේ නැහැ. උද්ධමනය දිගටම පැවතියේනම් එහි හානිය අනිවාර්යයෙන්ම වඩා වැඩියි. දැනටමත් බදු ඉහළ දමා අවසන් බැවින් "පීඩා කිරීමේ කාලය" බොහෝ දුරට අවසානයි. පැනවීමට තව දුරටත් ඉතිරිව තිබෙන්නේ ධන බද්ද හා ධන සම්ප්‍රේෂණ බද්ද පමණයි.

ධන බද්දක් යනු කුමක්ද?

ලංකාව ඇතුළු ලෝකයේ බොහොමයක් රටවල් ආදායම් බදු අය කරනවා. එහෙත් ධන බදු (wealth tax) අය කරන්නේ ලෝකයේ රටවල් අතරින් අතළොස්සක් පමණයි. ඇතැම් විට ධන බදු ප්‍රාග්ධන බදු (capital tax) ලෙසද හැඳින්වෙනවා. ධන බදු තේරුම් ගැනීම සඳහා පහසුම ක්‍රමය ධන බදු හා ආදායම් බදු සංසන්දනය කිරීමයි.

ධන බදු අය කරන්නේ ධනය මතයි. ආදායම් බදු අය කරන්නේ ආදායම මතයි. ධනය හා ආදායම අතර තිබෙන්නේ කවර ආකාරයක සම්බන්ධයක්ද?

ආර්ථික විද්‍යාවේදී (මෙන්ම භෞතික විද්‍යාව වැනි වෙනත් විද්‍යාවන්හි හා ගිණුම්කරණය වැනි තාක්ෂණික විෂයයන් තුළ) හමු වන විචල්‍යයන් සංචිත විචල්‍යයන් (stock variables) සහ ධාරා විචල්‍යයන් (flow variables) ලෙස වර්ග කළ හැකියි. සංචිත විචල්‍යයකින් පෙන්වන්නේ, පොකුණක ඇති ජල ප්‍රමාණය මෙන්, කිසියම් නිශ්චිත මොහොතක පවතින තත්ත්වයයි. මෙයින් වෙනස්ව ධාරා විචල්‍යයකින් පෙන්වන්නේ, දිය ඇල්ලකින් පහතට වැටෙන ජලය මෙන්, නිශ්චිත අවස්ථා දෙකක් අතර සිදුවන දෙයක්.

ධනය යනු සංචිත විචල්‍යයක්. ආදායම් යනු ධාරා විචල්‍යයක්.

  • කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ පොල් ගස් ගණන ධනයක්. ඒ පොල් ගස් වලින් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් පොල් ගෙඩි ගණන ආදායමක්.
  • කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ කිකිළියන් ගණන ධනයක්. ඒ කිකිළියන්ගෙන් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් බිත්තර ප්‍රමාණය ආදායමක්.
  • කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ කුඹුරු ඉඩම් ප්‍රමාණය ධනයක්. ඒ කුඹුරු ඉඩම් වලින් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් වී ප්‍රමාණය ආදායමක්.
  • කිසියම් නිශ්චිත දිනක ඔබ සතුව බැංකුවේ තිබුණු මුදල් ප්‍රමාණය ධනයක්. ඒ මුදල් වෙනුවෙන් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලැබුණු පොලිය ආදායමක්.



ධනය වැඩිවන තරමට එම ධනය වෙනුවෙන් ප්‍රතිලාභ සේ ලැබෙන ආදායමද සාමාන්‍යයෙන් ඉහළ යනවා. ආදායම වැඩි වන තරමට ධනය වැඩි වීමේ ඉඩකඩ ඉහළ යන නමුත් එසේ වන්නේ පරිභෝජනය ආදායමට වඩා අඩුනම් පමණයි. පරිභෝජනය ආදායමට වඩා වැඩිනම් සිදු වන්නේ ධනය ක්‍රමයෙන් අඩු වීමයි.

ධනය මත බදු අය කිරීම සමාජවාදී අදහසක්. එහෙත් සමාජවාදී අදහසක් වන්නට පෙර සිටම පැවති පෞරාණික අදහසක්. මෙහි ප්‍රධාන අරමුණ ආදායම් විෂමතා අඩු කිරීමයි. ආදායම් බදු වලින්ද ආදායම් විෂමතා අඩු කිරීම ඉලක්ක කරන නමුත් බොහෝ විට ධන බදු වල එකම අරමුණ ආදායම් විෂමතා අඩු කිරීමයි. ධන බද්දක් කියන්නේ දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විරුද්ධ වන බද්දක්.

ධන බද්දක් අය නොකිරීමට හේතු ගණනාවක් තිබෙනවා. මේ හේතු නිසාම දැන් ලෝකයේ බොහෝ රටවල් ධන බදු අය කරන්නේ නැහැ. මුලින් ධන බදු අය කළ රටවල්ද පසුකාලීනව ධන බදු අහෝසි කර තිබෙනවා. යුරෝපයේ රටවල් ගණනාවක් විසින්ම කලකට පෙර ධන බදු අය කර ඇතත්, පසුව එම ධන බදු අහෝසි කර තිබෙනවා. යුරෝපීය රටවල් අතරින් මේ වන විට ධන බදු අය කරන්නේ නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්විට්සර්ලන්තය පමණයි.

අසල්වැසි ඉන්දියාව විසින් 1957 සිට ධන බද්දක් අය කළත් 2016 අප්‍රේල් 1 දින සිට එම බද්ද අහෝසි කළා. පකිස්ථානය 1963දී ධන බද්දක් පනවා 2002දී එය අහෝසි කළා. 1958 වසරේ සිට ලංකාවද ධන බද්දක් අය කළා. 1992දී මෙම බද්ද අහෝසි කරනු ලැබුවා.

පසුගිය දශක දෙක තුනක පමණ කාලය තුළ ලෝකයේ රටවල් ධන බද්ද අහෝසි කරමින් සිටියත් ඉතා මෑතක සිට නැවතත් මෙම බද්ද පිළිබඳව යම් උනන්දුවක් ඇති වී තිබෙනවා. ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස් සහ ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි පක්ෂ හා කණ්ඩායම් විසින් මෑතකදී ධන බදු පැනවීම යෝජනා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ධන බද්දක් නොපැනවිය යුත්තේ ඇයි?

ධන බද්දකට විරුද්ධව ගෙන එන ප්‍රධාන තර්ක පහත පරිදි පෙළ ගැස්විය හැකියි.

  1. එකම ආදායම මත දෙවරක් බදු ගෙවන්නට සිදු වීම- ධනය කියා කියන්නේ පරිභෝජනය නොකර ඉතිරි කරගත් ආදායම්. ආදායම් බදු ගෙවීමෙන් පසුව ධන බදු ගෙවනවා කියන්නේ එකම ආදායම මත නැවත නැවත බදු ගෙවීමක්. මෙය ආර්ථික ප්‍රශ්නයකට වඩා සදාචාරාත්මක ප්‍රශ්නයක් කියා කිව හැකියි.
  2. ඉහත හේතුව නිසා ආයෝජන අධෛර්යමත් වීම - තමන්ගේ ආදායම පරිභෝජනය කර අවසන් කරන කෙනෙකුට ධන බදු ගෙවන්නට සිදු වන්නේ නැහැ. ධන බදු ගෙවන්නට සිදු වන්නේ පරිභෝජනය සීමා කර ආදායම ආයෝජනය කරන අයටයි. මෙය ආර්ථික කරුණක්.
  3. ව්‍යවසායකත්වය අධෛර්යමත් වීම - ව්‍යවසායකයෙකුට බොහෝ විට සැලකිය යුතු කාලයක් යන තුරු තමන් සිදු කරන ආයෝජනය හෝ අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. මෙම කාලය තුළ ධන බදු ගෙවන්නට සිදු වීමෙන් ව්‍යවසායකත්වය අධෛර්යමත් වෙනවා.
  4. ධනය රටින් බැහැරට ගලා යාම - ධන බදු අය කරන රටවල ඇති ධනය එසේ නොකරන රටවල් වෙත විතැන් කිරීම වාසිදායකයි. මෙහි ප්‍රතිඵලය රට තුළ ඇති ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාමයි. ඉහත සාධක දෙක මෙන්ම මෙම සාධකයද රටක ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා.
  5. ධන බද්ද අය කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා- ලෝකයේ රටවල් ගණනාවක් විසින්ම ධන බද්ද අහෝසි කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ඉහත සඳහන් සදාචාරාත්මක හා ආර්ථිකමය හේතු වලට වඩා මෙම ප්‍රායෝගික හේතුවයි. බොහෝ අවස්ථා වලදී ධන බදු අය කර ගැනීමේ පරිපාලන වියදම් එකතු වන ධන බදු වලට වඩා වැඩි මට්ටමක පැවතී තිබෙනවා.

ඉහත හේතු නිසා ධන බදු අය කිරීමට පහසුවෙන්ම විරුද්ධ විය හැකි වුවත්, ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා පිළියම් සෙවීමේදී ධන බද්දක් අය කිරීම ගැන සිතා බැලිය යුතු බව මා විසින් පෞද්ගලිකවම යෝජනා කර ඇති දෙයක්. ලංකාවට මේ අවස්ථාවේදී ධන බද්දක් සුදුසු බව මගේ අදහස වූයේ සහ වන්නේ ලංකාවේ දැනට පවතින සුවිශේෂී තත්ත්වයන් තුළයි. මෙම යෝජනාව මේ වන විට ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ යෝජනාවක් බවට පත් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද පිළිගෙන තිබෙනවා. මෙය අරමුදලේ යෝජනා හැම විටම එකම වට්ටෝරුවක්ය යන පොදු චෝදනාවටටද පිළිතුරක්.

මා එසේ සිතුවේ සහ සිතන්නේ ඇයි?

  1. ලංකාවේ බොහෝ දෙනෙකු විසින් පොදු දේපොළ අවභාවිතා කර ඇති බව, සාමාන්‍ය වචන වලින් කිවුවොත් හොරකම්, දූෂණ, කොමිස් ලබා ගැනීම් ආදී ක්‍රම වලින් අයථා ලෙස ධනය උපයා ඇති බව, ප්‍රචලිත හා ජනප්‍රිය අදහසක්. ප්‍රමාණය ඇතැම් අය කියන තරම් නොවිය හැකි වුනත්, මේ කතාව බොරුවක් නෙමෙයි. මෙසේ අයථා ලෙස උපයා ඇති ආදායම් බදු දැලට අසු වී නැහැ. එහෙත් එවැනි ආදායම් වලින් සැලකිය යුතු කොටසක් වත්කම් බවට පත් වී ඇති බැවින් ධන බද්දක් මගින් නොලැබුණු ආදායම් එකතු කර ගත හැකියි. අයථා ලෙස උපයා ඇති ධනය පිළිබඳ ඇස්තමේන්තුවක් හෝ ලබා ගැනීම සඳහා මෙවැනි බද්දක් හොඳ ප්‍රවේශයක්. දේශපාලන පලිගැනීම් මට්ටමට නොගොස්, හොරකම්, දූෂණ, කොමිස් ආදිය හරහා උපයා ඇති ධනය ගැන සොයා බලා නැවත අය කර ගැනීම නීතිමය හා පරිපාලනමය ලෙස ඉතා අපහසු කාර්යයක්. යම් කාලයක් එක දිගට ධන බද්දක් අය කිරීම මගින් මේ කාර්යය වක්‍ර ලෙස වඩා ඵලදායී ආකාරයකින් කළ හැකියි.
  2. බදු පැහැර හැරීමද ලංකාවේ කාලයක් තිස්සේ සිදුව ඇති සාමාන්‍ය දෙයක්. හොරකම්, දූෂණ ආදිය නොකර සාධාරණ ලෙස උපයන ආදායමක් වෙනුවෙන් වුවද හෙවිය යුතු බදු නිසි සේ ගෙවා නැත්නම් එහි තිබෙන්නේ කාලයක් තිස්සේ රජයට හා ජනතාවට කර ඇති වංචාවක්. ධන බද්දක් මගින් මෙසේ නොගෙවූ බදු වක්‍ර ලෙස අය කර ගත හැකියි.
  3. හොරකම්, දූෂණ ආදිය සිදුකර නැතත්, බදුද හරියට ගෙවා ඇතත්, කාලයක් තිස්සේ රජය විසින් ප්‍රමාණවත් තරම් බදු අය නොකිරීමේ වාසිය ලබමින් ධනය එක්රැස් කරගත් විශාල පිරිසක් ඉන්නවා. ධන බද්දක් මගින් පසුගිය කාලය තුළ ප්‍රමාණවත් තරමින් බදු අය නොකිරීමේ අවාසිය ආපසු හැරවිය හැකියි.
  4. ලංකාවේ පවතින පසුබිම තුළ නිසි ලෙස ක්‍රියාත්මක ධන බද්දක් මගින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ හැකි බව මගේ අදහසයි. ලංකාවේ ව්‍යවසායකත්ව ආයෝජන සිදුවන්නේ ඉතා අඩුවෙන්. ඒ වෙනුවට බොහෝ දෙනෙකු විසින් කරන්නේ මූර්ත වත්කම් මත ධනය ආයෝජනය කර වටිනාකම ඉහළ යාමේ වාසිය ලබා ගැනීමයි. නිසි ලෙස සැලසුම් කරන ධන බද්දක් මගින් මෙය අධෛර්යමත් කර ව්‍යවසායකත්ව ආයෝජන ප්‍රවර්ධනය කළ හැකියි.
  5. ඉහත අයුරින්ම ඇතැම් පරිභෝජන ස්වරූපයේ ආයෝජන අධෛර්යමත් කළ හැකියි. ඉහත කරුණ හා මෙම කරුණ පසුව වැඩිදුරටත් විස්තර කරන්නම්.
  6. ශ්‍රී ලාංකිකයින්ට සිය ප්‍රාග්ධනය රටින් බැහැරට පහසුවෙන් විතැන් කිරීමේ හැකියාවක් නැහැ. දැනට රටින් බැහැර වන බොහෝ දෙනෙකු ශ්‍රමය මත පදනම් වූ ආදායම් ලබන්නන් මිස වත්කම් මගින් ආදායම් උපයන්නන් නෙමෙයි. ඒ නිසා ධන බද්දක් අය කළ පමණින් ධනය රටෙන් විතැන් වීමක් ලොකුවට සිදු වීමේ ඉඩක් නැහැ.


මෙවැනි බද්දක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානම ප්‍රශ්නය ධන බදු අය කර ගැනීමේ වාසියට සාපේක්ෂව ඒ සඳහා යන පරිපාලන වියදම ඉහළ මට්ටමක පැවතීමයි. මෙය ශ්‍රී ලංකා රජය විසින් ජයගත යුතුව ඇති අභියෝගයක්. අරමුදලේ තාක්ෂනික සහයෝගයද ලබමින් අවශ්‍ය මූලික කටයුතු කිරීම සඳහා දෙවසරක කාලයක් ඉතිරිව තිබෙනවා.

ඉහත සිවුවන හා පස්වන කරුණු වෙත නැවත ආවොත්, එක් උදාහරණයක් ලෙස, ලංකාවේ බොහෝ දෙනෙකු විසින් වාහන මිල දී ගන්නේ පරිභෝජන භාණ්ඩයක් ලෙස සලකමින් නොව වත්කමක් එකතු කර ගැනීමක් ලෙසයි. නිවාස වියදම් ගැනද කිව හැක්කේ මෙයයි. ලංකාවේදී මෙවැනි වත්කම් වල වටිනාකම ඉහළ යාමක් මිස ක්ෂය වීමක් නොවන නිසා වත්කමකින් ආදායමක් නොලැබීමේ අවාසිය නිශේධනය වෙනවා.

එහෙත්, වාහනයක් ආනයනය කිරීමේදී එකවර විශාල බදු මුදලක් අය කිරීමේ ක්‍රමය වෙනුවට (හෝ එම බද්ද තිබියදීම) වාහනයේ අයිතිය මත මාසිකව සැලකිය යුතු බදු මුදලක් අය කරන්නේනම් වත්කමක් ලෙස සලකමින් වාහනයක් තියා ගැනීම ගැන දෙවරක් සිතන්නට සිදු වෙනවා.

ඉඩම් හා ගෙවල් ගැන වුවත් තත්ත්වය මෙයයි. එක්කෝ වත්කම් බදු (ධන බදු) වියදම උපයන ආදායමක් මෙම වත්කම් මගින් සොයා ගන්නට සිදු වෙනවා. නැත්නම් එම බදු මුදල පරිභෝජන වියදමක් සේ සලකන්න වෙනවා. ආදායමක් ඉපැයීම සඳහා හෝ සැබෑ පරිභෝජන අවශ්‍යතා පිණිස මෙවැනි වත්කමක් නඩත්තු කරන අයෙකුට මෙය ප්‍රශ්නයක් නොවුනත්, වටිනාකම ඉහළ යාම සලකමින් මෙවැනි වත්කම් නඩත්තු කරන අයට දෙවරක් සිතන්නට ධන බද්ද විසින් බල කරනවා. එවැන්නන් මෙවැනි වත්කම් විකුණා දමද්දී අවසාන වශයෙන් එවැනි වත්කම් නවතින්නේ වඩා ඵලදායී ලෙස මෙම වත්කම් ප්‍රයෝජනයට ගන්නා අය ලඟයි.

වගා නොකර නිකම් තියා ගන්නා වගා කළ හැකි ඉඩමක් ගැන හෝ කුලියට නොදී වසා ඇති ගෙයක් ගැන හිතන්න. මෙවැනි වත්කමකින් ආදායමක් නොලැබුණත් නිකම් තියාගෙන සිටීමේ වියදමක් නැති නිසාත්, වටිනාකම වැඩි වනු මිස අඩු නොවන නිසාත් එසේ කිරීමේ පාඩුවක් නැහැ. එහෙත්, වත්කම් බද්දක් ගෙවන්නට සිදු වූ වහාම තත්ත්වය වෙනස් වෙනවා. අවම වශයෙන් වත්කම් බද්ද හා ගැලපෙන ආදායමක් නොලැබේනම් පාඩුවක් සිදු වන නිසා අදාළ දේපොළ කුලියට හෝ බද්දට දීමට සිදු වෙනවා. එසේ කළ නොහැකිනම් විකුණන්නට සිදු වෙනවා.

ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ ඉතිරි කිරීම් ආදායම් නූපයන වත්කම් වල ආයෝජනය කරනවා. වත්කම් බද්දක් මගින් මෙය අධෛර්යමත් කෙරෙනවා. එහිදී සමාගම් කොටස් වැනි ආයෝජන දිරිමත් වීමක් සිදු වෙනවා. මේ හේතු නිසා හරියට සැලසුම් කරන වත්කම් බද්දක් මගින් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය නැවත පණ ගස්වන්න පුළුවන්.

ධන සම්ප්‍රේෂණ බද්දක් යනු කුමක්ද?

ධන බද්දකට අමතරව ධන සම්ප්‍රේෂණ හා උරුම බදුද යෝජනා වී තිබෙනවා. විරෝධතා ඇතත්, මෙම බදු ධන බදු තරම්ම විවාදිත නැහැ.

ධන සම්ප්‍රේෂණ බදු වල ඉලක්කයද ආදායම් විෂමතා අවම කිරීමයි. ආදායම් විෂමතා පැවතීම වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ යමෙකු විසින් උපයන ධනය අදාළ පුද්ගලයාගේ අයිතියක් බවයි. මේ තර්කයම ධනය උපයන්නෙකුගෙන් පැවත එන අයටද අදාළ කර ගත හැකිද? මහන්සි වී වැඩ කර ධනය ඉපැයූ අයෙකුගේ උරුමකරුවෙකු වීම නිසාම යමෙකු ධනවතෙකු වීම සාධාරණද?

ඇතැම් විට යමෙක් ධනය උපයන්නේම තමන්ගේ උරුමකරුවන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් විය හැකියි. එය එසේනම් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය ප්‍රශ්නයක් කියා කියන්න බැහැ. නමුත්, අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය නිසා පුද්ගලයින් ඉපදෙන්නේම සමානයින් ලෙස නෙමෙයි. මෙහි වැරැද්දක් තිබෙනවා. ධන සම්ප්‍රේෂණ බද්දක් මගින් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය සීමා කර ආදායම් විෂමතා අඩු කළ හැකියි. ධන බද්දට ජනතා සහයෝගයක් නැති බොහෝ රටවල පවා ධන සම්ප්‍රේෂණ බදු ක්‍රියාත්මකව තිබෙනවා. ඒ වගේම, ධන සම්ප්‍රේෂණ බද්දක් අය කිරීම ධන බද්දක් අය කරන තරම්ම අපහසු නැහැ.

ප්‍රායෝගිකව ධන බදු මෙන්ම ධන සම්ප්‍රේෂණ බදුද අය කෙරෙන්නේ ධනවතුන් මතයි. මෙහිදී ධනවතුන් අර්ථදැක්විය යුතු වෙනවා. ධනවතෙකු අර්ථදක්වන සීමාව දේශපාලනික කරුණක්. එසේ අර්ථ දැක්වීමෙන් පසුව, බදු අය කර ගැනීම සඳහා ඔවුන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු එකතු කරන්නට සිදු වෙනවා. මෙය ආදායම් දත්ත එකතු කිරීමට සාපේක්ෂව අසීරු කටයුත්තක්. ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍යයි. අවශ්‍ය පෙර සූදානම සඳහා රජයට දෙවසරක කාලයක් තිබෙනවා.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

බොර තෙල් මිල ඉහළට !

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඊයේ (06) ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ව මට්ටමට පැමිණ ඇත.

එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 1යි ශත 80කට වැඩි ඉහළ යාමකී. පසුගිය 05 වනදා වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයේ මිල පැවතියේ ඩොලර් 78.2 ක් ලෙසය.

කෙසේ වුවත් මෙම වසර ආරම්භයේ දී බොරතෙල් මිල ඩොලර් 85ක් ඉක්මවා ගොස් තිබිණ.

ලොව විශාලතම තෙල් නිෂ්පාදකයින් සැපයුම් කපාහරින්නේ ඇයි?

ලොව දැවැන්තම තෙල් අපනයනකරුවන්ගෙන් කීපදෙනෙකු තම නිෂ්පාදන මට්ටම් පහත හෙළන බවට නිවේදනය කර ඇති අතර, මෙනිසා බොරතෙල් මිලෙහි වර්ධනයක් සිදුව තිබේ.

සෞදි අරාබිය, ඉරාකය සහ ගල්ෆ් කලාපීය රාජ්‍යයන් කීපයක් එක්ව දිනකට බොරතෙල් බැරල් මිලියනයකින් තම සැපයුම් පහත හෙළා ඇත . ඔපෙක්+ කණ්ඩායමේ ඔවුන්ගේ සගයා වන රුසියාව, දිනකට බැරල් මිලියන බාගයක් වන කප්පාදුව මෙවසර අවසානය දක්වා දීර්ඝකර තිබේ.

මෙම පියවර ධවල මන්දිරය විසින් විවේචනයට ලක්ව ඇත.

ඔපෙක්+ යනු කුමක් ද?

ඔපෙක්+ යනු, ලෝක වෙළඳපොළ තුළ කොපමණ බොරතෙල් ප්‍රමාණයක් අලෙවි කළ යුතු ද යන්න තීරණය කිරීමට නිරන්තරයෙන් රැස්වන, තෙල් අපනයනය කරන රටවල් 23ක සමූහයකි.

මෙම සමූහය මධ්‍යයේ සිටින්නේ ඔපෙක්හි (Opec - Organization of the Oil Exporting Countries/ තෙල් අපනයනය කරන රටවල සංවිධානය) සාමාජිකයින් 13 දෙනා ය - ඉන් බහුතරය මැද පෙරදිග හා අප්‍රිකානු රටවල් වේ. 1960 දී ඔපෙක් සංවිධානය ආරම්භ කෙරුණේ, ලොව තෙල් සැපයුම හා එහි මිල නියම කරන කාටෙල් (cartel) එකක් වශයෙනි.

වර්තමානයේ ඔපෙක් රටවල් ලොව බොරතෙල් නිෂ්පාදනයෙන් 30%කට පමණ වග කියයි. දිනකට බැරල් මිලියන 10කට වඩා නිෂ්පාදනය කරන සෞදි අරාබිය, ඔපෙක් සංවිධානය තුළ තනි විශාලතම තෙල් නිෂ්පාදකයා ය.

2016 දී, තෙල් මිල විශේෂයෙන් අඩුව තිබි සමයේ දී, ඔපෙක් තවත් තෙල් නිෂ්පාදකයින් 10 දෙනෙකු සමග එක්ව ඔපෙක්+ නිර්මාණය කළේ ය.

එම නව සාමාජිකයින් අතරට, දිනකට බැරල් මිලියන 10කට වැඩියෙන් නිෂ්පාදනය කරන රුසියාව ඇතුළත් ය.

මෙම රාජ්‍යයන් එක්ව, ලොව බොරතෙල්වලින් 40%ක් පමණම නිෂ්පාදනය කරයි.

"ඔපෙක්+ වෙළඳපොළ තුලනය කරන්න සැපයීම සහ ඉල්ලුම සකස් කරනවා," බලශක්ති ආයතනයේ කේට් ඩුරියන් පවසයි. "ඔවුන් තෙල්වල ඉල්ලුම පහත වැටෙද්දී සැපයුම් අඩුකරලා මිල ඉහළ මට්ටමේ තබාගන්නවා."

වෙළඳපොළට තෙල් වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමෙන් එහි මිල අඩු කිරීමට සංවිධානයට හැකි ය.

ඔපෙක් + තෙල් සැපයුම අඩු කරන්නේ ඇයි?

මෑත දී නිවේදනය කළ දිනකට බැරල් මිලියන 1.16ක කප්පාදුව පැමිණියේ, 2022 ඔක්තෝම්බර් මාසයේ දී දිනකට බැරල් මිලියන දෙකක කප්පාදුවක් සිදුකිරීමෙන් පසුව ය.

ජාත්‍යන්තර විනිමය හුවමාරුවේ තෙල් මිල 5%කින් ක්ෂණිකව ඉහළයෑමට මෙය හේතුවිය.

oil waguwa

"මේක සිද්ධවුණේ ලොකු පුදුමයක් විදියට," ඩුරියන් කියයි. "මොකද, සෞදි අරාබිය මෑතක දි කියලා තිබුණේ ඔවුන්ගේ නිෂ්පාදන කෝටාව මේ වසරේ ඉතිරි කාලය පුරාම එම මට්ටමින්ම පවතීවි කියලයි.

"ඒක ඔපෙක් + එක ගත් පෙර-වැලැක්වීමේ පියවරක් වෙන්න පුළුවන්, මොකද, කලින් පුරෝකථනය කළ විදියට ලෝක තෙල් ඉල්ලුම ශක්තිමත් වෙන එකක් නැතිබව ඔවුන්ට හැඟිලා තියෙනවා."

2020 දී, වසංගතයට දැක්වූ ප්‍රතිචාරයක් වශයෙන් සිය නිෂ්පාදනය දිනකට බැරල් මිලියන නවයකට වඩා අඩු කරන්නට සමූහය පියවර ගත්තේ ය. රටවල් ලොක්ඩවුන් කිරීමත් සමග, ගැනුම්කරුවන් නොමැතිවීම හේතුවෙන් බොරතෙල් මිල කඩා වැටුණි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයෙන් පසු බැරලයක මිල ඩොලර් 130ක් දක්වා ඉහළ ගිය නමුත්, මෙවසරේ මාර්තුව වන විට එය මාස 15කින් දැක්වූ අඩුම මිල වන බැරලයකට ඩොලර් 70ක වටිනාකමක් දැක්වීය.

ඉහළයන තෙල් මිල බොහෝවිට ලොව පුරා පෙට්‍රල් මිල නැවතත් ඉහළ නංවනු ඇති අතර, ජීවන වියදම් ගින්නට පිදුරු දමනු ඇත්තේ ය.

ඔපෙක් +හි නවතම පියවර "නුවණට හුරු නැති" ක්‍රියාවක් ලෙස එක්සත් ජනපදය විසින් හැඳින්වී ඇත.

රුසියානු තෙල්වලට මොකද වෙන්නේ?

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, යුරෝපා සංගමයේ රටවල් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන සියලු රුසියානු තෙල් සැපයුම් ආනයනය නවතා දැමූ අතර, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවල් රුසියාවෙන් තෙල් මිලට ගැනීම මුළුමනින්ම නවතා දැමීය.

රුසියාව දැන් එරටට එරෙහි බටහිර සම්බාධකවලට සහභාගී නොවූ ඉන්දියාව හා චීනයට වැඩි වැඩියෙන් බොරතෙල් අපනයනය කරයි.

කෙසේ වෙතත්, G7 ජාතීන් සමූහය තමන් අපනයනය කරන තෙල් සඳහා බැරලයකට ඩොලර් 60ක පාලන මිලක් පැනවීම මඟින් රුසියාවේ තෙල් අපනයන ආදායම අඩු මට්ටමක තබාගනියි.

BBC

දෙසැම්බරයේත් උද්ධමනය පහළට !

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය පහළ ගොස් තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ නොවැම්බර් මාසයේ 61% ක්ව පැවති උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එසේම නොවැම්බර් මාසයේ 73.7%ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 64.4% දක්වා අඩුවී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ “රජය ගත් අභියෝගාත්මක තීරණ මත ආර්ථිකය ස්ථාවර වීමේ මාවතට අවතීර්ණ වී ඇත. වසරින් වසර උද්ධමනය 2022 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා 61.0% සිට 57.2% දක්වා ද ආහාර උද්ධමනය 73.7% සිට 64.4% දක්වා ද පහළ බැස ඇත. නමුත් අපට තව දිගු ගමනක් අධිෂ්ඨානශිලීව ගමන් කිරීමට ඇත.” යනුවෙනි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ඉදිරිය ගැන : මහ බැංකුවෙන් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත වීම සමග දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත .

එම නිවේදනය පහත දැක්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) විසින් එම අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලත් ඩොලර් බිලියන 7ක අරමුදලක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ජා.මූ.අ වැඩසටහන 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලදී. මෙම ජා.මූ.අ වැඩසටහන, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පැහැදිලි පෙර දැක්මක් සපයන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරමින්, රටට තම වර්ධන හැකියාව යළි ලබා ගැනීමටත්, එහි ආර්ථික අවදානම් සහගත තත්ත්වයන් සඳහා පිළියම් යෙදීමටත් ඉඩ සලසනු ඇත.

අද දින අපි ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය විස්තර කිරීමට සහ ජා.මූ.අ. වැඩසටහනෙහි ප්‍රධාන ආධාරකයන් සහ අරමුණු මෙන්ම, ණයහිමියන් සමඟ කටයුතු කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමට ආයෝජක ඉදිරිපත් කිරීමක් පැවැත්වූවෙමු.

ශ්‍රී ලංකා රජය අපේක්ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති අතර, ජා.මූ.අ. මූල්‍යනය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්ව ක්‍රියාමාර්ග අපි සාර්ථකව අත්කර ගෙන ඇත්තෙමු. ජා.මූ.අ. වැඩසටහනට අනුව, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ළඟා කරගැනීම සහ රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ණය තිරසරබව යළි ඇති කිරීම, මිල ස්ථායීතාව යළි ඇති කිරීම සහ බාහිර ස්වාරක්ෂක යළි ගොඩනැඟීම, මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරැකීම, දූෂණ අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සහ තවදුරටත් වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපි පූර්ණ වශයෙන් කැපවී සිටිමු. ශ්‍රී ලාංකික ජනතාව රජයේ ප්‍රමුඛත්වය වන අතර, ජා.මූ.අ. වැඩසටහනෙහි කොටසක් ලෙස, වඩාත් අවදානම් සහගත ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා පවතින සමාජ ආරක්ෂණ දැල් වැඩි දියුණු කිරීම අපගේ අරමුණයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මන්දගාමී වීම සහ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයුම් වඩාත් ප්‍රමිතිගත මට්ටම් කරා යළි පැමිණීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැනටමත් දිරිගන්වන ස්ථායීකරණ සලකුණු පෙන්නුම් කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ ජා.මූ.අ. වැඩසටහන සාර්ථකව නිමා කිරීම සඳහා අපගේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අපි අඛණ්ඩව කටයුතු කරන්නෙමු.

අපේක්ෂා සහගත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රයත්න සිදු කළ ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ගමන් මඟ විස්තීරණ ණය ප්‍රතිකර්මයක් නොමැති වීම හමුවේ ඔරොත්තු දිය නොහැකි මට්ටමක පවතියි. ශ්‍රී ලංකාව ජා.මූ.අ. වැඩසටහන් කාලය පුරා සැලකිය යුතු විදේශීය මූල්‍යන පරතරයකට ද මුහුණ දෙමින් සිටියි. මෙම මූල්‍යන පරතරය නව විදේශීය මූල්‍යන සහ විදේශීය ණය සේවාකරණ සහන ඔස්සේ ආවරණය කළ යුතුව ඇත. බලධාරීන් ද ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ ධාරිතාව තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගෙන යන අතරතුර, ද්‍රවශීලතා සහන අරමුණු කරගත් දේශීය ණය ප්‍රශස්තකරණයක් සඳහා විකල්ප සොයමින් සිටියි. මෙම දේශීය ණය ප්‍රශස්තකරණයක් ස්වෙච්ඡාමය පදනමක් මත පවත්වනු ඇති අතර, එය අප විසින් ප්‍රධාන භාණ්ඩාගාර බැඳුම්කර හිමියන් සමඟ පවත්වනු ලබන සාකච්ඡාවන් මත පදනම් වනු ඇත.

අප ඉදිරියට යෑමත් සමඟ, අපගේ සියලු ණයහිමියන් සමඟ පවතින බැඳියාවන් විනිවිදභාවයකින් සහ මනා විශ්වාසයෙන් යුතුව වේගවත් කිරීමට අපේක්ෂා කරන අතර, ජා.මූ.අ. ණය තිරසාරත්ව විශ්ලේෂණය සහ ණය ප්‍රතිකර්ම මූලධර්මයේ තුලනාත්මකභාවය සමඟ අනුරූප වන ණය ප්‍රතිකර්ම ගිවිසුම් කරා ළඟා වීමට ද අපි බලාපොරොත්තු වන්නෙමු.

– ශ‍්‍රී ලංකා මහ බැංකුව

ලෝකය පුරා ආහාර උද්ධමනය ඉහළට !

ලෝකය පුරා රටවල ආහාර උද්ධමනය ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව සඳහන් කරයි.

2022 වසරේ අගෝස්තු මස සිට නොවැම්බර් දක්වා ලබා ගත් දත්ත වලට අනුව ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් බොහෝ රටවල් අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, ලතින් ඇමෙරිකාව, දකුණු ආසියාව, යුරෝපය සහ මධ්‍යම ආසියා කලාපයන්ට අයත් වන බවත් ලෝක බැංකුව පවසයි.

අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල් සියල්ලම පාහේ ඉහළ ආහාර උද්ධමනයෙන් පීඩා විඳින බවත් ලෝකයේ ආහාර උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට සිම්බාබ්වේ රාජ්‍ය බවත් ලෝක බැංකුව පෙන්වා දෙයි.

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රටවල් අතර ශ්‍රී ලංකාව 7 වෙනි ස්ථානයේ පසුවන බවත් ලෝක බැංකුව පෙන්වා දී ඇත.

ලෝක බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 %කි.

එසේම සිම්බාබ්වේ රාජ්‍යයේ ආහාර උද්ධමනය 321 % ක් බව ලෝක බැංකුව සඳහන් කර ඇත.

ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රට වන්නේ ලෙබනනය වන අතර එහි ආහාර උද්ධමනය 203% කි.තෙවන රට වෙනිසියුලාව වන අතර එහි ආහාර උද්ධමනය 158% කි.

 

ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර විකුණන්න ඕන ඇයි ?

රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාපාර පාඩු ලබන නිසාම නෙමෙයි.

රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම යන සියල්ලම කිරීම සමාජවාදී ආර්ථික ක්‍රමයයි. ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ රජය විසින් වෙළඳපොළට මැදිහත්වීමක් කරන්නේ වෙළඳපොළට විසඳිය නොහැකි ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳීමට පමණයි.

ඉහත කී සමාජවාදී ආර්ථික ක්‍රමය අසාර්ථක බව මේ වන විට සමාජවාදී අදහස් දරන බොහෝ දෙනෙක් පවා පිළිගන්නා දෙයක් නිසා ඒ බව අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා, පැරණි සෝවියට් දේශයේ සිට කියුබාව හා උතුරු කොරියාව දක්වා ඓතිහාසික හා ජීවමාන නිදර්ශන ඕනෑ තරම් තිබෙනවා. වංචා, දූෂණ, හොරකම්, නිලධාරීවාදය, අලසකම, ඥාති සංග්‍රහය ආදිය මේ ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණ. මේවා ගැන ලාංකිකයින්ට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ.

ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය බොහොමයක් සමාජවාදී ආර්ථික දැක්මක් ඇතුව හදපුවා. ඊට අමතරම පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් ලෙස හඳුනාගෙන කළ දේවල් මෙන්ම ජාතිකවාදී හා ආරක්ෂණවාදී පදනමකින් කරපු දේවලුත් තිබෙනවා. මේ අරමුණු එකට සම්බන්ධ වී ඇති නිසා ඉරි ගහලා වෙන් කරන්න අමාරුයි.

නිදහස ලබද්දී පෞද්ගලික අංශය හරහා හොඳින් ක්‍රියාත්මක වූ තෙල් කර්මාන්තය, වැවිලි කර්මාන්තය, බස් කර්මාන්තය ආදිය ජනසතු කෙරුණේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුවයි. නමුත් අන්තිමට ඉතිරි වුනේ වංචා, දූෂණ, හොරකම්, නිලධාරීවාදය, අලසකම, ඥාති සංග්‍රහය එක්ක පාඩු පමණයි. මේ ඇතැම් අංශ පසුව නිදහස් වුවත්, ලංකාවේ රජය තවමත් පෞද්ගලික අංශයට කළ හැකි බොහෝ දේ කරනවා.

සෝවියට් පන්නයේ සමාජවාදී ආර්ථික ක්‍රමයක් දැන් තිබෙනවානම් තියෙන්නේ උතුරු කොරියාවේ පමණයි. අනෙකුත් බොහෝ සමාජවාදී රටවල් විසින් එක්කෝ සමාජවාදී ක්‍රමය එකවර අතහැර තිබෙනවා. නැත්නම් ක්‍රමයෙන් අත හරිමින් සිටිනවා. චීනය දෙවන ක්‍රමයට උදාහරණයක්. සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් (socialist market economy) ලෙස හඳුන්වන චීන ක්‍රමයේදී රජයේ (කොමියුනිස්ට් පක්ෂයේ) මධ්‍යගත සැලසුම හා අනුගත වන පරිදි වෙළඳපොළ ක්‍රමයෙන් නිදහස් කෙරෙමින් තිබෙනවා. ඒ එක්ක චීනයේ වේගයෙන් බිලියනපතියන් බිහිවෙනවා. ඒ සමහර අයනම් හිටපු ගමන් අතුරුදහන් වෙනවා.

මෙයින් වෙනස්ව ධනවාදී රටකදී රජයක් වෙළඳපොළට මැදිහත් වෙන්නේ පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් කරන්න පමණයි. අනෙක් ගොඩක් දේවල් කරන්නේ ලාබ ලැබීම අරමුණු කරගත් පෞද්ගලික ව්‍යවසාය විසින්. ඒ අතර ආදායම් විෂමතා අඩු කිරීම වැනි සමාජවාදී අරමුණු, වෙනත් ජාතික අභිලාශ ආදිය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම් සිදු වෙනවා.

කිසියම් ව්‍යාපාරයක් කිරීමෙන් ලාබ ලැබිය හැකිනම් පෞද්ගලික ව්‍යවසායකයෙක් බොහෝ විට වැඩේට අත ගහනවා. එහෙම නොකළොත් අවදානම වැඩිකම, විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම වැනි හේතු නිසා පමණයි. ඒ කියන්නේ, ධනවාදී ක්‍රමයක් ඇතුළේ රජයකට ව්‍යාපාර කරලා ලාබ ලබන්න අමාරුයි කියන එක. මොකද එහෙම පුළුවන්කමක් තිබෙනවානම් රජය ඒ වැඩේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා, රාජ්‍ය ව්‍යවසාය පාඩු ලැබීම ඒ නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

රාජ්‍ය ව්‍යවසායයක් අනිවාර්යයෙන්ම පාඩු ලැබිය යුතුයි කියන එක මෙයින් අදහස් වන්නේ නැහැ. ආර්ථික ලාබ නැතත් රාජ්‍ය ව්‍යවසායක් ගිණුම්කරණ ලාබ ලබන්න පුළුවන්. ආර්ථික ලාබ නැතුව ගිණුම්කරණ ලාබ තිබුණු පමණින් පෞද්ගලික අංශය ව්‍යාපාරයකට අත ගහන්නේ නැහැ. නමුත් රජයකට එවැනි ව්‍යාපාර පවත්වා ගෙන යන්න පුළුවන්. ඒ වගේම, ලාබ නොලබන පදනමකින්, එහෙත් පාඩු නැතිව, ව්‍යාපාර පවත්වාගෙන යන්නත් පුළුවන්. මෙහිදී ගිණුම්කරණ පාඩුවක් නැතත්, ආර්ථික පාඩුවක් වෙනවා. මෙයිනුත් ඔබ්බට ගිහින් ගිණුම්කරණ පාඩු එක්කම වුනත් ආයතනයක් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම කරන එකේ ඒ හේතුව නිසාම වැරැද්දක් නැහැ.

පෞද්ගලික අංශය විසින් නොකරන, ආර්ථික ලාබ නැති කටයුත්තකට රජය අත ගහද්දී එසේ කිරීමේ පිරිවැය පැහැදිලිව හඳුනාගත යුතුයි. මොකද එම පිරිවැය දරන්න වෙන්නේ බදු ගෙවන්නන්ටයි. ගිණුම්කරණ පාඩු ඇත්නම් මේ පිරිවැය වහාම දරන්න වෙනවා. ගිණුම්කරණ පාඩු නැතුව ආර්ථික පාඩු පමණක් ඇත්නම්, යම් කාලයක් ලැබෙන නමුත්, අවසානයේදී බදු ගෙවන්නට පිරිවැය දරන්න වෙනවා. ඒ නිසා, රජය විසින් යම් වැඩකට බදු මුදල් යොදවද්දී එයින් ආර්ථික ලාබ නැත්නම් ඒ වෙනුවට ලැබෙන ආර්ථික නොවන වාසි මොනවද කියන එක පැහැදිලි ලෙස බදු ගෙවන්නන්ට දැනුම් දිය යුතුයි.

කොහොම වුනත් පෞද්ගලික අංශයට කරලා ලාබ ගන්න පුළුවන් දෙයක් රජය විසින් කරමින් පාඩු ලබනවානම් එය විශාල ප්‍රශ්නයක්. පාඩු නොලබන නමුත් ප්‍රමාණවත් ලාබ නොලබනවානම් ඒකත් ප්‍රශ්නයක්. ප්‍රමාණවත් ලාබ ලබනවාම වුනත් තරඟ තීරකයා වන නියාමකයා තරඟකරුවෙකුද වූ විට එහි පැහැදිලි බැඳියා පිළිගැටුමක් තිබෙනවා.

බැංකු, රක්ෂණ, හෝටල්, විදුලි සංදේශ, ජනමාධ්‍ය වගේ අංශ දැනටත් පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් ලංකාව තුළ හොඳින් ක්‍රියාත්මක වෙනවා. නියාමනය කරනවා හැරෙන්න රජයට මැදිහත් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මෙම අංශ වල පෞද්ගලික ව්‍යවසායකයින් ආකර්ශනය වන තරමේ ලාබයක් වගේම ප්‍රමාණවත් තරඟයකුත් තිබෙනවා.

කාලයකට පෙර ලංකාවේ විදුලි සංදේශ සේවාවන් සැපයුණේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඒකාධිකාරය යටතේ. පසුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සංස්ථාවක් වී ඉන්පසුව සමාගමක් වුනා. ශ්‍රී ලංකා ටෙලිකොම් ලෙස නම වෙනස් වුනා. දැන් මෙය කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක්.

කෙසේ වුවත්, තවමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 49.5%ක කොටස් අයිතියක් මහා භාණ්ඩාගාරයට තිබෙනවා. ඒ හරහා, රජයට, විශේෂයෙන්ම පවතින ආණ්ඩුවට, මෙම ආයතනයට බලපෑම් කළ හැකියි. උදාහරණයක් ලෙස කලකට පෙර මෙම ආයතනයේ සභාපති සේ පත් කෙරුණේ එවකට හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා. රජය ව්‍යාපාර කරද්දී ඔය වගේ දේවල් වෙනවා. මේවා අදාළ පුද්ගලයින්ගේ ප්‍රශ්න වුනත්, පුද්ගලයින්ට මේ වගේ දේවල් කළ හැකි වන්නේ ක්‍රමය තුළයි.

ස්ථිර සම්බන්ධතා දුරකථන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් අයිතිය නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ආරම්භයේදී අනෙක් තරඟකරුවන්ට නැති වාසියක් තිබුණා. නමුත් මෙම වෙළඳපොළ මිය යමින් තිබෙන වෙළඳපොළක්. තමන්ගේ සම්ප්‍රදායික වෙළඳපොළ අහිමි වෙද්දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සාර්ථක ලෙස ජංගම දුරකථන හා දත්ත සේවා සැපයුම් වෙළඳපොළට පිවිසුනා. මෙම ආයතනය පාඩු ලබන ආයතනයක් නෙමෙයි. සාමාන්‍යයෙන් හැම වසරකදීම ලාබ ලබනවා.

ආයතනයක ලාබ පරීක්ෂාවට ලක් කළ හැක්කේ යොදවා ඇති කොටස් ප්‍රාග්ධනයට සාපේක්ෂවයි. මෙය ප්‍රතිලාභ අනුපාතය ලෙස හැඳින්වෙනවා. පහත තිබෙන්නේ 2012-2021 අතර වසර දහයක කාලය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිලාභ අනුපාතයි.

2012- 7.00%
2013- 9.06%
2014- 9.39%
2015- 5.71%
2016- 6.97%
2017- 5.52%
2018- 6.71%
2019- 8.09%
2020- 9.35%
2021- 12.94%

වසර දහයක සාමාන්‍ය අගය 8.1%ක්. ආසන්න වසර පහේ සාමාන්‍ය අගය 8.5%ක්. රටේ සාමාන්‍ය උද්ධමනය 5% ලෙස සැලකුවොත් මූර්ත ප්‍රතිලාභය 3%කට ආසන්නයි. මෙය ප්‍රමාණවත් වුවත් ආකර්ශනීය ප්‍රතිලාභ අනුපාතයක් නෙමෙයි.

අදාළ වකවානු තුළ ඇමරිකාවේ කොටස් වෙළඳපොළ ආයෝජන වල සාමාන්‍ය ප්‍රතිලාභ 14.83% (2012-2021) හා 17.04 (2017-2021) වූ බවත්, ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය පවත්වා ගන්නේ 2% මට්ටමේ බවත් සැලකූ විට මෙම ප්‍රතිලාභ අනුපාතිකය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම්හි තරඟකරුවෙකු වන ඩයලොග් සමාගමේ ප්‍රතිලාභ අනුපාතික පහත තිබෙනවා. එම අගයන්හි සාමාන්‍යය 15.04%ක්.

2017- 17.8%
2018- 11.2%
2019- 14.2%
2020- 14.2%
2021- 17.8%

කොටස් ආයෝජනයක් සැලකෙන්නේ දිගුකාලීනම බැඳුම්කරයකටද වඩා දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ශ්‍රී ලංකා රජයට 8% පොලියට දිගුකාලීනව අරමුදල් ලබා ගැනීම කළ නොහැක්කක් නොවුනත් ඉතා අසීරු දෙයක්. විශේෂයන්ම මේ අවස්ථාවේදී එය කළ නොහැකියි. දිගුකාලීන පොලී අනුපාතික 15% මට්ටම දක්වා අඩු වනු ඇතැයි සිතුවත්, 15%කට ණයට ගෙන 8% පොලියට ආයෝජනය කිරීම මෝඩ වැඩක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඊටත් අමතරව මෙහි ද්‍රවශීලතා ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම්හි ලාභ සියල්ල කොටස්හිමියන් අතර බෙදා හරින්නේ නැහැ. එයින් වැඩි කොටසක් නැවත එම සමාගම තුළම ආයෝජනය කෙරෙනවා. කොටස්හිමියන්ට ලැබෙන්නේ ආසන්න වශයෙන් ලාබයෙන් තුනෙන් එකක් පමණ.

වසරකට 8%ක පමණ ප්‍රතිලාභ ලැබෙන නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් තුළ මුදල් ආයෝජනය කිරීමෙන් බදු ගෙවන්නන්ට පාඩුවක් නොවන බව අපි හිතමු. මෙම ප්‍රකාශය සත්‍ය වන්නේ ආයෝජනය කරන්නට තරම් ප්‍රමාණවත් අතිරික්ත වත්කම් රජය සතුව ඇත්නම් පමණයි. රජයකට බදු මුදල් සියල්ල වැය නොකර කොටසක් ඉතිරි කර ගැනීම මගින් එවැනි වත්කම් හදාගන්න පුළුවන්.

සිංගප්පූරුව වැනි රටවල රජයයන් බදු මුදල් ඉතිරි කර ගැනීම මගින් එවැනි වත්කම් හදාගෙන තිබෙනවා. ඒ වත්කම් ආයෝජනය කර තිබෙනවා. නිදහස ලැබෙන තුරු ලංකාවේ තිබුණේත් එවැනි ක්‍රමයක්. ජාතික සමාජවාදී ප්‍රතිපත්ති නිසා ක්‍රමයෙන් විනාශ වී ගියේ එසේ වැය නොකළ බදු ආදායම් ලෙස එකතු කරගත් ධනයයි.

නමුත් දැන් ලංකාව නහයටත් උඩින් ණය වී ණය පැහැර හැර ඇති රටක්. ශ්‍රී ලංකා රජය සතු කවර හෝ වත්කම් ඇත්නම් එම වත්කම් දැනටමත් ණය හිමියන්ට අයිති වී අවසානයි. තිබෙන වත්කමක් මුදල් කර ණය ගෙවනු හැර මුදල් හිර කර තැබීමේ හැකියාවක් මේ වෙලාවේ ශ්‍රී ලංකා රජයට නැහැ.

#ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 3ක මිල අඩු කරයි !

ලංකා සතොස අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කර ඇත.

සතොස නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එළඹෙන උත්සව සමය අරමුණු කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215.00 ක් (රුපියල් 10ක මිල අඩුකිරීමක්), බී ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 199.00 ක් (රුපියල් 16ක මිල අඩුකිරීමක්) සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක නව මිල රුපියල් 495.00 ක් (රුපියල් 35ක මිල අඩුකිරීමක්) ලෙස මිල අඩුකිරීම සිදුකර තිබේ.

රුපියලේ වෙනසක් !

අද (21) දිනය සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබේ.

ඒ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 වශයෙන්ද එහි විකිණුම් මිල සඳහන් ව ඇත්තේ රුපියල් 334.93 වශයෙනි.

 

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 83 යි සත 63 ක් ලෙසය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 යි සත 28 ක් ලෙස දැක්විය.

නැග්ගා කිව්ව රුපියල පල්ලම් බැහැලා !

ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 346.33 ලෙස සටහන් විය.

ඒ අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල අද(16) තවත් ඉහළ ගොස් තිබේ.

කපා කපා කෑලි කපා..!

මාළු විකුණන එකත් වෙනත් රැකියා වගේම තවත් එක් රැකියාවක්. අවතක්සේරු කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි මාළු ආශ්‍රිත අගය එකතු කළ කර්මාන්තයක් හෝ අපනයන කර්මාන්තයක් වගේ සංකීර්ණ කටයුත්තක් කරන එක කෙසේ වෙතත්, ටවුමක මාළු කඩයක් කරන්න ලොකු අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නැහැ. කපා කපා කෑලි කපා මාළු කෑලි ටික ඔතලා දීලා සල්ලි ගන්න වැඩේ කරන්න මහ ලොකු විභාග පාස් කරන්න අවශ්‍ය නැහැනේ. ඔය වැඩේ කරන ගොඩක් අයට එහෙම ලොකු අධ්‍යාපන මට්ටමක් ඇත්තෙත් නැහැ.
 
ඇත්ත වෙනකක් විය හැකි වුනත්, මූලාකෘතික මාළුකාරයෙක් කියන්නේ ටිකක් මරුමුස් මනුස්සයෙක්. පොඩ්ඩක් වචනයක් වැරදුනොත් මාළු පිහිය ඉස්සර වෙන්න පුළුවන්. පංතියක ළමයි ඕනෑවට වඩා සද්දේ දානකොට ගුරුවරුන්ට මතක් වෙන්නත් මාළු කඩේ.
 
"මොකද ළමයි මේ මාළු කඩේ ඇරලා වගේ?"
 
කොයි තරම් මරුමුස් හැසිරීම් තිබුණත්, විභාග පාස් කරලා නැතත්, මාළු ලෑල්ලක් කරන කෙනෙක් පාඩු ලබන්නේ නැහැ. ඔය ව්‍යාපාරයෙන් ප්‍රමාණවත් ලාබයක් ලැබිය හැකි ස්වභාවික ඉවක් මාළු මුදලාලි කෙනෙක්ට තියෙනවා. මාළු මුදලාලිට තමන්ගේ රස්සාව හරියට කර ගන්න බැරිවෙන්නේ රජය ඒ මනුස්සයාගේ ඔළුවට කුළුගෙඩියෙන් ගහන්න යද්දී පමණයි. 
 
ආණ්ඩුවක් කරන එකත් මාළු කඩයක් කරනවා වගේ වැඩක්නම්, ඔය වැඩේට වැඩි උගත්කමක් නැති, පොඩ්ඩ වැරදුණාම මාළු පිහිය අතට අරන් පස්සෙන් එළවන, ඉන්න තැන මාළු කඩේ වගේ එක ගාලගෝට්ටියක් කරගන්න පිරිසක් තෝරලා යවන එකේ අවුලක් නැහැ. මාළු පිහිය ළඟපාතක නැත්නම් අතට අහුවෙන දෑකැත්තක් මිටියක් අරන් හරි අයිස් කඩලා, මාළු කෑලි කෑලි කපලා වැඩේ හරියට කරයි කියලා මිනිස්සු හිතනවානම් ඒකටත් වැරැද්දක් කියන්න අමාරුයිනේ. හැබැයි ආණ්ඩුවක් කරනවා කියන එක මාළු කඩයක් කරනවා වගේ සරල වැඩක් නෙමෙයි. 
 
ඔහොම කිවුවට මාළු විකුණන එකත් ලංකාවේ රජය හා එය මෙහෙයවන ආණ්ඩුව විසින් කරන එක වැඩක්. ලංකා ධීවර සංස්ථාව කියන්නේ ඔය වැඩේට හදලා තියෙන රාජ්‍ය ආයතනය. ලංකාවේ රජය විසින් මාළු විකුණන හින්දමද මන්දා මිනිස්සුත් ඔය වැඩේට ගැලපෙන අයව රජය මෙහෙයවන්න තෝරලා යවනවා. ඒ නිසාම සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවත් මාළු කඩේ වගේ. වැඩේ කියන්නේ එහෙම මිනිස්සු ඉඳලත්, රජයට අඩු ගාණේ මාළු විකුණන වැඩේවත් හරියට කර ගන්න බැරි එක. ඒකෙනුත් පාඩුයි!
 
පසුගිය 2021 වසරේදී ලංකා ධීවර සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 63ක්.
 
ලංකාවේ ආණ්ඩුව මාළු විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් විකුණනවා. කජු විකුණන්න හදලා තියෙන රාජ්‍ය ආයතනය කජු සංස්ථාව. මාළු විකුණන වැඩෙන් පාඩු වුනාට කජු විකුණන වැඩෙන් ඒ විදිහට පාඩු වෙලා නැහැ. පසුගිය 2021 වසරේදී කජු සංස්ථාව රුපියල් මිලියන 16ක ලාබයක් ලබලා තියෙනවා.
 
හැම රාජ්‍ය ආයතනයක්ම ධීවර සංස්ථාව වගේ පාඩු ලබන්නේ නැහැ. සමහර ආයතන කජු සංස්ථාව වගේ ලාබ ලබනවා. එහෙමනම් වැරැද්ද රාජ්‍ය ආයතන වලට හරි මිනිස්සු දමලා නැතිකමද?
 
සමහර විට හරි මිනිස්සු ඔය තැන් වලට වැටුනොත් පාඩු නැති කරලා ලාබ උපයන්න පුළුවන්. එහෙම වෙන්න විදිහක් නැහැ කියලා කියන්න පුළුවන්කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ එහෙම හරි මිනිස්සු ඇවිත් ලාබ උපයා දෙන එක ගැන කිසිම සහතිකයක් නැතිකම. මාළු විකුණන වැඩේ කරන්න මිනිස්සු රටේ ඕනෑ තරම් ඉඳිද්දී ඒ වැඩේ රජයට බාර දීලා ඊට පස්සේ වැඩේට හරියන මිනිස්සු හොයන අලුත් ප්‍රශ්නයක් හදා ගන්න ඕනෑද?
 
හැම රාජ්‍ය ආයතනයක්ම හැම අවුරුද්දකම පාඩු ලබන්නේ නැහැ තමයි. සමහර ආයතන එක දිගට පාඩු ලබනවා. තව ඒවා අතරින් පතර ලාබ ලබනවා. ඔය අතර කාලයක් එක දිගට ලාබ ලබන ආයතනත් තියෙනවා. හැබැයි මේ ලාබ කියා පෙන්වන ලාබත් ඇත්තටම ලාබ නෙමෙයි. ගොඩක් වෙලාවට බදු ගෙවන්නාගේ පැත්තෙන් බැලුවහම ඒ ලාබ ලබන ආයතන බොහොමයක්ම පාඩු ලබන ආයතන.
 
අපි උදාහරණයක් විදිහට කජු සංස්ථාව ගනිමු. කජු සංස්ථාවේ 2021 ලාබය රුපියල් මිලියන 16ක් බව කලින් කිවුවනේ. නමුත්, ඔය ලාබය ගන්න කජු සංස්ථාවේ හිර කරලා තිබෙන ප්‍රාග්ධනය රුපියල් මිලියන 427ක්. ඔහොම හිර කරලා තියන්න ලංකාවේ රජයට අතිරික්ත ප්‍රාග්ධනයක් නැහැනේ. රජයේ ප්‍රාග්ධනය කියන්නේ ණයට ගත්ත සල්ලි. ඒ සල්ලි වලට වාර්ෂිකව පොලී ගෙවිය යුතුයි. 
 
මේ දවස් වල පොලිය 30% පමණ මට්ටමකනේ. ඒ කියන්නේ රුපියල් මිලියන 427ක් වසරක් හිර කර තියන්න රුපියල් මිලියන 128ක වියදමක් යනවා. දැන් තිබෙන 30% පොලිය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකලා 10%ක පොලියක් සලකමු. ඒත් රුපියල් මිලියන 43ක්. නමුත් කජු සංස්ථාවේ ලාබය රුපියල් මිලියන 16ක් පමණයි. යට කරපු සල්ලි වල පොලී වියදමවත්  ලැබෙන්නේ රුපියල් මිලියන 43ක ලාබයක් ලැබුණොත් පමණයි. 
 
රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් කෙළින්ම පාඩු ලබනවා. ඒවා පාඩුයි කියන එක කාටත් පැහැදිලියිනේ. නමුත් ඔය ලාබ ලබන රාජ්‍ය ආයතන වලින් වැඩි හරියකුත් ඇත්තටම බැලුවොත් පාඩු ලබන ඒවා බව ගොඩක් අයට එකවර පැහැදිලිව පේන දෙයක් නෙමෙයි. අපි හිතමු කජු සංස්ථාවේ යට කරලා තියෙන ප්‍රාග්ධනය මොන විදිහකින් හෝ ද්‍රවශීල කරලා (මෙය කළ හැකි එකම ක්‍රමය නොවුණත් ගොඩක් අයට තේරෙන බාසාවෙන් කජු සංස්ථාව විකුණලා කියා කියමු) ඔය රුපියල් මිලියන 427 එළියට අරගෙන රජය අලුතෙන් ගන්න ණය වලින් ඔය ප්‍රමාණය අඩු කර ගන්නවා කියන්නේ මේ වෙලාවේනම් වසරකට රුපියල් මිලියන 128ක ඉතිරියක්. නමුත් කජු සංස්ථාව තියාගෙන ඉන්න එකෙන් ලැබෙන්නේ රුපියල් මිලියන 16ක් පමණයි.
 
පහත ලැයිස්තුවේ තිබෙන්නේ 2021දී ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක ලාබ හෝ අලාබ. ඔය ලාබ වලින් ගොඩක් කජු සංස්ථාවේ ලාබ වගේ තමයි. ප්‍රතිලාභ අනුපාතය දිහා බැලුවොත් ඇත්තටම ඔය පේන ලාබය ලාබයක් නෙමෙයි. ඒ නිසාම සහ තවත් හේතු නිසා ලාබ වලට අනුපාතිකව රජයට ආදායම් ලැබෙන්නේ නැහැ. 
 
රාජ්‍ය ආයතන අතරින් වුනත් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන වල කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. කිසිසේත්ම පට්ට කාර්යක්ෂමයි කියා කියන්න පුළුවන්කමක් නැතත්, පහත ආයතන සියල්ලම 2021 වසරේදී ලාබ ලබා තිබෙනවා. අනෙක් ඇතැම් රාජ්‍ය ආයතන වලට සාපේක්ෂව මේ ආයතන කාර්යක්ෂමයි. වෙනත් හේතුත් තිබෙනවා.
 
ලංකා බැංකුව - රුපියල් මිලියන 43,190
 
මහජන බැංකුව - රුපියල් මිලියන 30,387
 
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රුපියල් මිලියන 28,555
 
රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව - රුපියල් මිලියන 845
 
නිවාස සංවර්ධන හා මූල්‍ය සංස්ථා බැංකුව - රුපියල් මිලියන 1,267
 
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - රුපියල් මිලියන 2,651
 
සේවා නියුක්තයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය - රුපියල් මිලියන 33,159
 
සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 11,725
 
ජාතික රක්ෂණ භාරකාර අරමුදල - රුපියල් මිලියන 5,936
 
ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 310
 
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය - රුපියල් මිලියන 1,780
 
රාජ්‍ය ආයතන අතරින් වුනත් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන වල වෙනසක් තිබීම අහම්බයක් නෙමෙයි. එක හේතුවක් වන්නේ මේ ආයතන පාලනය කරන හා ආයතන වල සේවය කරන අයගේ පුහුණුවේ වෙනස. ආයතනයක් ලාබ ලැබිය යුත්තේ ඇයි කියන එක ගැන අවබෝධයක් තිබෙන අය මේ ගොඩේ වැඩියි. දෙවන හා ප්‍රධානම කාරණය මේ අංශ සෑහෙන තරමකට ප්‍රතිනියාමනය වී තිබීම හා ඒ නිසාම වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්න සිදු වී තිබීම. වැඩි විස්තර බැංකු ක්ෂේත්‍රය ගැනම කතා කරන වෙනම ලිපියක කතා කරමු.
 
බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ තත්ත්වය මෙහෙම වුනත් විදුලිබල, බලශක්ති වැනි වෙනත් ක්ෂේත්‍ර වල දැකිය හැක්කේ කිසිම තරඟයක් නැති රාජ්‍ය ඒකාධිකාරයක්. මේ කරුණ බැහැර කරලා එම ආයතන පාඩු ලබන්නේ කළමණාකරණයේ වැරදි නිසා පමණක් කියලා කියන්න බැහැ. කළමණාකරණයේ වැරදි වුනත් ඒ විදිහට සිද්ධ වෙන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් පවතින සන්දර්භය ඇතුළේ. ලැයිස්තුවට නැවත යමු. පාඩු ලබන ආයතන අතර ඉංජිනේරු වෘත්තියට සම්බන්ධ කාර්යයන් කරන ආයතන වල භූමිකාව ගැනත් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න. 
 
ලංකා විදුලිබල මණ්ඩලය - රුපියල් මිලියන (-21,450)
 
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව - රුපියල් මිලියන (-82,208)
 
ශ්‍රී ලංකා වරාය අධිකාරිය - රුපියල් මිලියන 25,601
 
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය - රුපියල් මිලියන (-2,996)
 
සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම - රුපියල් මිලියන (-755)
 
සීමාසහිත ශ්‍රීලන්කන් එයාලයින් සමාගම - රුපියල් මිලියන (-170,751)
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය - රුපියල් මිලියන (-3,143)
 
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව - රුපියල් මිලියන (-1,020)
 
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය - රුපියල් මිලියන 250
 
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 43
 
ඉහත ආයතන වල තීරණ ගන්නා අය සුදුසුකම් නැති අයද? ඒ පත්වීම් දේශපාලන පත්වීම්මද? ඒ අයට විධිමත් ලෙස ලැබෙන වෘත්තීය පුහුණුව එක්කම අවිධිමත් ලෙස ලැබෙන දේශපාලනික පුහුණුව මොන වගේ එකක්ද?
 
සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගම - රුපියල් මිලියන 330 
 
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය - රුපියල් මිලියන 158
 
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව - රුපියල් මිලියන (-232)
 
ජනතා වතු සංවර්ධන මණ්ඩලය - රුපියල් මිලියන (-481)
 
සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම - රුපියල් මිලියන 468
 
සීමාසහිත හලාවත වැවිලි සමාගම - රුපියල් මිලියන 511
 
සීමාසහිත කළුබෝවිටියන තේ කර්මාන්ත ශාලාව - රුපියල් මිලියන (-15)
 
ශ්‍රී ලංකා කජු සංස්ථාව - රුපියල් මිලියන 16
 
සීමාසහිත ලංකා ඛණිජවැලි සමාගම - රුපියල් මිලියන 1,205
 
සීමාසහිත ලංකා පොස්පේට් සමාගම - රුපියල් මිලියන 117
 
සීමාසහිත කහටගහ ගැරෆයිට් ලංකා සමාගම - රුපියල් මිලියන 4
 
සංවර්ධන ලොතරැයි මණ්ඩලය - රුපියල් මිලියන 2,954
 
ජාතික ලොතරැයි මණ්ඩලය - රුපියල් මිලියන 1,003
 
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව - රුපියල් මිලියන 1,238
 
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව - රුපියල් මිලියන (-21)
 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 3,157
 
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල - රුපියල් මිලියන (-258)
 
සීමාසහිත ස්වාධීන රූපවාහිණී ජාලය - රුපියල් මිලියන (-344)
 
ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව - රුපියල් මිලියන (-224)
 
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - රුපියල් මිලියන 9
 
ලක්සල - රුපියල් මිලියන (-35) 
 
රාජ්‍ය දැව සංස්ථාව - රුපියල් මිලියන 1,236
 
ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 63
 
සීමාසහිත ලංකා සතොස සමාගම - රුපියල් මිලියන (-880)
 
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන (-208)
 
ලංකා ධීවර සංස්ථාව - රුපියල් මිලියන (-63)
 
ලංකා ධීවර වරාය නිෂ්පාදන නීතිගත සංස්ථාව - රුපියල් මිලියන (-140)
 
සීමාසහිත ලංකා පොහොර සමාගම - රුපියල් මිලියන 124
 
සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - රුපියල් මිලියන 260
 
සීමාසහිත හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම - රුපියල් මිලියන (-947)
 
සීමාසහිත ලංකා සීනි සමාගම - රුපියල් මිලියන 1,577
 
ඉහත ආයතන 52හි ලාබ අලාබ වල ශුද්ධ එකතුව - රුපියල් මිලියන (-86,042)
 
වසර තුළ තෙල් සංස්ථාවේ, විදුලිබල මණ්ඩලයේ හා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අලාබය පමණක් රුපියල් බිලියන 274 ඉක්මවනවා. මෙම මුදල 2021 වසර තුළ සමාගම් වලින් හා පුද්ගලයින්ගෙන් එකතු කළ මුළු ආදායම් බදු ප්‍රමාණයටත් වඩා වැඩියි. 
 
#ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි 

ලොව පුරා බැංකු රැසක් හදිසියේ කඩා වැටෙයි

කොටස් මිල පහත වැටීමෙන් අර්බුදයකට ලක්ව සිටින ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් ස්විස් බැංකුව, ස්විස් මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 54ක ණය මුදලක් ලබාගැනීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි.

බැංකුවේ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් මතුවූ මතභේදකාරී තත්ත්වය සමනය කිරීම එහි අපේක්ෂාව බව සඳහන් ය.

ක්‍රෙඩිට් ස්විස් බැංකුවේ මූල්‍ය වාර්තාවේ දෝෂ කිහිපයක් හඳුනාගැනීමෙන් පසුව එහි කොටස් මිල පහළ වැටුනු නමුත් එම බැංකුවට ස්විට්සර්ලන්ත මහ බැංකුවේ සහාය ලැබෙන බව නිවේදනය කිරීමත් සමගම බැංකුවේ කොටස් මිල 24%කින් වර්ධනය වී තිබුණි.

අමෙරිකාවේ "සිලිකන් වැලී බැංකුව" සහ තවත් බැංකු කිහිපයක් හදිසියේ කඩාවැටීම හේතුවෙන් අමෙරිකානු මූල්‍ය පද්ධතිය දැඩි සංකූලතාවකට ලක්වුණි.

එහි බලපෑමෙන් ලොව පුරා බැංකුවල කොටස් මිල පහළ ගිය අතර, ඉන් වැඩිම පීඩනය එල්ල වූයේ යුරෝපීය බැංකුවලටය.

මේ අතර බැංකු අර්බුදයේ බලපෑමෙන් ජපානයේ, හොංකොං සහ ඔස්ට්‍රේලියාවේ බැංකු කිහිපයක ද කොටස් සියයට 1කින් පහළ ගොස් ඇතැයි අද (16) වාර්තා වුණි.

ආර්ථික අර්බුදය එන බව මහ බැංකුව නොදැක්කේ ඇයි?

එංගලන්තය සහ ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල හට ගත් 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදය පිළිබඳ ව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පැවති විද්වත් සම්මන්ත්‍රණයකට සහභාගී වූ එලිසබත් රැජින විසින් එහි සිටි මහාචාර්ය වරුන්ගෙන් විමසුවේ " අර්බුදය එන බව නොදැක්කේ ඇයි ද?" යන්නය. ඊට වගකිව යුතු පිළිතුරක් දීමට එහි සිටි සම්භාවනීය මහාචාර්ය වරුන්ට නොහැකි වූ බැවින් එය අධ්‍යනය කොට වාර්තා කිරීම සඳහා ආර්ථික පර්යේෂණ කණ්ඩායමක් පත් කරන ලදි. එබැවින්, එම ප්‍රශ්නයම ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන්ගෙන් ද ඇසීමේ අසාධාරණයක් නොමැත.

ඊට හේතුව, මේ දිනවල පොදුජනතාව මුහුණ දෙන ඓතිහාසික ආර්ථික අර්බුදය පිළිබඳ ව අදාළ රාජ්‍ය අධිකාරීන් සහ විවිධ විද්වත් පිරිස් විසින් විවිධ පුද්ගලයන්ට සහ රජයන්ට දොස් පැවරීම යි. සමහරු 1977 සිට අනුගමනය කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට ද, තවත් සමහරු පසුගිය රජයට ද දොස් පැවරේ. එම පිරිස් අතර ආර්ථික අර්බුදය කලින් හඳුනා ගෙන, එය වැලැක්වීමට ක්‍රියා කළ යුතුව තිබූ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකයන් ද සිටිති.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති නීති සමුදාය දෙස බලන විට, අදාළ අධිකාරීන් විසින් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කළේ නම්, මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති විය නොහැකිය. මෙම ආර්ථික අර්බුදය මුදල් අර්බුදයක් තුළින් හට ගෙන ඇති බැවින්, එවැනි අර්බුදයන් කලින් හඳුනා ගෙන, එය වැලැක්වීමේ ප්‍රතිපත්ති ගැනීමේ අධිකාරිය පවතිනේ මහ බැංකුව වෙත ය. එයට, මුදල් මණ්ඩලය සහ මහ බැංකු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු අයත් වෙයි. මුදල් නීති පනත අනුව මහ බැංකුවේ අරමුණු වන්නේ ආර්ථිකයේ නිෂ්පාදන සම්පත් උපයෝජනයට සහ ප්‍රවර්ධනයට උපකාරී වන ලෙස, රටේ ආර්ථික සහ මිල ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය පවත්වා ගෙන යාම වන අතර ඊට අවශ්‍ය තොරතුරු රැස් කිරීම, පර්යේෂණ කිරීම සහ ප්‍රතිපත්ති ගැනීම සඳහා පුළුල් නීතිමය බලතල මහ බැංකුවට ලබා දී ඇත.

එහෙත්, වත්මන් පොදුජන ජීවිතය සහ ආර්ථිකය දෙස බලන විට, 2021 වසර ආරම්භයේ සිට එම සියළු ස්ථායිතාවයන් බිඳී ගොස් ඇති බව දැක්වීමට ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය නොවේ. ඒ බව 8% ඉක්මවූ ආර්ථික සංකෝචනය, 65% ඉක්මවූ අධිඋද්ධමනය, 80% ඉක්මවූ මුදල් අවප්‍රමාණය (විනිමය අනුපාතයේ ඉහළ යාම), නිල ද්‍රවශීල විදේශ සංචිතය ශුන්‍යයට කඩා වැටීම, නිල බැංකු පද්ධතිය තුළ පවතින උග්‍ර විදේශ මුදල් හිඟය, ඒ හේතු කොට දැඩි ආනයන සිමා කිරීම, රාජ්‍ය විදේශ ණය පැහැර හැරීම සහ 30% ඉක්මවූ රාජ්‍ය ණය පොලී අනුපාතයන්ගෙන් මැනවින් පෙනේ. මෙම තත්ත්වය රට සහ ආර්ථිකය බංකොලොත්වීම ලෙස ද සැලකේ.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ මෙම අර්බුදය එන බව කලින්ම දැන ගැනීමට ඕනෑ තරම් පූර්ව සංඥා දත්ත මහ බැංකු මුදල් මණ්ඩලය සහ ඉහළ නිලධාරීන් වෙත පැවති බවත්, එහෙත්, අර්බුදය වැලැක්වීමට නිසි ප්‍රතිපත්ති මහ බැංකුව විසින් ගෙන නොමැති බවත් හෙළි කිරීම යි. එසේම, දැනට අර්බුදය තවත් නරක අතට පත් වෙමින් පැවතිය ද, මහ බැංකුව විසින් නව්‍ය ප්‍රතිපත්ති ගැනීමක් තවමත් සිදු නොකරන බවත් පැහැදිලිව දැකිය හැකිය.

ආර්ථිකයක ක්‍රියාත්මක ව්‍යුහය කෙටියෙන්

නූතන මුදල් ආර්ථිකයන්හි භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය (නිෂ්පාදනය සහ උපයෝජනය) සිදු වනුයේ මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ නියාමනය සහ පාලනය කෙරෙන ආර්ථිකයේ මූල්‍ය අංශයේ උපකාරය මත ය. එසේම, ආර්ථිකය විවෘත එකක් නම්, එහි දේශීය මූල්‍ය සහ රටේ ගෙවුම් ශේෂ ගනුදෙනු හරහා ජනිත වන විදේශ මූල්‍ය අතර නිරන්තර අන්තර් සබඳතාවක් පවතී. එබැවින්, මහ බැංකු මූල්‍ය වත්කම් සහ වගකීම් වෙනස් වීම් සහ එමගින් රටෙහි දේශීය මූල්‍ය සහ විදේශීය මූල්‍ය වෙළෙඳපොළවල් කෙරෙහි ඇති කෙරෙන බලපෑම යනු ආර්ථිකයෙහි සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වූ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල ලෙස සැලකිය හැකිය.

උදාහරණ ලෙස මහ බැංකුව විසින් තම විදේශ වගකීම් ඉක්මවා විදේශ වත්කම් මිල දී ගනී නම්, එම වත්කම් අත් කර ගැනීම සඳහා මුදල් මුද්‍රණය කෙරේ. එම මුද්‍රිත මුදල් ප්‍රමාණය මහ බැංකුව විසින් තම දේශීය වත්කම් අළෙවි කිරීම හරහා නැවත තමා වෙතට අවශෝෂණය කර නොගනී නම්, දේශීය මූල්‍ය වෙළෙඳපොළේ ද්‍රවශීලතාවය හෙවත් අරමුදල් සැපයුම ඉහළ ගොස් පොලී අනුපාතයන් පහළ යනු ඇත. එසේම, මහ බැංකුව සතු විදේශ වත්කම් ඉහළ යාම තුළින් විනිමය අනුපාතයේ අවප්‍රමාණය පාලනය කර ගැනීමට හැකියාව ලැබේ. මෙම දේශීය සහ විදේශීය මූල්‍ය වෙනස් වීම් තුළින් විවිධ වෙළෙඳපොළවල් හරහා යම් කලපමාවක් තුළ ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාවලියේ ද වෙනස් වීම් හෝ ප්‍රතික්‍රියාවන් රාශියක් හට ගැනේ.

එහෙත්, ආර්ථිකය වර්ධනය සහ ස්ථායිකරණය කිරීමේ ඉලක්කයන් අනුව මහ බැංකු වත්කම් සහ වගකීම් පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරකම් පාලනය කිරීමට යොදා ගත හැකි සම්මත ගණිත සුත්‍රයක් හෝ මාදිලියක් නොමැත. එබැවින්, අවශ්‍ය විට ප්‍රතිපත්ති ගැනීම සඳහා මහ බැංකුවට තම මූල්‍ය ක්‍රියාකාරකම් සහ එමගින් ක්ෂණිකව හට ගන්නා ආර්ථික ප්‍රතිඵල පිළිබඳ වන විශ්වාසනීය දත්ත කට්ටලයක් ආර්ථිකයේ කාර්යසාධනය දක්වන පූර්ව සඥාවන් ලෙස භාවිතා කිරීමට සිදු වෙයි.

ඉතා කෙටි කාල පමාවක් තුළ නිරන්තරයෙන් ලැබෙන ප්‍රධාන දත්ත කට්ටලය පහත දැක්වෙයි. මෙම දත්ත දෛනික, සති සහ මාසික පදනමක් මත මහ බැංකු වෙබ් අඩවි ප්‍රකාශනයන් හරහා මහජනතාවට ද නිකුත් කෙරේ. මහ බැංකු මුදල් මණ්ඩලය සහ ඉහළ නිලධාරීන් වෙත මීට වඩා විස්තීර්ණ දත්ත සහ පූර්ව සංඥා පද්ධතියක් පැවතිය ද, ආර්ථිකයේ සෞඛ්‍ය උපණතිය අවබෝධ කර ගැනීමට මෙම ප්‍රධාන දත්ත කට්ටලය පමණක් ප්‍රමාණවත් ය.

විදේශීය මූල්‍ය වෙළෙඳපොළ දත්ත

  • විදුලි පණිවුඩ පැවරුම් සඳහා වූ වාණිජ බැංකු දෛනික විනිමය අනුපාතයන්. මෙමගින්, රටතුල විදේශීය මූල්‍ය වෙළෙඳපොළේ ප්‍රවණතාවය පෙන්වයි.
  • නිල විදේශ වත්කම් සංචිතය. මෙය මහ බැංකු මුදල් මුද්‍රණයේ ප්‍රධාන මූලයක් වන අතර ආර්ථිකයේ විදේශ ගෙවුම් පියවීමට සහ විනිමය අනුපාතය පාලනය කිරීමට මහ බැංකුවට ඇති හැකියාව ද පෙන්වයි. මෙහි දෛනික දත්ත මහ බැංකුව වෙත පවතී.
  • මාසික සමස්ත ගෙවුම් ශේෂය. මෙමගින් මහ බැංකුව විසින් තම විදේශ සංචිතය හරහා මූල්‍යකරණය කරන ලද ගෙවුම් ශේෂය ද, ඒ හේතු කොට සිදු වූ මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිතයේ වෙනස් වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මුදල් මුද්‍රණය ද පෙන්වයි.
  • මාසික වෙළෙඳ ශේෂය, විදේශ රැකියා ප්‍රේෂණ සහ රජයට ලැබුණ දළ විදේශ මුදල් ප්‍රමාණය. මේවා සමස්ත ගෙවුම් ශේෂය, විදේශ සංචිතය සහ විනිමය අනුපාතය තීරණය වීම කෙරෙහි බලපාන ප්‍රධාන ගෙවුම් ශේෂ ගනුදෙනු සංරචකයන් ලෙස සැලකේ.

දේශීය මූල්‍ය වෙළෙඳපොළ දත්ත

  • ප්‍රතිපත්ති පොලී අනුපාතයන් (නි.තැ.ප.අනුපාතය  සහ නි.ණ.ප.අනුපාතය) සහ එම අනුපාතයන් මත මහ බැංකුව සමඟ කෙරෙන දෛනික බැංකු ගනුදෙනු පරිමාවන්. මෙමගින්, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පවත්වා ගෙන යාම සඳහා කෙරෙන එක්දින බැංකු ගනුදෙනු දැක්වෙයි.
  • දෛනික අන්තර් බැංකු එක් දින හෙවත් ඒක්ෂණ ණය පොලී අනුපාතය සහ ණය ප්‍රමාණය. මෙමගින්, මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූල වන අන්තර් බැංකු ද්‍රවශීලතා තත්ත්වයන් පෙන්වයි.
  • සතිපතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ඵලදා අනුපාතයන් (දින 91, දින 182 සහ දින 364) සහ වෙන්දේසිවලින් පිළි ගත් මුදල් ප්‍රමාණය. මෙමගින්, මූල්‍ය ප්‍රතිපත්ති දිසාව අනුව මහ බැංකුව විසින් පාලනය කිරීමට උත්සාහ කෙරෙන ඵලදා වක්‍රයේ ඉදිරි කොටස පෙන්වයි.
  • මහ බැංකුවේ දෛනික භාණ්ඩාගාර බිල්පත් කළඹ. මෙමගින්, මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් ඍජුව මිල දී ගැනීම තුළින් කෙරෙන මුදල් මුද්‍රණය පෙන්වයි.
  • සතිපතා බැංකු ප්‍රමුඛ ණය පොලී අනුපාතය. මෙය පහළ අවදානම් සහිත කෙටි කාලීන පෞද්ගලික ණය වෙළෙඳපොළ කොටසක් නියෝජනය කෙරේ.
  • මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය. භාණ්ඩ හා සේවා මිල ගණන් දේශීය මුදල් ඒකක මගින් තීරණය වීමත්, භාණ්ඩ හා සේවා ඉල්ලුම සහ සැපයුම දේශීය මුදල් ගනුදෙනු හරහා සිදු වීමත් හේතු කොට, පොදු මිල මට්ටමේ ඉහළ යාම හෙවත් උද්ධමනය යනු මූල්‍ය සංසිද්ධියක් බව මූල්‍ය ආර්ථික විද්‍යාඥයන්ගේ විශ්වාසය යි.

පහත වගු 1 සහ 2 මගින් ඉහත දැක්වූ දත්ත කාර්තුමය පදනමක් මත ඉදිරිපත් කෙරේ. ඒවා අදාළ පරිදි, කාර්තුව අවසාන දින හෝ අවසාන සතිය හෝ කාර්තුව තුළ එකතුව (ගෙවුම් ශේෂ දත්ත) හෝ ලෙස දැක්වෙයි.

Foreign f

Mone Cond

2020/21 කාලය තුළ අර්බුදය හට ගත් ආකාරය දත්තවලින් පෙන්නුම් කළේ කෙසේ ද?

  • වෙළෙඳ ශේෂය, සේවක ප්‍රේෂණ සහ රජයට මුදල් ලැබීම් අඛණ්ඩව අහිතකර වීම හේතු කොට ගෙවුම් ශේෂ හිඟය ඉහළ ගිය අතර මහ බැංකුව විසින් විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය කිරීම සහ රුපියල් 200 මට්ටමේ ස්ථාවරව තබා ගැනීම හරහා ගෙවුම් ශේෂ හිඟය (භාණ්ඩ, සේවා සහ ප්‍රාග්ධනය ඉවත්ව යාම) පියවීම සඳහා විදේශ සංචිතය භාවිතා ලදි. එබැවින්, 2021 වර්ෂය අවසානයේ දී විදේශ සංචිතය ඩොලර් මිලියන 3,139 දක්වා කඩා වැටින. ආර්ථිකය ඓතිහාසික අර්බුදයට සහ බංකොලොත් භාවයට ඇද දැමූ විදේශ මුදල් අර්බුදයේ මූල සාධකය මෙය යි.
  • 2021 තුන්වන කාර්තුවේ සිට මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ ද, මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා රජයට ද, නිත්‍ය ණය හරහා බැංකුවලට ද අධික ලෙස ණය සැපයීම තුළින් මුදල් මුද්‍රණය ද ඉහළ ගොස් ඇති අතර නිත්‍ය තැන්පතු පරිමාව ද පහළ ගොස් ඇත. 
  • නිත්‍ය තැන්පතු පහළ යාම සහ නිත්‍ය ණය ඉහළ යාම තුළින් ලද මුදල් බැංකු විසින් භාවිතා කළ ආකාරය දත්ත මගින් හෙළි නොවන අතර එවකට පෞද්ගලික ණය දීමේ අවදානම ඉහළ වූ බැවින්, එම මුදල් රාජ්‍ය බැංකු විසින් රජයට අත්තිකාරම් සැපයීම සඳහා භාවිතා වූ බව සැලකිය හැකිය. මෙම රාජ්‍ය අත්තිකාරම් සහ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා මහ බැංකු විදේශ සංචිතයේ මුදල් තුළින් රාජ්‍ය විදේශ ණය සේවාකරණයට අවශ්‍ය ණය මැවීම සිදු වූ අතර ඊට හේතුව පෙර වර්ෂවල මෙන් රජයට ප්‍රමාණවත් නව විදේශ ණය නොලැබීම යි.

අර්බුදය 2022 වර්ෂයේ දී තවත් දරුණු වන බව දත්තවලින් පෙන්නුම් කරන්නේ කෙසේ ද?

  • 2022 මාර්තු 7 දින විනිමය අනුපාතය පා කිරීම, අප්‍රේල් 8 දින සිට ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඓතිහාසික ලෙස 8% කින් ඉහළ දැමීම, අප්‍රේල් 12 දින රාජ්‍ය විදේශ ණය ගෙවීම පැහැර හැරීම සහ විදේශ වෙළෙඳ සහ විනිමය පාලනයන් රැසක් පැනවීම  සිදු කළ ද, ගෙවුම් ශේෂ හිඟය තවත් ඉහළ ගොස් ඇත. එබැවින්, විදේශ සංචිතය ඩොලර් මිලියන 1,859 දක්වා හීන වන ලදි.
  • එහෙත්, ඩොලර් මිලියන 1,500 ක් පමණ වන අද්‍රවශීලී චීන විදේශ මුදල් හුවමාරු මුදල ඉවත් කළ විට, විදේශ සංචිතය 2022 ආරම්භයේ දී ඩොලර් මිලියන 1,639 සිට දෙවන කාර්තුව අවසානයේ දී ඩොලර් මිලියන 359 දක්වා කඩා වැටී ඇත. එබැවින්, 2022 පළමු භාගය තුළ ඉහළ ගිය ඩොලර් මිලියන 2,814 ක් වූ ගෙවුම් ශේෂ හිඟය, රජයට ලැබුණ විදේශීය මානුෂික ආධාර සහ ඉන්දියානු භාණ්ඩ ණය පහසුකම හරහා පියවන්නට ඇත.
  • පොලී අනුපාතයන් සැලකිය යුතු ලෙස ඉහළ ගිය ද, නිත්‍ය තැන්පතු, නිත්‍ය ණය සහ මහ බැංකු භාණ්ඩාගාර බිල්පත් කළඹ වේගයෙන් ඉහළ යාම සහ ඒක්ෂණ ණය ගනුදෙනු ක්‍රියාකාරී නොවීම තුළින් දේශීය ආර්ථිකයෙහි සහ මූල්‍ය පද්ධතියෙහි පවතින දැඩි අස්ථායිතාවය විදහා දැක්වෙයි. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 31% මට්ටමට ඉහළ යාම තුළින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද දේශීය ණය නොතිරසර භාවය පෙන්වයි.
  • පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ ගිය ද, මහ බැංකුව විසින් විනිමය අනුපාත අවප්‍රමාණය වළක්වමින් නැවත එය මැයි මස 13 දින සිට කෘතීම ලෙස පටු කොරිඩෝවක පාලනය කිරීම සහ ආර්ථික අවපාතය හේතු කොට විදේශ මූල්‍ය ප්‍රවාහයන් තවදුරටත් අඛණ්ඩව දුර්වල වීම දැකිය හැකිය.
  • විදේශ සංචිතය ශුන්‍යයට කඩා වැටීම, ඉහළ පොලී අනුපාතයන්, විදේශ ණය පැහැර හැරීම සහ අනෙක් වෙළෙඳපොළ පාලනයන් හේතු කොට, නිල පුරෝකතනයන් වන 8%-8.5% ක් වූ ආර්ථික සංකෝචනය/අවපාතය සහ 65% ඉක්මවන පාරිභෝගික උද්ධමනය යන දත්තවලින් පෙන්වන පරිදි ආර්ථිකයේ බංකොලොත් භාවය 2022 වර්ෂයේ දී තවත් ඉහළ යන බව ඉතා පැහැදිලි ය.

මහ බැකුවේ නිද්‍රාශීලී ප්‍රතිපත්ති දැක්ම

මේ අනුව, පූර්ව අර්බුද සංඥාවන් සහ බොහෝ දේශීය සහ ගෝලීය ප්‍රතිපත්ති අත්දැකීම් පැවතිය ද, රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම වැලැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ගැනීමට මහ බැංකුව අසමත් වූ බවට විවාදයක් නොමැත. ඉහත දැක්වූ දත්ත මහ බැංකුවේ ජාත්‍යන්තරව පුහුණු කරන ලද ආර්ථික විද්‍යාඥයන්ට ඉංග්‍රීසි හෝඩියේ A, B සහ C අකුරු මෙන් ඉතා හුරු පුරුදු ඒවා වෙයි.

එසේම, මූල්‍ය සහ සාර්ව ආර්ථික පද්ධති අවදානම් හඳුනා ගැනීම සහ කළමනාකරණය පිළිබඳ ව මහ බැංකුවේ පවතින පුළුල් අභ්‍යන්තර පාලන පද්ධතියට මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව, මූල්‍ය ප්‍රතිපත්ති උපදේශන කමිටුව, මූල්‍ය ස්ථායිතා කමිටුව, මූල්‍ය ස්ථායිතා උපදේශන කමිටුව, විදේශ සංචිත කළමනාකරණ කමිටුව, දෛනික වෙළෙඳපොළ මෙහෙයවුම් කටයුතු කමිටුව, බැංකුව පුරා අවදානම් කළමනාකරණ කමිටුව, දේශීය ණය කළමනාකරණ කමිටුව, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව,  සාර්ව විචක්ෂණ ආවේක්ෂණ දෙපාර්තමේන්තුව  විදේශීය මෙහෙයවුම් කටයුතු දෙපාර්තමේන්තුව, දේශීය මෙහෙයවුම් කටයුතු දෙපාර්තමේන්තුව, අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ නීති සහ අනුකූලතා දෙපාර්තමේන්තුව අඩංගු විය. මෙම අභ්‍යන්තර පාලන පද්ධතිය 2020 වර්ෂය අවසානය වන තෙක් වසර 10-15 ක පමණ කාලයක් වත්මන් මහ බැංකු අධිපතිගේ ඍජු දායකත්වය, පාලනය සහ මෙහෙයවීම යටතේ පැවතින.

එබැවින්, මෙහිදී සිදු වී ඇත්තේ පූර්ව අර්බුද සංඥාවන් නොදැකීම නොව, රාජ්‍ය දේශපාලනික අනුග්‍රහය ලැබීමේ අරමුණ මත මහ බැංකු ඉහළ නිලධාරීන් විසින් සුභවාදී ආර්ථික ආකල්ප මත අර්බුදය යථාර්ථ වාදීව කියවා නව්‍ය ප්‍රතිපත්ති ගැනීමට ඉදිරිපත් නොවීම යි. ඒ බව මේ දක්වා මහ බැංකු අධිපති වරුන් සහ ඉහළ නිලධාරීන් විසින් මාධ්‍යය වෙත දක්වා ඇති අදහස්වලින් මනාව පැහැදිලි වෙයි.

එසේම, වත්මන් මහ බැංකු අධිපති විසින් උද්ධමන උපරිම වීමේ මට්ටම, IMF බේරුම් පැකේජය, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා සමස්ත ඉල්ලුම පහළ දැමීම පිණිස තවත් ආර්ථිකය හැකිලවීම පිළිබඳ ව සමාජ මාධ්‍ය කතිකාවත් හරහා විවිධ පුරෝකතනයන් සහ මහජන අවදානම් සඥාවන් ප්‍රකාශ කරමින් තවත් දුක් විඳීමට සුදානම් වන ලෙස පොදුජනයාට දැනුම් දෙමින් සිටින අතර ආර්ථිකය පිළිබඳව මුදල් මණ්ඩලය සැහැල්ලුවෙන් පසු වන බව පෙනේ. 

උදාහරණ ලෙස ආර්ථිකයේ ආංශීය පදනමක් මත බැංකු ණය බෙදා හැරීමේ අධිකාරිය මහ බැංකුව වුව ද, ජාතියේ කොඳු නාරටිය වන මෙවර වී අස්වැන්න මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් රජයට ණය නොලැබීම හේතු කොට ගොවීන් සහ සහල් පාරිභෝගිකයන් වින්දිතයන් වී ඇත.

එබැවින්, ඉහත දැක්වූ දත්ත සහ දැනට පාලනයෙන් පිට පවතින දශක හතරක ඉහළම ගෝලීය උද්ධමන පීඩනය මැද ලෙබනනය, පකිස්ථානය සහ සිම්බාබ්වේ වැනි ශ්‍රී ලංකාව මෙන් අර්බුදයට ලක් වී ඇති රටවල වත්මන් ප්‍රවණතාවයන් දෙස බලන විට වත්මන් අර්බුදයේ රුදුරැම බලපෑම ඉදිරියේ දී දරන්නට වන බව නොරහසකි.

රජය වෙත කෙරෙන කාරුණික උපදේශය

ශ්‍රී ලංකාවේ මහජනයාට වඩාත් වාසිදායක ලෙස මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව මහ බැංකුව වෙත විධානයන් නිකුත් කිරීමේ අධිකාරිය මුදල් ඇමති වෙත පවතින බැවින්, ආර්ථික අර්බුදය වැලැක්වීම සඳහා මහ බැංකුව විසින් නිසි ප්‍රතිපත්ති නොගැනීමේ වරදට මුදල් ඇමති වරයා වෙත ද වගකීමක් පවතී.

එබැවින්, වත්මන් මුදල් ඇමති වරයා විසින් වහාම කළ යුත්තේ, ආර්ථික අර්බුදය නිරාකරණ විශේෂ පනතක් පාර්ලිමේන්තුව හරහා සම්මත කොට, ඒ අනුව දේශීය සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනය තුළින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පවතින ආර්ථික නීති ව්‍යුහය අභිමවා ගොස් අදාළ රාජ්‍ය ආයතන, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රධාන පෞද්ගලික ව්‍යාපාරික ආයතන වෙත ක්‍රියාකාරී කාර්යසාධන ඉලක්කයන් පැවරීම යි. 

මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුත්තේ, ආර්ථිකයේ මූල්‍ය සහ මූර්ත සැපයුම් අවහිරතාවන් ඉවත් කොට නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනමින් උත්තේජනය කිරීම යි. එය රාජ්‍ය නිලධාරීන් විසින් සකසන නව චක්‍රලේඛනයන්ගෙන් අපේක්ෂා කළ නොහැකිය. ඒ බව වත්මන් වී අස්වැන්න මිල දී ගැනීමට මුදල් සපයා ගැනීමට රජයට නොහැකි වීම තුළින් මනාව පැහැදිලි වෙයි.

මීට උදාහරණ ලෙස ඇමෙරිකාවේ කෙයාස් පනත සහ උද්ධමනය පහළ දැමීමේ පනත, බ්‍රිතාන්‍යයේ උද්ධමනය පාලනය කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය විනය නොව ආර්ථික වර්ධනය ඉලක්ක කෙරෙන රාජ්‍ය මූල්‍ය උත්තේජනයන් සැපයෙන අතුරු/කුඩා අයවැය සහ 2020 දී යුරෝපයේ අයවැය/ණය නීති අත්හිටුවීම 2023 වර්ෂයට ද බලාත්මක කිරීමේ යෝජනාව දැක්විය හැකිය. බ්‍රිතාන්‍ය මුදල් ඇමති වරයා පත් වූ විගස මුදල් ලේකම්ගේ සේවය අවසන් කොට නව ලේකම් වරයෙකු පත් කිරීමට ක්‍රියා කළ අතර ඊට හේතුව ලෙස දැක්වූයේ තමාට අවශ්‍ය රාජ්‍ය මුදල් අවකාශය නොව කඩිනම් ආර්ථික වර්ධන අයවැයක් ක්‍රියාත්මක කිරීමට දක්ෂ මුදල් ලේකම් වරයෙකු බව යි. එසේම, යුක්‍රේන යුද්ධයට චෝදනා කිරීම නවතා තම උද්ධමන පාලන වගකීම ඉටු කරන ලෙස එංගලන්ත මහ බැංකුවට ද අනතුරු හඟවන ලදි.

එබැවින්, ඉක්මන් ආර්ථික ප්‍රසාරණයක් නොමැතිව මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට නොහැකි බව සරල කරුණකි. එසේ නොමැතිව අර්බුදයට වගකිව යුතු නිලධාරීන් එම තනතුරුවල රඳවා ගැනීම, කිසිම පළපුරුද්දක් නොමැති උපදේශන කමිටු පත් කිරීම, විදේශ මුදල් සහ තාක්ෂණික ආධාර අයැදීම, මහ බැංකු අධිපති සහ මුදල් ලේකම්ගේ අභිමතය මත පාර්ලිමේන්තුවේ අනුමැතිය රහිතව ජාතික මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වය කැප කරමින්  IMF ගැලවුම් පැකේජයම පසුපස යාම සහ පවතින රාජ්‍ය අයවැය ක්‍රමවේදය හරහා අර්බුදය නිරාකරණය කිරීමේ දැක්මක් අනුගමනය කිරීම තුළින් සිදු වන්නේ, නව දේශීය සහ ගෝලීය භූදේශපාලනික බලපෑම් සහ ගැටුම්වලට මුහුණ දීමේ අවදානම් ඉහළ යාම යි.

මෙහිදී, එන්න එන්නම හැකිලෙන ආර්ථිකයක බදු සහ රාජ්‍ය සේවා මිල ගණන් ඉහළ දැමීම සහ රාජ්‍ය සේවා වියදම් කපා හැරීම තුළින් අර්බුදයේ බර මෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ බර ද, පොදුජනයාගේ කර මතම තබා ගෙන යාමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර වාදයට සහ අර්බුද කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රමවේදයට එරෙහි වීමක් වන බැවින් එහි සමාජීය ප්‍රතික්‍රියාවන් ඉතා කර්කෂක විය හැකිය. 

එබැවින්, රාජ්‍ය තන්ත්‍රය මූල්‍යකරණය කිරීම සඳහා රජය සතු මුදල් මුද්‍රණ සහ ණය ගැනීමේ බලතල භාවිතා කිරීම වඩාත් පොදුජන හිතකර වෙයි. ඊට හේතුව, පවතින අර්බුදය තුළ සමස්ත නිෂ්පාදනය සහ සැපයුම ඉහළ දැමීමකින් තොරව උද්ධමනය පාලනය කිරීමට රජයට කෙසේවත් නොහැකි වීම යි.

එසේම, ආර්ථික අර්බුදය පිළිබඳ ස්වාධින විමර්ශනයක් කිරීම තව තවත් පමා වීමෙන් සිදු වනුයේ රජයට එරෙහිව නැගී එන සමාජීය අරගලයන්ට ආයුධ සැපයීම යි.

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

උපුටා ගැනීම

economydiscovery. blogspot .com

සෙනාරෝ මෝටර් කම්පැනි සිය පළමු නිෂ්පාදනය ජනපති වෙත භාරදෙයි !

අපනයන ආර්ථිකයක් කරා යාමේ රජයේ වැඩපිළිවෙළට දායක වෙමින් දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් නගාසිටුවීමට ලංකා බැංකුව දියත් කර ඇති වැඩසටහන යටතේ මෙරට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කල සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ නවතම මෝටර් සයිකල් කිහිපයක් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු විය.

සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන වඩුගේ මහතා විසින් ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීය.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ.

ලංකා බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සෙනාරෝ මෝටර් කම්පැනි පුද්ගලික සමාගම රුපියල් බිලියන 1.5ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුලින් මුලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම SENARO GN 125 මෝටර් සයිකලය නිෂ්පාදනය කරයි. එම අගය එකතුකිරීම ඉතා ඉක්මණින් 50% දක්වා ඉහළ නංවා ගැනීම සමාගමේ අපේක්ෂාව වන අතර මෙම ව්‍යාපෘතිය හරහා සෘජු රැකියා 160 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීම ද සිදු වෙයි.

ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු රෝහණ කුමාර, සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මොහාන් සෝමචන්ද්‍ර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230315 WA0020

සතොසෙන් භාණ්ඩ 12 කට : මිල සහනයක් !

සතොස මගින් මිලදී ගත හැකි භාණ්ඩ 12ක මිල ගණන් අඩුකර ඇති බව වාර්තා වෙයි .

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මිලගණන් ඉදිරිපත් කළේය.

WhatsApp Image 2022 08 23 at 12.06.15 768x576 1

ඊට අනුව ආනයනික පොන්නි සම්බා කිලෝවක් රුපියල් 21කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රු 194කි.

පරිප්පු කිලෝවක් රුපියල් 25කින් මිල අඩු කර ඇති අතර නව මිල රු 460කි.

දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර තිබෙන අතර නව මිල රු 310කි.

ආනයනික නාඩු හාල් කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර ඇති අතර නව මිල රු 198කි.

හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 25කින් මිල අඩුකර ඇති අතර නව මිල 1,375කි.

Page 3 of 8