V2025

ආර්ථික

ජූලි 31 වන විට ගෑස් පෝලිම් අවසන් කරනවා : ලිට්‍රෝ සභාපතිගෙන් සහතිකයක් !

ජූලි මස 31 දින වනවිට මෙරට ගෑස් පෝලිම් අවසන් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසා ඇත .

ඒ සඳහා මේ මාසයට අවශ්‍ය වන ගෑස් මෙට්‍රික් ටොන් 33,000ම ඇණවුම් කර ඇති බවත් ඔහු පවසා ඇත .

ලබන ඔක්තෝබර් මාසය දක්වා මෙලෙස අඛණ්ඩව ගෑස් අලෙවිය පවත්වාගෙන යා හැකි අතර අනතුරුව ඉදිරි වසර සඳහා ගෑස් මිලට ගැනීම සඳහා ටෙන්ඩරයක් කැඳවන බවත් ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කර ඇත .

ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් තම සමාගම සතුවන බැවින් ඉදිරියේ ගෑස් අර්බුදයක් හටනොගනු ඇති බවට සහතිකයක් ද ඔහු දී තිබීම විශේෂත්වයකි.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ දේශය පුවත්පත වෙත ප්‍රකාශයක් කරමින් ය.

අදාළ පුවත අනුව පසුගිය සති කිහිපය තුළ ගෑස් සිලින්ඩර ලක්ෂ 7 ½ක් වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

දැනට ගණන් බලා ඇති ආකාරයට කොළඹ දිස්ත්‍රික්කයේ ගෑස් අවශ්‍යතාවෙන් 50%කට වැඩි ප්‍රමාණයක් සපුරා ඇතැයි ද සභාපතිවරයා සඳහන් කර ඇත .

මුදිත පීරිස් ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරය ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අග්‍රාමාත්‍යවරයා ලෙසත්, මුදල් අමාත්‍යවරයා ලෙසත් පත්වූ අවස්ථාවේ ය. එසේම ඔහු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ ළඟම ගෝලයකු ලෙස ප්‍රසිද්ධ අතර රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ද ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස පත්කර තිබිණ .

බදු වැඩිවෙන හැටි මෙන්න !

එකතු කළ අගය මත බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබේ.

කඩිනමින් සහ ආසන්න කාලීනව හඳුන්වා දීමට යෝජිත බදු සංශෝධන පිළිබඳව නිවේදනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ විදුලි සංදේශ බද්ද සියයට හෙට 11.25 සිට 15% දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවයි.

ලබන ඔක්තෝම්බර් පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු යෝජනා ලෙස පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන තුනේ සිට රුපියල් මිලියන 1.8 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

බදු අය කළ හැකි ආදායම මත බදු කාණ්ඩ රුපියල් මිලියන තුනේ සිට රුපියල් මිලියන 1.2 දක්වා අඩු කිරීම සහ එක් එක් බදු කාණ්ඩයට සියයට හතරේ සිට සියය⁣ට 32 දක්වා බදු අනුපාත පැනවීමට ද සේවා නියුක්ති ආදායම මත රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීමට ද යෝජනා කර තිබේ.

රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීම, පොලී හා ලාභාංශ මත රඳවා තබා ගැනීමේ බදු අවසානාත්මක ගෙවීම් ලෙස සැලකීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියන 1.5 ක පොලී අදායම මත සහනය නැවත හඳුන්වා දීමට ද යෝජනා කර ඇත.

වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදුකරන මසකට රුපියල් ලක්ෂයක් ඉක්මවන සේවා ගෙවීම් මත රඳවා ගැනීමේ බද්දක් පැනවීම ද එම යෝජනා මාලාවේ ඇතුළත්ය.

සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 24 සිට සියයට 30 දක්වා වැඩි කිරීම සහ සහනදායී බදු අනුපාතය සියයට 14 සිට 15% දක්වා වැඩි කිරීම,එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300 සිට වසරකට රුපියල් මිලියන 120 දක්වා අඩු කිරීම,පදිංචියට යෝග්‍ය සහාධිපත්‍ය තට්ටු නිවාස සඳහා ලබාදෙන ලද එකතු කිරීම මත බදු නිදහස් කිරීම ඉවත් කිරීමටද යෝජනා කර ඇත.

සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 දක්වා වැඩි කිරීමට ද ඔට්ටු ව්‍යාපාර සම්බන්ධයෙන් වාර්ෂික බද්ධ අනු නියෝජිතයකු මගින් සිදුකරන අවස්ථාවකදී රුපියල් මිලියන හතර සිට රුපියල් මිලියන 5 දක්වා ද සජීවී විකාශන පහසුකම් භාවිතා කරමින් සිදුකරන ගෙන යන අවස්ථාවක දී රුපියල් මිලියන 0.6 සිට රුපියල් මිලියන 1 දක්වා ද,සජීවී විකාශන පහසුකම් භාවිතා නොකරමින් සිදුකරගෙන යන අවස්ථාවකදී රුපියල් 50000 සිට රුපියල් 75000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර ඇත.

2023 වසරේ අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇති අතර වාසික සමාගමක් විසින් නිර්වාසික තැනැත්තෙකු වෙත ගෙවනු ලබන ලාභාංශ ආදායම් බද්දට යටත් කරන බව එහි දක්වා තිබේ.

Lankadeepa

ඉන්ධන සංචිත ඉහළට !

දින 22 ක් සඳහා ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත මෙන්ම ඉදිරි දින 30ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් සංචිත රට තුළ පවතින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ අතර ඊයේ (22) දිනය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව මීට පෙර හිඳීගොස් තිබූ මෙරට තෙල් සංචිත ක්‍රමයෙන් ඉහළ යමින් ඇති බවත් වාර්තා වෙයි .

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් තුන්දහසක් ද ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇති බවයි.

සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ වාහන අංකය අනුව ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවය.

මිල 70% කින් ඉහළ යයි : එළවළු කාලා හමාරයි !

උඩරට සහ පහතරට එළවළු මිල මේ වනවිට 70%කින් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂිත ආරථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳපොල සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසයි .

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය.

දරාගත නොහැකි අන්දමින් පොහොර මිල ඉහළ නැගීම හා ඉන්ධන අර්බුධය හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇතිවීම ඇතුළු තවත් ගැටළු රැසක් මේ මිල ඉහළ යාමට හේතු වී ඇතැයිද ඔහු පවසා ඇත .

පවතින තත්වය හමුවේ තක්කාලි කිලෝවක් 600ත් 700ත් අතර මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 500ත් 550ත් අතර මිලකටත්, අමුමිරිස් කිලෝවක් රුපියල් 650ත් 700ත් අතර මිලකටත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 480ත් 500ත් අතර මිලකටත්, කැරට් කිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකටත්, බීට් රූට් කිලෝවක් රුපියල් 160ත් 190ත් අතර මිලකටත් අලෙවි වන බවත් සභාපතිවරයා පවසා තිබේ.

පවතින තත්වය හමුවේ තවත් මාසයක් යනවිට දැඩි එළවළු හිඟයක් ඇතිවන බවද ඔහු අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇත .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ රසායනික පොහොර ආනයනය තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගනුලැබූ වැරදි තීන්දුව හේතුවෙන් එළවළු මිල මෙසේ ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකි බවයි .

එසේම ඉදිරියට ආහාර අහේනියක් රටේ ඇතිවීමේ අවාසනාවන්ත තත්ත්වයක පෙරලකුණු දක්නට ඇති බවත් ඔවුන් පවසයි .

මෙය රටේ ජනතාවගේ වත්මන් අසහනකාරීත්වය තවත් වර්ධනය කරන්නක් විය හැකි බැවින් , කඩිනමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇති 2022 දෙසැම්බර් දක්වා වන සහන අයවැය කඩිනම් කළ යුතු බවත් ආර්ථික විශ්ලේෂකයන් අවධාරණය කර සිටියි.

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 06 ක් බෙදයි !

ගෘහස්ථ ගෑස් සිලිණ්ඩර ලක්ෂ 06 ක ප්‍රමාණයක් දිවයිනපුරා බෙදාහැර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

සමාගම පවසන ආකාරයට ඉකුත් 11 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ මෙසේ බෙදාහැරීම් කටයුතු සිදුකර ඇත .

එසේම මේ වන විට ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,300 බැගින් වූ නෞකා දෙකක් පෙරේදා (18) දිවයිනට ළඟාවූ බවත් එම නෞකා දෙකෙහි ඇති ගෑස් තොග මේ වනවිට ගොඩබා අවසන් බවත් වාර්තා වෙයි .

ඒවා කඩිනමින් වෙළදපොළට නිකුත් කරන බවත් සමාගම පවසන අතර ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ගෑස් සපයන බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව කටයුතු සම්පාදනය කර ඇති බවත් සඳහන් කරයි .

 

නීත්‍යානුකූල නොවන ලෙස ඉපයූ ඩොලර් වලට : සහන කාලයක් !

නීත්‍යනුකූල නොවන ආකාරයෙන් උපයා ළඟ තබා ගෙන සිටින ඩොලර් බැංකුවල තැන්පත් කිරීම සඳහා සති 02ක සහන කාලයක් ලබා දෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ මුදල් ප්‍රතිපත්ති විවරණයට අදාළව මහ බැංකුවේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදීය.

දැනට පවතින නීතිය අනුව අමෙරිකානු ඩොලර් 15,000කට වඩා වැඩි මුදලක් ළඟ තබා ගැනීම නීත්‍යනුකූල නොවන බවද ළඟ තබාගත හැකි එම ඩොලර් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

නීත්‍යනුකූල නොවන පරිදි ළඟ තබාගෙන ඇති ඩොලර් සම්බන්ධයෙන් වන මහ බැංකු නීති රෙගුලාසි යටතේ පියවර ගෙන ඒ සම්බන්ධව නීත්‍යනුකූලව කටයුතු කිරීම සඳහා අදාළ අංශවලට දැනුම් දීමට කටයුතු කරන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

Lanka truth

ඉස්සරහට උද්ධමනය 70% ට යයි : මිලියන 6කට ඊළඟ ආහාර වේල ප්‍රශ්නයක් !

ඉදිරි මාස කිහිපයක් තුළ මෙරට උද්ධමනය 70% ක් දක්වා ඉහළ යාහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි .

එය සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති දැඩිකර ඇති බවත් ඔහු පවසයි .

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

"ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.5 යි බිංදුවක් දක්වා ඉහළ දමා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50ක් ලෙස ඉහළ දමා තිබෙනවා. " යැයිද එහිදී ඔහු පැවසීය .

මිලියන 6.26 කට ඊළඟ ආහාර වේල ප්‍රශ්නයක් !

මේ අතර ඉදිරි මාස කිහිපයක් තුළ මෙරට මිලියන 6.26ක් ජනතාව හෝ නිවාස 10 කින් 03 ක් ඊළඟ ආහාර වේල සම්බන්ධයෙන් අවිනිෂ්චිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසා ඇත .

ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ,
ආහාර උද්ධමනය ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ හිඟය එම තත්ත්වයට හේතු විය හැකි බවය .

මෙරට ජනතාවගෙන් සියයට 61 ක් පමණ පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය ද අඩු කර ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි .

ඒ අනුව පෝෂදායී ආහාර අනුභවය ද අඩුවී තිබෙන බවත් එහි සඳහන් ය.

මේ වන විට දැඩි අවධානමකට ලක්ව සිටින පවුල් සංඛ්‍යාව ලක්ෂ 02 ක් පමණ වන අතර එලෙස අවධානමකට ලක්වන පිරිස ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවත් නිවේදනය හරහා ලෝක ආහාර වැඩසටහන පෙන්වාදී ඇත.

පවතින තත්ත්වය හමුවේ ගර්භණී කාන්තාවන් ද පෝෂදායී ආහාර අනුභව කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔවුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද අවධානමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන සිය වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ .

කාලා හමාරයි : උද්ධමනයෙන් ලෝකයෙන්ම 3 වෙයි !

වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ තෙවන ස්ථානයට (119%) පත්ව සිටින බව ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් වන සමීක්ෂණ වාර්තාව ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ නිකුත්කර ඇති අතර ඒ ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමිනි.

වාර්තාව අනුව ශ‍්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ සිම්බාවේ හා ලෙබනනය පමණි.

මෙම යාවත්කාලිනව සදහා මුලාශ‍්‍ර කොටගෙන ඇත්තේ දැනට මාස දෙකකට පෙර දත්තයන් වීමද විශේෂත්වයක් වන අතර මූල්‍ය විශ්ලේෂකයන් පවසන්නේ ලංකාවේ ආර්ථිකය ඉදිරියට තවත් බරපතළ විය හැකි බවය.

FB IMG 1650871418125

කාලා ඇඳලා හමාරයි : ණය කාඩ්පත් පොළී අනුපාතයත් ඉහළට !

ශ්‍රී ලංකා වාණිජ බැංකු කිහිපයක් ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව මූල්‍ය වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි .

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 8 වැනිදා ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට තීරණය කළ බවත් එම තීරණයෙන් පසු එතෙක් සියයට 18 ක්ව පැවති ණය කාඩ්පත් පොලිය අද වන විට සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද විශ්ලේෂකයන් පවසයි .

එක් වාණිජ බැංකුවක් පමණක් ණය කාඩ්පත් පොලිය ජූලි මස සිට තවත් සියයට 6 කින් වැඩි කරමින් සියයට 36 සීමාවට රැගෙන විත් ඇතැයි ද මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව මෙම වසරේ අප්‍රේල් මාසය වන විට සක්‍රීයව පවතින ණය කාඩ්පත් ප්‍රමාණය 1,973,481 ක් වන අතර මෙම ණය කාඩ්පත් වෙනුවෙන් අප්‍රේල් මාසය අවසන් වන විට ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 138,192 කි.

උද්ධමනය තවත් ඉහළට !

මේ වසරේ මාර්තු මාසයේ මෙරට උද්ධමනය 21.5% ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාර්තු මාසයට අදාළව නිකුත් කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශන (NCPI) වාර්තාවේ මේ බව සඳහන්ය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාව සඳහන් කරන්නේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල සිදුවූ සීඝ්‍ර මිල වැඩිවීම මෙම තත්වයට හේතු වූ බවයි. ආහාර කාණ්ඩයේ මිල වැඩිවීම 29.5% ක් වන අතර ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ මිල ඉහළයාම 14.5%ක් බව එහි සඳහන්ය.

මේ නවතම රජයේ දත්ත අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ උද්ධමනය 20% ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වුවද පසුගිය 20 වැනිදා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් පළ කළ ට්වීටර් සටහනක පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ අප්‍රේල් 20 වනදා දක්වා උද්ධමනය 120% ක ඉහළ අගයක් වාර්තා කර ඇති බවයි.

රුපියල දිගින් දිගටම පහළ බැසීම සහ බලශක්ති අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම මත ලංකාවේ උද්ධමනය ඉහළ නගිමින් ඇති බව ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.

Government officials in #SriLanka have requested emergency financial help from the IMF. As long as Lanka retains its central bank, It will be caught up in an economic death spiral. Today, I measure inflation in LKA at a stunning 120%/yr. pic.twitter.com/o1NphedqXn

— Steve Hanke (@steve_hanke) April 21, 2022
මූලාශ්‍ර 01 – http://www.statistics.gov.lk/WebReleases/NCPI_March_2022

(Lanka truth )

සත්ව ආහාර වෙනුවෙන් වාරණයක් : කිකිළියන් බිත්තර වර්ජනයක !

සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා විකිණීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ මෙම නියෝගය අද (24) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව කිසිදු ආනයනකරුවෙකුට, නිෂ්පාදකයෙකුට, වෙළෙන්දෙකුට හෝ බෙදාහරින්නෙකුට සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා හෝ වෙනත් අමුද්‍රව්‍යයක් ලෙස සෘජුවම සහල් හෝ වී ආනයනය කිරීමට, විකිණීමට, හෙළිදරව් කිරීමට හෝ විකිණීමට, ගබඩා කිරීමට, ප්‍රවාහනයට, බෙදා හැරීමට හෝ මිලදී ගැනීම තහනම් ය.

කිකිළියන් බිත්තර වර්ජනයක !

මේ අතර කුකුළු කෑම මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමෙන් රටපුරා ගොවිපොළවල 90% ක් බිත්තර දැමූ කිකිළියන්ගේ ප්‍රතිශතය මේ වනවිට 50% ක් දක්වා පහත වැටී ඇතැයි වාර්තා වෙයි .

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

ඊට අනුව රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් කුකුළු ආහාර ආනයනය සීමා වී ඇත. එයින් විටමින් වර්ග ඇතුළු අමුද්‍රව්‍ය 10කට ආසන්න ප්‍රමාණයක මිල ඉහළගොස් තිබේ.

එම නිසා මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 48 – 50 අතර වන බව සභාපතිවරයා පවසා ඇත .

බිත්තර දමන කිකිළියන්ට දිනපතා ආහාර ලබාදිය යුතු වුවද පවතින අර්බුදය හමුවේ ආහාර නොමැතිවීමෙන් රටපුරා ගොවිපොළවල කිකිළියන් බිත්තර දමන ප්‍රතිශතය මෙලෙස අඩු වී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කර ඇත .

ඩොලරය රුපියල් 330 ට යයි !

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (11) රුපියල් 330 ක අගයක් ගෙන ඇත.

ඒ බව ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු වල දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල දක්නට ලැබිණ.

මේ අතර මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.88වූ අතර විකුණුම් මිල 321.49 ලෙස සටහන් විය.

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ස්ථිර නොවූ ගණුදෙනුව සිදු කරන අවස්ථාවේ විය හැකි විකුණුම් මිල ලෙස රුපියල් 311.67 ලෙස සටහන් වීම විශේෂත්වයක් විය.

ලංකාවේ සාගතය වෙනුවෙන් : UN ලෝකයෙන්ම ආධාර ඉල්ලයි !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන සමග ඒකාබද්ධව මෙරට මානුෂීය අවශ්‍යතා සඳහා මුදල් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙරට ජනගහනයෙන් සියයට 22කට ආහාර අධාර අවශ්‍ය අතර පවුල්වලින් සියයට 86ක් ආහාර ගැනීම අඩුකිරීම හෝ ආහාර ගැනීම මඟහැරීම සිදු කරන බවය.

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඊයේ (09) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්මක් දියත් කළ බවය.

ජුනි සිට සැප්තැම්බර් අතර කාලයේ ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත්වන ලක්ෂ 17ක් වූ ජනතාවට ක්ෂණික ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 47.2 ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටීම මෙහි අරමුණ වෙයි.

මෙරට මානුෂීය ආධාර අවශ්‍ය ජනගහණය ලක්ෂ 57ක් බවත් ඉන් මෙම ලක්ෂ 17ක පිරිස වඩාත් අවදානම් කාණ්ඩයක පසුවන අතර ඔවුන්ට ක්ෂණික ආධාර අවැසි බවද ඔවුන් පවසයි.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාර හනා සිංගර් මහත්මිය පෙන්වා දෙන්නේ දැන් දැන්ම පියවර නොගතහොත් මෙරට බොහෝ පවුල්වලට සිය මූලික ආහාර අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි වනු ඇති බවය.

කලක් ශක්තිමත්ව පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැන් අනතුරේ වැටි ඇති බවත් ජීවනෝපාය රැසක් බිඳවැටී ඇති බවත් ඇය පැවසුවාය.

හනා සිංගර් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ එළඹ ඇත්තේ දැන් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙත සිය සහයෝගය ලබාදිය යුතු කාලය බවය.

එම නිසා මෙම ආධාර සැලැස්මට කඩිනම් සහාය ලබාදෙන ලෙස එක්සත් ජාතීන්, මානුෂීය හවුල්කරුවන්ගෙන්, පෞද්ගලික අංශවලින් සහ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටී.

ජනගහනයෙන් සියයට 22කට දැනට ආහාර ආධාර අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම මෙරට පවුල්වලින් 86%ක් ආහාර ගැනීම අඩුකිරීම, ආහාර ගැනීම මඟහැරීම ඇතුළු ක්‍රියාමාර්ගවලට මේ වනවිට අවතීර්ණ වී ඇති බව නවතම සමීක්ෂණයක දත්ත ඇසුරෙන් ඔවුන් පෙන්වා දෙයි.

මැයි මස අවසන් වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 200ක තොග අවසන් වනු ඇති අතර ඉදිරි මාස 2ත් 3ත් තුළ තවත් ඖෂධ වර්ග 163ක තොග නිමාවනු ඇති බවත් ඔවුන් පවසයි.

එමෙන්ම අත්‍යවශ්‍ය ශල්‍යකර්ම උපාංග 2,724ක් සහ සාමාන්‍ය රසායනාගාර ද්‍රව්‍ය 250ක තොග අවසන් බවත් එහි සඳහන්ය.

– Aruna

අනේ අපොයි - ලංකාවේ තත්ත්වය අවිනිශ්චිතයි : මූඩීස් කියයි !

අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හිඟයක් මෙන්ම ණය ගෙවීම සම්බන්ධයෙන් අර්බුදයක් තිබෙන මොහොතක අමාත්‍යවරුන් සහ නිලධාරීන් ඉල්ලා අස්වීම නිසා මෙලෙස ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වන බව මූඩිස් ආයතනය සඳහන් කර ඇත.

පවතින දේශපාලන තත්ත්වය නිසා ප්‍රධාන සංවර්ධන පාර්ශවකරුවන්ගෙන් මුදල් ලබාගැනීමේ මෙන්ම විදේශ විනිමය ආකර්ෂණය කරගැනීමේ ක්‍රියාවලියට බාධා එල්ල වන බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව විදේශ ණය වගකීම් පියවීම සඳහා ප්‍රාග්ධන ගලා ඒම් මත යැපීම නිසා එලෙස මුදල් ගැනීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බාධා එල්ල වනු ඇතැයි මූඩිස් ආයතනය පවසා ඇත.

මේ වසරේ පෙබරවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් දක්වා අඩු වී ඇතැයි ද එය රජයේ වාර්ෂික ණය ගෙවීම් වන ඇමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අගයටත් වඩා අඩු යැයි ද එම ආයතනය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සතුව ඇති සංචිත ප්‍රමාණය මාස දෙකක ආනයනය ආවරණය කරගැනීමට ද ප්‍රමාණවත් නොවන බව මූඩිස් ආයතනය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව 2025 දක්වා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අතර අගයක් ණය වශයෙන් ගෙවිය යුතු බව මූඩිස් ආයතනය පවසා ඇත.

ශ්‍රී ලංකාවේ උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී ඉලක්කම් දෙකේ අගයකට පත්වුණු බවත් මේ වසරේ පෙබරවාරි මාසයේ දී එය සියයට 17.5ක් දක්වා ළඟා වූ බව මූඩීස් වාර්තාවේ දැක්වේ.

- lankadeepa

කිරිපිටි මිල යළිත් ඉහළට !

කිරිපිටි මිල ඉදිරි දින කිහිපයේ දී අනිවාර්යයෙන් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බව වෙළඳ පොළ ආරංචි මාර්ග පවසයි .

ඒ පසුගිය 31 වැනිදා සිට බදු වර්ග කිහිපයක ඉහළ නැංවීම මත කිරිපිටි මිල ඉහළ දැමීමට දේශීය මෙන්ම විදේශීය ආනයන කිරිපිටි සමාගම් ගෙන ඇති තීරණයක් නිසා බවත් වාර්තා වෙයි.

දැනට වෙලදපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් අලෙවි කරන්නේ රුපියල් 1020 ක මිලකටත් කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 කට දැනට අලෙවි වෙයි.

රුපියල හාන්සියි : ඩොලරය 320 ට !

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය තවදුරටත් ඉහළ යමින් තිබේ.

පෞද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 ක් හා ගැණුම් මිල රුපියල් 300ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 308ක් හා ගැණුම් මිල රුපියල් 298ක් ලෙස සදහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ කෘතිම ලෙස පාලනය කළ ඩොලරය , පාවීමට ඉඩදීම නිසි වෙලාවේ සිදුනොවූ බවත් , එය නිදහස් සරණය වෙනුවෙන් අත්හල අවස්ථාව ගැටලු සහගත බවයි.

ආර්ථික සහ මූල්‍ය කටයුතු වලදී ගතයුතු තීන්දු තීරණ නිසි වෙලාවට ගතයුතු බවත් ඒ හැර කල් ඉකුත්වූ තීන්දු තත්ත්වය තවදුරටත් බරපතළ කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

රුපියල සතෙන් සතේ හැදෙන ලකුණු !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (01) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 65 කින් පහල ගොස් ඇත .

ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365.09 ක් ලෙස සටහන් විය. ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 355.12 ලෙසය.

කෙසේ වුවත් මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ මෙරට තත්ත්වය තවමත් බරපතළ බවය.

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 මිල දර්ශක අගය 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ ය.

Page 4 of 7