V2025

ආර්ථික

දෙවැනි පිරිපහදුව චීනට දුන්නාම මොකද වෙන්නේ ?

ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.

දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි.

මෙම දැවැන්ත ආයෝජනය හරහා සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ගලා ආවත්, එම මුදලින් වැඩි කොටසක් අදාළ ඉදි කිරීම සඳහා අවශ්‍ය ආනයන ලෙස නැවතත් චීනයටම ආපසු යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් ඉතිරි වේයැයි අපේක්ෂා කළ නොහැකි වුවත්, කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද මෙම ව්‍යාපෘතිය තුළ යම් ප්‍රමාණයක හෝ ශ්‍රී ලාංකික ශ්‍රමයද යොදා ගැනෙන නිසා ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලා ඒමක් සිදු වෙනවා.

අවසාන ප්‍රතිඵලය ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාමක් සිදු වන නිසා මේ හරහා රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායම කෙරෙහිද ධනාත්මක බලපෑමක් සිදු වෙනවා. ඒ වගේම, ආනයන හා අපනයන ඉහළ යාමක්ද සිදු වන අතර ආනයන අපනයන පරතරයේ සුළු හෝ අඩු වීමක්ද සිදු වෙනවා. ඒ වගේම රටේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ තරඟකාරිත්වහිද යම් හෝ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

මහ බැංකුව පොලී අනුපාත අඩු කිරීම : දැන ගියොත් කතරගම !

මහ බැංකුව විසින් තවත් 2%කින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරලා තියෙනවා. මේ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12% දක්වාත් පහත වැටෙනවා.

මහ බැංකුව විසින් මේ විදිහට පොලී අනුපාතික තව දුරටත් අඩු කරයි කියන එක හිතා ගන්න අමාරු වූ දෙයක් නෙමෙයි. වසර මැද වෙද්දී උද්ධමනය විශාල ලෙස අඩු වීමේ සහ ඉන් පසුව පොලී අනුපාතිකද අඩු වීමේ ඉඩකඩ ගැන පසුගිය වසරේ සිටම අප පෙන්වා දී තිබෙනවා. ඉදිරි මාසයේදී උද්ධමනය තවත් අඩු වෙද්දී මේ පොලී අනුපාතිකද තවත් අඩු වෙයි.

ආර්ථිකයට වැළඳෙන රෝග බොහොමයකට හේතු වගේම කළ යුතු ප්‍රතිකාරත් රහස් හෝ ගුරු මුෂ්ඨි නෙමෙයි. කාල පරීක්ෂාව සමත් වූ සම්මත, පිළිගත් දැනුම. ඒ දැනුම පැත්තකට දමලා ගොඩ බෙහෙත් කරන්න හෝ අලුතෙන් ප්‍රතිකාර හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ.

පැහැදිලි ලෙසම සීමාව ඉක්මවූ උද්ධමනය කියන්නේ ප්‍රශ්නයක්. වසර එකහමාරකට පෙර තත්ත්වය කොහොම වුනත්, මේ වෙද්දී ගොඩක් අය උද්ධමනයේ හානි ගැන අත්දැකීමෙන්ම දන්නවා. උද්ධමනය කියන්නේ අහම්බෙන් සිදුවන ස්වභාවික සංසිද්ධියක් නෙමෙයි. මුදල් සැපයුම නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම නිසා සිදු වෙන දෙයක්. ප්‍රතිපත්ති වරදක්. ඒ වරද නිවැරදි කිරීම මගින් උද්ධමනය පාලනය කරන්න පුළුවන්.

නියම බෙහෙත දුන් විට ලෙඩක් සුව වෙනවා. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. පසුගිය වසරේ අප්‍රේල් පමණ සිටම ලංකාවේ උද්ධමන ලෙඩේ හොඳ අතට හැරිලයි තිබුණේ. නමුත්, ලෙඩා සුව වී ඇති බව පැහැදිලිව පෙනෙන්නේ දැනුයි.

උද්ධමන රෝගය වැළඳුනු පසු එයට තිබෙන ප්‍රධානම ප්‍රතිකාරය පොලී අනුපාතික වැඩි කිරීම. තවත් විවිධ ප්‍රතිකාර තිබුණත් මූලිකම ප්‍රතිකාරය මේක. පොලී අනුපාතික පහළින් තියාගෙන උද්ධමනය පාලනය කරන්න බැහැ. හැබැයි පොලී අනුපාතික වලින් උද්ධමනය නිට්ටාවට සනීප කරන්න බැහැ. ලෙඩේ නිට්ටාවට සනීප කරන්නනම් රජයේ අයවැය හිඟය කියන නිදන්ගත රෝගය සුව කරන්න වෙනවා. නැත්නම් උද්ධමනය නැවත නැවත මතු වෙනවා.

අයවැය හිඟය නැති කරන්නම් පළමුව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න වෙනවා. ඒ සඳහා රජයේ ආදායම් වැඩි කරගෙන එම ආදායම් නොඉක්මවන තරමට වියදම් සීමා කරගන්න වෙනවා. මේ හරහා යම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. හැබැයි එහෙම කළාට පස්සෙත් ඒ ඉතිරි වන මුදල පරණ ණය වල පොලිය ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් අයවැය හිඟයක් තව දුරටත් ඉතිරි වෙනවා. ඒ හිඟය පියවන්න ණය ගන්න වෙනවා.

ලංකාවේ ගොඩ ගැසී තිබෙන ණය කන්දේ ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් ගෙවිය යුතු ඉහළ පොලිය අනුව පොලී වියදම් පියවා ගත හැකි තරමේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න එක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක් ඇති වුනේ ඔය තත්ත්වයත් එක්ක.

මේ වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙනවා. මෙය සිදුවෙන්නේ ස්වේච්ඡා පදනමින් නිසා සිදු වන දේ හරියටම බලාගන්න වෙන්නේ මේ මාසය අවසන් වූ පසුවයි. වාණිජ බැංකු වලට හා අනෙකුත් තනි පුද්ගලයින් ඇතුළු ආයෝජකයින්ට ඔවුන්ගේ සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විකල්ප තුනක් ලබා දී තිබෙනවා. මේ කිසිවක් සඳහා අයදුම් නොකළහොත් සිදුවන දෙය පැහැදිලි නැහැ. ඉදිරියේදී ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන්න යද්දීත් ඔය ප්‍රශ්නයම මතු වෙනවා. සාමාන්‍යයෙන් ඔය ණය 100%ක්ම ප්‍රතිව්‍යුහගත කරන්න ලැබෙන්නේ නැහැ.

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් හා අදාළව තත්ත්වය තරමක් වෙනස් වන්නේ ප්‍රධාන විශ්‍රාම පාරිතෝෂික අරමුදල් දෙකක්ම රජයේ භාරයේ තියෙන නිසා. මේ අරමුදල් වල බැඳුම්කර ආයෝජන ප්‍රතිව්‍යුහගත නොකෙරෙන්න ඉඩක් නැති තරම්. එහෙත් ඇතැම් පෞද්ගලික විශ්‍රාම පාරිතෝෂික අරමුදල් ඔවුන්ගේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත නොකරන්න ඉඩ තිබෙනවා. මේ පැත්තෙන් සිදු වන ප්‍රගතිය හරියටම දැනගන්න වෙන්නෙත් මාසයකට පසුවයි. ඔය මාසයක කාලය තුළ විදේශ ණය හා අදාළවත් යම් ප්‍රගතියක් දැකගන්න පුළුවන් විය හැකියි.

මහ බැංකුව සතු රජයේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක හදිස්සියේ වෙන දෙයක් නෙමෙයි. එය සිදුවනු ඇත්තේ නව මහ බැංකු පණත ක්‍රියාත්මක වෙද්දී. මේ පණත ආවට පස්සේ මහ බැංකුව විසින් රජයේ අයවැය හිඟය පියැවීම සඳහා සල්ලි අච්චු ගහන එක නවතිනවා. ඒ හරහා, මහ බැංකුවට උද්ධමනය තමන්ට අවශ්‍ය මට්ටමක තියා ගැනීමට ඉඩකඩ සැලසෙනවා. ඒ නිසා දිගුකාලීනව උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි.

ඔය තත්ත්වය යටතේ රජයට ආදායම් ඉලක්ක වලට යන්න බැරි වුනොත් හෝ වියදම් ඉහළ ගියොත් ණය ගන්න වෙන්නේ වෙළඳපොළෙන්. මහ බැංකුවට එයට ඉඩ සලසමින් පොලී අනුපාතික ඉහළ දමන්න සිදු වෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහළින් තියාගන්නනම් රජයේ අයවැය ඉලක්ක වලට යන්නම වෙනවා.

වාණිජ බැංකු සතු ඩොලර් ණය ප්‍රතිව්‍යුහගත කළාට පස්සේ වාණිජ බැංකු වල විදේශ සංචිත පහළ වැටෙනවා. ඒ අඩුව, හදාගන්න යම් ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මහ බැංකුවේ සංචිත හදාගන්න මහ බැංකුවටත් ඩොලර් අවශ්‍ය වෙනවා. දැනට නොගෙවන විදේශ ණය කොටස් වශයෙන් ගෙවන්න පටන් ගත් විට ඒ වැඩේටත් ඩොලර් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ආනයන සීමා ඉවත් වෙද්දීත් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඔය සියල්ලම එක්ක මැදිකාලීනව ඩොලරයක මිල ඉහළ යනවා මිසක් පහළ යන්නේ නැහැ.

මේ වෙලාවේ ඩොලරයක මිල පහත වැටීම නිසා ඉන්ධන වල සිට ආනයනික භාණ්ඩ බොහොමයක මිල පහත වැටී තිබෙනවා. ඒ හරහාද උද්ධමනය අඩු වීමට දායකත්වයක් ලැබී තිබෙනවා. නමුත් එම බලපෑම තාවකාලික එකක්. ඩොලරයේ මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ මිල නැවත ක්‍රමයෙන් ඉහළ යයි. හැබැයි ඒ හේතුවෙන් උද්ධමන ඉලක්ක වලට යන්න බැරි වෙන්නේ නැහැ.

විණිමය අනුපාතයේ බලපෑම නිසා උද්ධමනය ඉහළ යද්දී වුනත් මහ බැංකුව සතුව තිබෙන ප්‍රතිකාරය පොලී අනුපාතික වැඩි කරන එක. පොලී අනුපාතික වැඩි කරද්දී ණය ඉල්ලුම අඩු වෙලා ආනයන ඉල්ලුම පහළ යනවා. මේ හේතු නිසා ආර්ථිකය ස්ථාවර වුනාට පසුව ඩොලරයක මිල ඉහළ යාම නවතින්නේ හෝ හිතේ හැටියට ණය වෙන්න ඉඩ ලැබෙන පරිදි පොලී අනුපාතික පහළ යන්නේ නැහැ. ඔය දෙකම සුදුසු මට්ටම් වල රැඳෙයි. ඵලදායී කාර්යයක නිරත වන අයෙකුට මේවා ප්‍රශ්න වෙන එකක් නැහැ.

කොහොම වුනත්, දැනට පවතින උද්ධමන ප්‍රවණතා අනුව පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම යම් තරමකින් ඉහළ යන්න ඉඩ දීමේ හැකියාවක් තිබෙනවා වගේම ආර්ථික වර්ධනය සඳහා එය අවශ්‍යයි. මේ වසරේ පළමු කාර්තුවේදී (පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව) ආර්ථිකය 11.5%කින් හැකිළුනා. දැන් දෙවන කාර්තුවත් ඉවරයි. දෙවන කාර්තුවේදීද 5%කට ආසන්න හැකිලීමක් සිදු වී තිබිය හැකියි. නමුත් මේ (තුන්වන) කාර්තුවේදී නැත්නම් ඉදිරි (හතරවන) කාර්තුවේදී ඔය තත්ත්වය වෙනස් වී සුළු හෝ ආර්ථික වර්ධනයක් සිදු වෙන්න ඉඩ තිබෙනවා.

ඉදිරි මාස දෙක තුන තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වුනොත් අමාරුම කාලය ඉවර වෙනවා. නමුත් එයින් අදහස් වන්නේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා ඉවරයි කියන එක නෙමෙයි. මෙහිදී වෙන්නේ වාහනය ගරාජ් එකෙන් ගෙදර ගෙනියනවා වගේ වැඩක්. ඊට පස්සේ නැවත මේ වගේ හදිසි අනතුරක් කර නොගෙන, පාරෙන් පිට නොපැමිණ ගමන යා යුතුයි. රියදුරා පාර දන්න, පාර පේන, එළවන්නත් දන්න රියැදුරෙක්නම් රියැදුරා මාරු වීම හෝ නොවීම ප්‍රශ්නයක් නොවුනත් ගමන් සැලසුම වෙනස් වුනොත්නම් ප්‍රශ්නයක්.

දැන ගියොත් හරි පැත්තට හරවලා කතරගම යන්න පුළුවන්. නොදැන ගියොත් වැරදි පැත්තට හරවලා කලින් පාර වගේ හම්බන්තොට ගිහින් හොම්බෙන් ගියාට පස්සේ ආපහු එන්නත් පුළුවන්. හැබැයි දැන් කලින් තරමටවත් වාහනේ පැට්‍රෝල් නැති නිසා මේ පාර වැරදි පාරේ ගියොත් ආපහු එන්න පැට්‍රෝල් මදි වෙන්න පුළුවන්. මේ දුවන්නේ විදේශ ණයහිමියෝ පිනට ගහල දෙන පැට්‍රෝල් වලින්!

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට !

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අද (27) ඇමරිකානු ඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සති අන්තයට සාපේක්ෂව ඩොලර් 11ක පමණ ඉහළ යාමකි.

පසුගිය මාස 06ක කාලය සැලකූ විට එය ඩොලර් 60ක පමණ වැඩිවීමක් මෙන්ම වසරක් තුළ ඩොලර් 261ක නැත්නම් 15%ක පමණ වැඩිවීමක් ලෙස මෙම තත්ත්වය පිළිබඳව ලෝක වෙළඳ පොළ තුළ දක්වා ඇත.

අමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම සහ අමෙරිකානු මහ බැංකුව පොලී අනුපාත සම්බන්ධයෙන් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම රන් මිල ඉහළයාමට ආසන්නතම හේතුව ලෙසත් එහිදී පෙන්වා දී තිබේ.

ලෝක වෙළෙඳපොළේ රන් මිල මෙන්ම රිදී මිලද අවුන්සයක් ඩොලර් 25ට ආසන්න වූයේ 2%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන අතර ප්ලැටිනම් අවුන්සයක මිල ද ඩොලර් 931.50 දක්වා ඉහළ ගොස් ඇත.

සැම්බියාවට ලැබුණු ණය සහනය !

මේ වන විට සොයා ගත හැකි තොරතුරුවලට අනුව, සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එම රටට ඉතාම වාසිදායක අයුරින් සිදු වී තිබෙනවා. මෙහිදී නාමිකව ණය කපා හැරීමක් (haircut) සිදු වී නැතත්, ණය ආපසු ගෙවන කාලය සාමාන්‍ය අගයක් ලෙස වසර 12කින් පමණ කල් දැමීම හා පොලී අනුපාතික දැඩි ලෙස සීමා කිරීම හරහා 40%ක පමණ ණය කප්පාදුවකට සමාන කළ හැකි වාසියක් සැම්බියාවට ලැබී තිබෙනවා. මෙම තොරතුරු නිල තොරතුරු නොවන බවද සටහන් කළ යුතුයි. නිල වශයෙන් මෙම තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව, සැම්බියාවට සිය විදේශ ණය ආපසු ගෙවීම සඳහා වසර 20ක කාලයක් ලැබෙනවා. ඒ අනුව, ණය ගෙවා අවසන් කරන්නේ 2043 වසරේදී. මෙම වසර 20න් 14ක්ම, එනම් 2037 වසර දක්වා සැම්බියාව විසින් ගෙවීමට නියමිතව ඇත්තේ 1%ක පොලියක් පමණයි. ඉන් පසුව, ගෙවිය යුතු පොලිය 2.5% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සැම්බියාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයෙන් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ සාමාන්‍ය පොලිය 3.9%ක් පමණ බව සලකා බලද්දී මෙය විශාල පොලී කප්පාදුවක් ලෙස සැලකිය හැකියි.

ඉදිරි වසර තුනක කාලය තුළ, එනම් 2026දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩ සටහන අවසන් වන තුරු, සැම්බියාව විසින් විදේශ ණය ආපසු ගෙවීමක් සිදු වන්නේ නැහැ. එම කාලය තුළ ආපසු ගෙවන්නේ 1%ක පොලී මුදලක් පමණයි. ඉන්පසු, 2035 දක්වා වසර දොළහක් වසරකට 0.5% බැගින් ණය ආපසු ගෙවීම සිදු වනවා. එහෙත් මෙහිදී ගෙවී අවසන් වන්නේ ප්‍රතිව්‍යුහකරණයට ලක්වන ණය ප්‍රමාණයෙන් 6%ක් පමණක් බැවින්, ඉතිරි ණය ප්‍රමාණය 2036-2043 වසර අට තුළ ගෙවන්නට සිදු වන බවකුයි පෙනී යන්නේ.

chat

සාමාන්‍ය පොලී අනුපාතිකය 5% සේ සලකා වට්ටම් කළ විට ශුද්ධ වත්මන් අගය (NPV) පදනම මත සැම්බියාවේ ණය බර 40%කින් පමණ පහළ යනවා. කෙසේ වුවද, යම් හෙයකින් සැම්බියාවේ ආර්ථිකය අපේක්ෂා කරන මට්ටමට වඩා හොඳින් වර්ධනය වී ණය ආපසු ගෙවීමේ හැකියාව ඉහළ ගියහොත් ඉහත ගනුදෙනුව ණයහිමියන්ට වඩා වඩා වාසිදායක ලෙස වෙනස් වෙනවා. එහිදී පොලී අනුපාතික 4%ක උපරිමයක් දක්වා ඉහළ යනවා.

ඉහත එකඟතාවයන් ඇති කර ගෙන තිබෙන්නේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟයි. සැම්බියාවේ විදේශ බැඳුම්කරහිමියන් ඇතුළු වාණිජ ණයහිමියන්ටද මෙම පදනම අනුව තමන්ගේ ප්‍රතිලාභ ලබා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා ඉදිරි කාලයේදී ඔවුන්ව එකඟ කරගත යුතුයි.

සැම්බියාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "පොදු රාමුව (common framework)" යටතේ. මේ යටතේ මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කළ, ලෝකයේ දිළිඳුම රටක් වන, චාඩ් රාජ්‍යයට ඒ සඳහා මාස දොළහක කාලයක් ගත වූ අතර සැම්බියාව මාස දහයක කාලයක් තුළ මේ කාර්යය අවසන් කළා. ඝානාවේ හා ඉතියෝපියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ද පොදු රාමුව යටතේ සලකා බැලෙන නමුත් වඩා ඉහළ ආදායම් තලයක සිටින ලංකාවට පොදු රාමුව අදාළ වෙන්නේ නැහැ.

පොදු රාමුව අදාළ නොවන නිසා ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඉහත රටවල් තරමටම දැඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් ඉහත රටවල් තරමටම විශාල ණය සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අඩු කාලයක් තුළ අවසන් කර ගැනීමේ හැකියාව තිබෙනවා.

ඉහත හැම රටකම මෙන් ණය තිරසාරත්වය නැති වීමට ප්‍රධාන හේතුව සේ හඳුනාගෙන තිබෙන්නේ රාජ්‍ය ආදායම රටේ ආදායමට අනුපාතිකව ඉහළ මට්ටමක තිබුණත්, රටේ ආදායම පහළ මට්ටමක තිබීම හේතුවෙන් ණය වාරික හා පොලී ගෙවීමට තරම් රජයේ ආදායම ප්‍රමාණවත් නොවීමයි. එම රටවලින් වෙනස්ව ලංකාවේ මූලික ප්‍රශ්නය රටේ ආදායම ණය ගෙවිය හැකි මට්ටමක තිබියදී එම ආදායමෙන් රජය විසින් එකතු කර ගන්නා කොටස ප්‍රමාණවත් නොවීමයි. ඒ නිසා, ඉහත රටවල් සඳහා සකස් කර ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ වලට සාපේක්ෂව, ලංකාව සඳහා වන වැඩපිළිවෙළෙහි වැඩි අවධාරණයක් සිදු කර තිබෙන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගෙන හැකි ඉක්මණින් ණය ආපසු ගෙවීම කෙරෙහියි.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

උද්ධමනය ඉහළට !

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 1%ක් දක්වා වැඩිවී ඇත.

මේ බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.

උද්ධමනයේ සිදුව ඇති මෙම වෙනස සැප්තැම්බර් මාසයට සාපේක්ෂව වැඩි වීමකි.

2023 සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය සඳහන් වූයේ 0.8%ක් ලෙස ටය.

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?

 
මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා.
 
ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල් අමාත්‍යංශය විසින් රජයේ ණය ප්‍රමාණ පිළිබඳ "අලුත්ම" තත්ත්වය ටික දවසකට කලින් වාර්තා කළා. අලුත්ම නොකියා "අලුත්ම" කිවුවේ මේ තියෙන්නෙත් මාර්තු 31 පැවති තත්ත්වය නිසා. මීට කලින් "අලුත්ම" තත්ත්වය වුනේ පෙර වසර අවසානයේදී පැවති තත්ත්වය. 
 
පහත වගුවේ විස්තරාත්මකව පෙන්වා ඇති පරිදි, පෙර වසර අවසානයේදී ඩොලර් මිලියන 84,703ක් වූ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය මාර්තු අවසානය වෙද්දී ඩොලර් මිලියන 91,561 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 6,858ක වැඩි වීමක්. ඩොලර් බිලියන හතකට ආසන්නයි.
sammary
 
ඒ කියන්නේ රජය විසින් ඔය මාස තුනට අලුතෙන් ඩොලර් බිලියන හතක් පමණ ණය අරගෙනද?
 
පළමුව, මෙහි තිබෙන්නේ සමස්ත රාජ්‍ය අංශයේ ණය. මධ්‍යම රජයේ ණය වගේම මහ බැංකුවේ සහ රාජ්‍ය සංස්ථා වල ණයත් මෙම ගණනට ඇතුළත්. දෙවනුව, මේ ණය වලට විදේශ ණය මෙන්ම දේශීය ණයද ඇතුළත්. අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශ ණයහිමියන් වෙනුවෙන් නිසා රුපියල් ණයද ඇමරිකන් ඩොලර් වලින් පෙන්වා තිබෙනවා. 
 
මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය කොටස පමණක් වෙන් කර ගත්තොත් ඩොලර් මිලියන 44,243 සිට ඩොලර් මිලියන 44,203 දක්වා ඩොලර් මිලියන 200ක අඩු වීමක් පෙනෙනවා. ඒ කියන්නේ ඔය කාලය ඇතුළත ලබාගත් යම් විදේශ ණය ප්‍රමාණයක් ඇත්නම් එම මුළු ප්‍රමාණය සහ තවත් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයක් විදේශ ණය ආපසු ගෙවීම සඳහා යොදවා තිබෙනවා. 
 
මේ විදිහට ආපසු ගෙවා තියෙන්නේ, බොහෝ දුරට, ඔය කාලය තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර. ආපසු ගෙවා තිබෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 208ක්. ඩොලර් ණයට නොගෙන ඩොලර් ණය ගෙවනවා කියන්නේ රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන ඩොලර් වලින් ණය ගෙවනවා කියන එකයි. සුළුවෙන් හෝ ණය ආපසු ගෙවීමට අමතරව ඔය කාලය තුළ විදේශ ණය වෙනුවෙන් පොලී ලෙසද සැලකිය යුතු මුදලක් ගෙවන්න ඇති.
 
රුපියල් නොවන විදේශ ණය සියල්ල ඇමරිකන් ඩොලර් වලින් ගත් ණය නෙමෙයි. යුරෝ, යෙන්, යුවාන් ආදී වෙනත් මුදල් වලින් ගත් ණය ඔය ගොඩේ තිබෙනවා. විණිමය අනුපාතය වෙනස් වෙද්දී එම ණය වල ඩොලර් අගය වෙනස් වෙනවා. මාස තුන ඇතුළත පොඩි පොඩි අඩුවැඩිවීම් වලට හේතුව මෙයයි. උදාහරණයක් විදිහට මහ බැංකුවේ මුදල් හුවමාරු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 25කින් අඩු වී තිබෙන්නේ යුවානයේ අගය පිරිහීම නිසා මිසක් එම මුදල ආපසු ගෙවූ නිසා නෙමෙයි. ඔය වගේ වෙනස්වීම් දෙපැත්තටම වෙන්න පුළුවන්.
 
ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 6,858කින් වැඩි වී තියෙන්නේ විදේශ ණය මිලියන 200කින් අඩු වෙද්දී දේශීය ණය වල ඩොලර් අගය රුපියල් මිලියන 7,058කින් ඉහළ ගොස් ඇති නිසා. රුපියල් ණය වල ඩොලර් අගය මාස තුනකදී මිලියන 38,682 සිට මිලියන 45,713 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 
 
මේ වැඩිවීමට ප්‍රධානම හේතුව මාර්තු අවසානයේදී ඩොලරයක මිල විශාල ලෙස පහත වැටීමයි. පෙර වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 363.11ක්. මාර්තු 31 වන විට ඩොලරයක මිල රුපියල් 327.29 දක්වා පහත වැටිලා. ඒ අනුව, පෙර වසර අවසන් වෙද්දී අරගෙන තිබුණු රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 14,046ක් (=38,682*363.11). එම රුපියල් ණය ප්‍රමාණයේම ඩොලර් අගය මාර්තු අවසාන වෙද්දී ඩොලර් වලින් මිලියන 42,916 දක්වා ඉහළ ගොස් තිබෙනවා (=14,046/327.29). ඒ කියන්නේ ඩොලර් වලින් බැලූ විට මිලියන 4,234ක වැඩි වීමක්. 
 
ඉහත කොටස ඉවත් කළාට පසුව, ඉතිරි ඩොලර් මිලියන 2,824 රුපියල් ණය වල ඇත්තම වැඩි වීම. එම ප්‍රමාණය රුපියල් වලින් බිලියන 924ක් පමණ. වසරේ පළමු මාස තුන ඇතුළත භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 4,126 සිට රුපියල් බිලියන 4,636 දක්වා රුපියල් බිලියන 510කින් ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 8,722 සිට රුපියල් බිලියන 9,131 දක්වා රුපියල් බිලියන 409කින් ඉහළ ගොස් තිබෙනවා. දෙවර්ගයේම වැඩිවීම රුපියල් බිලියන 919ක්. ඉහත ඇස්තමේන්තුවට ආසන්නව සමානයි.
 
පෙර වසර අවසානයේදී වූ රුපියල් බිලියන 14,046ක ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 919කින් ඉහළ යනවා කියන්නේ මාස තුනකදී 6.5%ක වැඩි වීමක්. ඒ කියන්නේ 26%ක පමණ වාර්ෂික පොලියක් එකතු වීමක් වැනි දෙයක්. ඔය කාලයේ පොලී අනුපාතික තිබුණේ 26%කට වඩා වැඩි හෝ ආසන්න මට්ටමක. පොලී අනුපාතික 26% මට්ටමේ තියෙද්දී තියෙන භාණ්ඩාගාර බිල්පත් ටිකම කල් පිරෙද්දී නැවත අලුත් කළ විට, අලුතෙන් සතයක්වත් ණය ගත්තේ නැතත්, මාස තුනක කාලයකදී ණය ප්‍රමාණයේ 6.5%ක වැඩි වීමක් වෙනවා. 
 
පසුගිය සතිය වන විට (ජූනි 8 ) භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 5,192 දක්වා ඉහළ ගිහින්. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,032 දක්වා අඩු වෙලා. ඒ  කියන්නේ තවත් රුපියල් බිලියන 457ක පමණ වැඩි වීමක්. ජූනි 8 වන විට ඩොලරයක මිල රුපියල් 290.97 දක්වා පහත වැටී තිබුණා. ඒ නිසා, පසුගිය සතියේ ගණන් බැලුවානම් ඔය ණය ප්‍රමාණය තවත් ඩොලර් බිලියන හතකටත් වඩා වැඩියෙන් වැඩි වී ඩොලර් බිලියන 99ක් පමණ වෙනවා. නමුත් දැන් නැවතත් ඩොලරයක මිල ටිකක් ඉහළ ගිහින් නිසා පොඩ්ඩක් අඩු වෙලා ඇති. 
 
ඩොලරයක මිල ඉහළ යන තරමට රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය පහත වැටෙනවා. ඩොලරයක මිල අඩු වෙද්දී ඔය අගය ඉහළ යනවා. මේක වෙන්නේ කවුරුවත් ණය අරගෙන ගිලින නිසා නෙමෙයි. 
 
ඉහත වගුව අනුව පෙර වසර අවසානයේදී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 84,703ක්නේ. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 363.11) රුපියල් කළොත් රුපියල් බිලියන 3,076ක්. මාර්තු අවසාන වෙද්දී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 91,561ක්. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 327.29) රුපියල් කළොත් රුපියල් බිලියන 2,997ක්. ඒ කියන්නේ මාස තුනක් ඇතුළත රුපියල් බිලියන 79කින් ණය අඩු වෙලා!
 
දැන් විණිමය අනුපාතය අනුව ගණනය කළොත් රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් තවත් අඩු වෙලා ඇති. හැබැයි ඔය විදිහට ණය අඩු වී ඇති බව පෙන්වන එකත්, ඩොලර් බිලියන නවයක් ණය අරගෙන කියනවා වගේම වැරදි අර්ථකථනය කිරීමක් පමණයි. කාලයක් ලංකාවේ ණය වැඩි වීම නොපෙන්වා හිටියේ ඔය ක්‍රමයට. 
#ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි 

රාජ්‍ය සේවයේ වැටුප් : කියවන්න වටිනා ලිපියක් !

කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි.

මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ.

2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:
රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 956.2
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 309.1
මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 40.2
එකතුව - රුපියල් බිලියන 1,305.5
වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,751.1
රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 74.6%

මේ ඊට පෙර වසරේ (2021) තත්ත්වය.

2021 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:
රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 845.7
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 269.8
මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 37.9
එකතුව - රුපියල් බිලියන 1,153.4
වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,298.0
රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 88.9%

මේ අනුව, බදු ආදායම් පහළ ගොස් තිබුණු 2021 වසරේදී රජයේ සමස්ත බදු ආදායමෙන් 88.9%ක්ම වැය වී තිබුණේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. 2022දී රජය විසින් බදු ආදායම් වැඩි කර ගත් අනුපාතයෙන් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහළ නොගිය බැවින් මෙම අනුපාතය 74.6% දක්වා අඩු වී තිබෙනවා.

මෙම (2023) වසරේදී ඉහත අනුපාතය තවත් අඩු වී තිබිය යුතුයි. පහත තිබෙන්නේ 2023 පළමු මාස හතර හා අදාළව ප්‍රකාශිත තොරතුරු.

2022 අප්‍රේල් දක්වා රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:
රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 313.3
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 105.9
මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 13.8
එකතුව - රුපියල් බිලියන 433.0
වසරේ පළමු මාස හතරේ බදු ආදායම - රුපියල් බිලියන 742.6
රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 58.3%

විශ්‍රාම වැටුප් හා මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් කොටස අත හැර පසුගිය (2022) වසරේදී සේවයේ නිරතව සිටි ආරක්ෂක හමුදා නිලධාරීන්ද ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැටුප් ලෙස ගෙවූ රුපියල් බිලියන 956.2ක මුදල සැලකුවහොත් එම මුදල බෙදී ගොස් ඇත්තේ පහත පරිදියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 223.0 (23.3%)
පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 96.9 (10.1%)
ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - නොදනී (ආසන්නව රුපියල් බිලියන 250ක් පමණ විය යුතුයි)
සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 50.1 (5.2%)
වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - රුපියල් බිලියන 166.5 (17.4%)

මෙම (2023) වසරේ පළමු මාස හතර හා අදාළව පහත තොරතුරු ප්‍රකාශයට පත්ව තිබෙනවා.
ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - රුපියල් බිලියන 83.9 (27.7%)
සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 16.8 (5.5%)

මේ අනුව, රාජ්‍ය සේවක වැටුප් වියදම් සංයුතිය පහත පෙන්වා ඇති පරිදි සේ සැලකිය හැකියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 23.3%
පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 10.1%
ජාතික හා මහජන ආරක්ෂාව හා අදාළ එකතුව - 33.4%

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - 27.7%
සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - 5.5%
අධ්‍යාපනය හා අදාළ එකතුව - 33.2%

වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - 17.4%

අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආරක්ෂාව හා අදාළ එකතුව - 84.0%
අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් - 16.0%

වැඩි තොරතුරු නැති නිසා, විශ්‍රාම වැටුප් වියදම් සංයුතියද මීට ආසන්නව සමාන සේ සැලකිය හැකියි. දළ වශයෙන් ගත්තොත් වැටුප් වියදමෙන් තුනෙන් එකක් ආරක්ෂාව, තවත් තුනෙන් එකක් අධ්‍යාපනය, හයෙන් එකක් සෞඛ්‍යය සහ හයෙන් එකක් අනෙකුත් සියළුම රාජ්‍ය සේවකයින් ලෙස සලකන්න පුළුවන්. සියලුම සංඛ්‍යාලේඛණ වල මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශය. කැමති කෙනෙක් කැමති විදිහකට විග්‍රහ කරගන්න.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

ඩොලරයේ අගය ඉහළට !

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද (13)දිනයේ තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.91 ක් හා විකුණුම් මිල රුපියල් 309.22ක් ලෙස දැක්වින.

ඊයේ (12) දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 290.06ක් හා විකුණුම් මිල රුපියල් 303.73ක් විය.

සතොසේ අත්‍යාවශ්‍ය භාණ්ඩ 4ක මිල අඩු වෙයි

ලංකා සතොස ආයතනයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ.

එම ආයතනය නිවේදනය කළේ සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල්වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි.

ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රු. 6කින්, කඩල කිලෝවක මිල රුපියල් 6කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින්, රතු කැකුළු කිලෝවක් රුපියල් 3කින් අඩු කර තිබේ.

එම භාණ්ඩ වල නව මිල ගණන් පහතින්.

සම්බා සහල් කිලෝවක මිල රුපියල් 222යි.

කඩල කිලෝවක මිල රුපියල් රුපියල් 549යි

පරිප්පු කිලෝවක මිල රුපියල් 295යි.

රතු කැකුළු කිලෝවක් රුපියල් 169යි.

මෙහෙ වැඩියි කියලා යන අය දැනගන්න : ඇමරිකාවේ බදු කපන හැටි !

පහත රූප සටහනේ තිබෙන්නේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ආදායම් හා වියදම්. සාමාන්‍යයෙන් ප්‍රාන්ත රජය ආදායම් හා වියදම් තුලනය කර ගන්නවා.

ආර්ථික අවපාතයක් හෝ වෙනත් ආපදාවක් ඇති වූ විටෙක අනපේක්ෂිත ලෙස බදු ආදායම් පහළ ගොස් වියදම් තරමට ආදායම් එකතු කර ගන්න බැරි වෙනවා. 2010 හා 2020 එවැනි වසර දෙකක්.

මේ ආකාරයෙන් ආදායම ඉක්මවා වියදම් කරන්නට සිදු වූ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපදා අරමුදලක් නඩත්තු කරනවා. සාමාන්‍ය වසරකදී මෙම ආපදා අරමුදලට බැර කෙරෙන මුදල් සටහන් වන්නේද වියදම් ලෙසයි. ඊට අමතරව අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් සඳහා වන අරමුදල් දෙකක වෙනම සංචිත පවත්වා ගැනෙනවා. ප්‍රස්ථාරයේ බොහෝ වසර වලදී දැකිය හැකි අයවැය අතිරික්තය යනු ඉහත අරමුදල් තුනටම මුදල් වෙන් කර අනෙකුත් සියලු වියදම් දැරීමෙන් පසු අතිරික්තයයි. එම අතිරික්තය එකතු වන්නේ පොදු සංචිත අරමුදලේ.

ප්‍රාන්ත රජයේ ඉලක්කය වන්නේ වාර්ෂික ආදායමෙන් 10%-12% පරාසය තුල සංචිත පවත්වා ගැනීමයි. යම් හේතුවකින් ඉදිරි වසරක ආදායම් අනපේක්ෂිත ලෙස පහළ ගියහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙවැනි මට්ටමක සංචිත පවත්වා ගැනීම ප්‍රමාණවත්.

පසුගිය දෙවසර තුළ පැවති ඉහළ උද්ධමනය නිසා ඉන්දියානා ප්‍රාන්ත රජයේ ආදායම් අනපේක්ෂිත ලෙස ඉහළ ගියා. ආදායමෙන් කොටසක් දෙවරකට බදු ගෙවන්නන් අතර බෙදා දීමෙන් පසුවද පොදු සංචිත ප්‍රමාණය ඉලක්ක මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා (දෙවන රූපය බලන්න). මේ අයුරින් ඕනෑවට වඩා සංචිත එකතු වීම නිසා අතිරික්ත සංචිත අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. මෙය කරන්න යන්නේ වියදම් වැඩි කිරීම මගින් නෙමෙයි.

ප්‍රශ්නයට විසඳුමක් ලෙස ප්‍රාන්ත රජය විසින් දැනට 3.15%ක් වන ප්‍රාන්ත ආදායම් බදු අනුපාතිකය 2024දී 3.05% දක්වා සහ ඉන්පසු වසරකට 0.05% බැගින් අඩු කර 2027 වන විට 2.90% දක්වා අඩු කිරීමට යෝජිතයි.

FB IMG 1686243365897

FB IMG 1686243368939

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි


බොර තෙල් මිල ගැන අසුබ පුවතක් !

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද තත්ත්වය හමුවේ ලෝක බොර තෙල් මිලෙහි බරපතළ ඉහළයාමක් සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර ඒ අනුව බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 91.20ක් බවට පත්විය.

කෙසේ වුවත් අද (16) දිනයේ බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුව නොමැති නමුත් මේ වන විට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ මතුව ඇති යුද තත්ත්වය වෙනත් ප්‍රදේශ සහ තවත් පාර්ශ්වයන් සම්බන්ධවීමක් සිදුවුවහොත් එය ලෝක වෙළඳ පොළ තුළ බොර තෙල් මිල දැඩි මිල ඉහළයාමක් බවත් එම විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

උද්ධමනය පහළට !

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී සියයට 25.2 ක් දක්වා අඩු වී ඇත.

මේ බව සඳහන් කරමින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර ඇත.

ඊට අනුව මැයි මස උද්ධමනය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.1 කින් පහළ ගොස් ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5 දක්වා පහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 9.1 ක පහළ යාමකි.

මැයි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27.0 ක් වන අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.6 ක පහළ යාමකි.

වාහන හැර සියලු ආනයන සීමා ඉවතට !

වාහන හැර අනෙක් සියළුම ආනයන සීමා කර තිබූ භාණ්ඩ ආනයන සීමා අද (09) සිට ඉවත් කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම පියවර ගනුලැබූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය අද දින නිකුත් කර ඇති අතර ඊට අනුව මෙතෙක් ආනයන සීමා කර තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කර ඇත.

ලබන සතියේ ආර්ථිකයට මොනවා වෙයිද?

ලබන සතියේ මොනවා වෙයිද?

රටේ ආර්ථිකය හා අදාළ වැදගත් ප්‍රතිපත්ති තීරණ කිහිපයක්ම ලබන සතිය තුළ ගැනීමට යම් ඉඩක් තිබෙනවා. හරියටම කියනවානම් ආනයන පාලන සීමාවන් ඉවත් කිරීම හෝ එය කරන ආකාරය දැනුම් දීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීම හා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම යන තුනෙනේ එකක් හෝ වැඩි ගණනක් ඉදිරි සතිය මැද වන විට සිදු විය හැකියි.

ලබන සතිය වැදගත් ඇයි?

ලබන සතිය තුළ සිදුවන සුවිශේෂී දෙය මැයි මාසය හා අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් වීමයි. මේ අනුව, උද්ධමනය 25% ආසන්න මට්ටමකට පහත වැටී තිබීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. තවත් මාසයකට පසුව මෙම අගය 12% ආසන්න මට්ටමකට පහත වැටිය හැකි ඇති අතර රටේ ජනතාව හා වෙළඳපොළ කෙරෙහි වැඩිම බලපෑමක් කෙරෙනු ඇත්තේ උද්ධමනය එම මට්ටමට පහත වැටීම බැවින් ඉහත සඳහන් වැදගත් තීරණ ගැනීමට වැඩිම ඉඩක් තිබෙන්නේ තවත් සති පහකට පසුව වුවත්, එම තීරණ වලින් එකක් හෝ කිහිපයක් ඉදිරි සතිය තුළ ගනු ලැබීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි.

පොලී අනුපාතික යම් ඉහළ මට්ටමක තිබුණත් පසුගිය කාලය මුළුල්ලේම පොලී අනුපාතික පැවතුනේ උද්ධමන අගයට වඩා පහළිනුයි. ඒ කියන්නේ මූර්ත පොලී අනුපාතික තිබුණේ සෘණ පැත්තේ. ඉදිරි සතියේදී මෙම තත්ත්වයේ යම් වෙනසක් වෙනවා. ඒ නිසා, මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සංකේතාත්මක අඩු කිරීමක් (1%කින් හෝ 0.5%කින්) කිරීමට යම් ඉඩක් තිබෙනවා.

ඩොලරයක ගැනුම් මිල මේ වන විට පැහැදිලි ලෙසම රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. පවතින තත්ත්වයන් තුළ මේ සමතුලිතතාව ආපසු හැරවී යාමේ ලොකු ඉඩක් පෙනෙන්න නැහැ. අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව අනුව විණිමය අනුපාතය හා අදාළ සියළු සීමාවන් ක්‍රමිකව එකින් එක ඉවත් කිරීම සඳහා වසරක කාලයක් තිබෙන අතර (මාර්තු සිට) එය කරන ආකාරය ජූනි අවසානයට පෙර දැනුම් දිය යුතුයි. මේ සඳහාද තවත් මාසයක කාලයක් තිබුණත් විණිමය වෙළඳපොළෙහි පවතින ප්‍රවණතා අනුව මේ මාසය අවසානයේදී යම් ලිහිල් කිරීම් ප්‍රකාශයට පත් වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි.

විණිමය වෙළඳපොළ සීමා සියල්ල ඉවත් කිරීමෙන් පසුවද ඩොලරයක මිල ස්ථාවරව තබා ගත හැකි තත්ත්වයක් දැනටමත් ඇති වී තිබුණත්, මෙම සමතුලිතතාවය තනිකරම මෙන් රඳා පවතින්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ලබා ගැනීමට අපේක්ෂිත සහනය මතයි. එම කටයුත්ත අවසන් වන තුරු කිසිවකුට නිදහසේ පැත්තකට හැරී නිදාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසියක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරලියට එන්නට (දැනටමත් පැමිණ තිබීමට) සැලකිය යුතු ඉඩක් තිබෙනවා. මේ කාරණයේදී පසුගිය සතියේ ඩොලර් බිලියන තුනක IMF වැඩසටහනකට ගිය, මේ වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කටයුතු කරමින් සිටින ඝානාව දෙස බැලිය හැකියි. එක් එක් රටේ තත්ත්වය සුවිශේෂී වුවත්, ඝානාවේ තත්ත්වය සෑහෙන තරමකින් ලංකාවේ තත්ත්වයට සමානයි.

ඝානාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටින්නේ සාර්ථක ලෙස දේශීය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමෙන් පසුවයි. දෙරට විදේශ ණයහිමියන් බොහෝ දුරට එකම කණ්ඩායමක් නිසා ඝානාව කළ දේ ලංකාවට කළ නොහැක්කේ ඇයි කියා අහන්නට සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

ඝානාව බිල්පත් ප්‍රතිව්‍යුහගත කළේ නැහැ. එහෙත්, බැඳුම්කර වලින් 85%ක්ම ස්වේච්ඡා පදනම මත ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. මෙහිදී මුල් මුදල කප්පාදු කිරීමක් (හෙයාකට්) සිදු වී නැති අතර කල් පිරීමේ කාලය දිගු කිරීම හා කූපන් පොලී සීමා කිරීම මගින් අවශ්‍ය ඉලක්කයට ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් ලබන සතියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළත් ඒ හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික අඩු නොවෙන්න පුළුවන්. ඒ, බැංකු පද්ධතිය තුළ විශාල අතිරික්ත ද්‍රවශීලතාවක් නොමැති නිසා. සාමාන්‍ය අවස්ථාවකදී මෙන් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සමාන්තරව බැංකු පද්ධතියට ද්‍රවශීලතාව සැපයීම සඳහා මහ බැංකුවට මේ වෙලාවේ විශාල අවකාශයක් නැහැ. අනෙක් පැත්තෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමටද සුරැකුම්පත් ආයෝජකයින් මුහුණ දෙනවා.

මෙය එක්තරා ආකාරයක ග්‍රිඩ්ලොක් තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම පවතින තුරු පොලී අනුපාතික අඩු වෙන්නේ නැහැ. පොලී අනුපාතික අඩු වන තුරු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම තිබෙනවා. මේ තත්ත්වය වෙනස් විය හැක්කේ බාහිර වෙනසකින් පමණයි. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළ පමණින්, මේ මොහොතේ පවතින තත්ත්වයන් අනුව, මේ අවශ්‍ය වෙනස සිදු වෙන්නේ නැහැ.

මේ තත්ත්වය වෙනස් විය හැකි එක් ක්‍රමයක් වන්නේ රජයට සැලකිය යුතු විදේශ ණයක් ලැබී දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය පහත වැටීමයි. එවැන්නක් සිදු වුවහොත් රජයේ දේශීය ණය සඳහා ඉල්ලුම අඩු වී පොලී අනුපාතික පහත වැටෙනවා. එසේ නැත්නම් රජයට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය නිවේදනය කරන්නට සිදු වෙනවා. ඝානා රජය විසින් ඔවුන්ගේ භාණ්ඩාගාර බැඳුම්කර වලින් 85%ක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ඉතිරි 15% සඳහා පොලී සහ මුල් මුදල් පිළිවෙලට ගෙවාගෙන යනවා.

මාර්තු මාසය වන විට පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව පෞද්ගලික අංශයට දෙන ණය 5.1%කින් පහත වැටී තිබුණා. විශේෂයෙන්ම විදේශ බැංකු ඒකක වලින් ලබා දෙන ණය 20.6%කින් අඩු වී තිබුණා. මෙම හැකිලීම් මේ වන විට මීටත් වඩා වැඩි විය යුතුයි. පසුගිය සතියේ ආනයන සඳහා ලබා දෙන ණය පිළිබඳ සීමාවන් ලිහිල් කිරීම නිසා ඉහත තත්ත්වයේ යම් ක්‍රමික වෙනසක් සිදු වීමට නියමිත වුවත් එම වෙනස වැඩි වශයෙන් බලපානු ඇත්තේ විණිමය අනුපාතිකයට මිස පොලී අනුපාතිකවලට නෙමෙයි.

මේ වන විට ඉල්ලුම් පීඩන විශාල ලෙස අඩු වී ඇති තත්ත්වය තුළ පුළුල් මුදල් සැපයුම, විශේෂයෙන්ම පෞද්ගලික අංශයට ලබා දෙන ණය, යම් තරමකින් වර්ධනය වෙන්නට ඉඩ හැරීමේ ලොකු වැරැද්දක් නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන්නේත් නැතිව, වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි කර පොලී අනුපාතික පහළ දමාගත හැකි එක් ක්‍රමයක් වන්නේ සංචිත අනුපාතය අඩු කිරීමයි.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

දේශීය ණය ප්‍රශස්තකරණය මුළුමනින්ම අවසන්!

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩ පිළිවෙළෙහි තෙවන හා අවසන් අදියර ලෙස මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් හා අත්තිකාරම් ණය වෙනුවට දිගුකාලීන රාජ්‍ය සුරැකුම්පත් ලබා දීම මේ වන විට අවසන් වී තිබෙනවා. මේ යටතේ වර්ග 10කින් රුපියල් බිලියන 2,492.3ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් මහ බැංකුව වෙත ලබා දී ඇති අතර එම බැඳුම්කර 2029 සිට 2038 දක්වා එක් එක් වසර තුළ කල් පිරෙනවා.

මීට අමතරව, මේ වසරේ කල් පිරෙන රුපියල් බිලියන 220.8ක තවත් භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙනුවට ඉදිරි වසරේදී කල් පිරෙන බිල්පත් ලබා දී ඇති අතර එම බිල්පත් කල් පිරීමේදී ලැබෙන ආදායම සංචිත තර කර ගැනීම සඳහා ඩොලර් මිල දී ගැනීමට යෙදවීම සැලසුම විය හැකියි.

මේ හා සමගම රජයට අලුතෙන් ණය ගැනීම සඳහා වන අවශ්‍යතාවය විශාල ලෙස පහළ යනවා. එය ඉක්මණින්ම පොලී අනුපාතික කෙරෙහි යම් සාධනීය බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. අද දිනයේ ප්‍රකාශයට පත් කෙරුණු ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු අගෝස්තු මාසයේ උද්ධමනය 2.1% දක්වා පහත වැටී ඇති අතර එයද මේ සඳහා උපකාරී වනු ඇතැයි සිතිය හැකියි.

කෙසේ වුවද, රටේ ආර්ථිකය නැවත නිසි මාර්ගයට අවතීර්ණ කර ගැනීම සඳහා අවශ්‍යම දෙය වන විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් අවසන් වී නැහැ. එය අවසන් වන තුරු සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් තව දුරටත් ඉතිරි වෙනවා.

මේ මාසයේදී උද්ධමනය තව දුරටත් පහත වැටෙනු ඇති අතර ඉන් පසුව උද්ධමන ප්‍රවණතාව වෙනස් වී ක්‍රමයෙන් ආපසු හැරීමට නියමිතයි. දැනට උද්ධමනය පවතින්නේ දිගුකාලීනව පැවතිය හැකි මට්ටමට වඩා පහළ මට්ටමකයි. එහෙත් පොලී අනුපාතික දැනට පවතින්නේ දිගුකාලීනව පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ මට්ටමකයි.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

සීනි මිල ඉහළට : තිරිඟු පිටි බදු සහනයක් ඉවතට !

පිටකොටුව තොග වෙළෙදපොලෙ සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 240.00 දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවන් පවසයි .

ලෝක වෙළඳ පොලේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා වැඩි වීම නිසා සීනි තොග මිල මෙසේ ඉහළ යාමට හේතුව බවත් ඔවුන් පවසයි .

පසුගිය සමයේ සීනි කිලෝවක තොග මිල වූයේ රුපියල් 190.00 ක් ලෙසිනි.

බදු සහනය ඉවතට : පිටි මිල ඉහළට ?

මේ අතර තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

බදු සහනය ඉවත් කෙරුණුද පිටි මිලෙහි කිසිදු වැඩිවීමක් සිදුනොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර සිටියේ අද (07) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

"තිරිඟු පිටිවලට රුපියල් 3ක රේගු බද්දෙන් සහනයක් ලබාදීලා තිබුණා. අපි නැවත පැනවේවා ඒ රුපියල් 3. ඒකේ ප්‍රධානතම හේතුව අපේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශකය අපේ රටේ වී ගොවියා ආරක්ෂා කිරීමට විශල වගකීමක් තියෙනවා. වී ගොවීන්ගෙන් 90%ක්ම යැපුම් මට්ටමේ ගොවියෝ ඒ නිසා ඔහුන්ව ආරක්ෂා කරන්න ඕනේ. ඔවුන්ට සාධාරණ මිලක් ලබාදෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපිට සිදුවෙන්නේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනයේ මිල හැම විටම යම් තැනක කළමනාකරණ කරගන්න. ඒ අවශ්‍යතාවය නිසා තමයි තිරිඟු පිට සඳහා තිබුණු රේගු බදු නිදහස රුපියල් 3 අපි ඉවත් කළේ. ඒ අනුව තිරිඟු පිටි සඳහා වූ රුපියල් 3ක ඒ බද්ද අය වෙනවා. හැබැයි එයින් තිරුඟු පිටි මිල වැඩිවෙන්න කිසිදු හේතුවක් නැහැ. මොකද මේ වෙලාවේ ඩොලරයේ අගය අඩුවීමක් සමග රුපියලේ අගය වැඩිවීමත් එක්ක තිරුඟු පිටි කියන්නේ සම්පූර්ණයෙන් පිට රටින් ගෙන්වන ආනයනිත ද්‍රව්‍යක්. ඒ නිසා ඒ රුපියලේ අගය වැඩිවීම ඩොලරයේ අගය අඩුවීම සෘජුව දැනෙන ද්‍රව්‍යයක්. ඒ නිසා ඒ වෙනසක් සමග ඇතිවන වාසිදායක තත්ත්වය නිසා තිරිඟු පිටි මිලත් මේ නිසා වැඩිවෙන්නේ කිසිදු හේතුවක් නැහැ. ඉතින් ඒ තුළ තමයි අපි කළමනාකරණ කර ගන්න බලන්නේ."

උද්ධමනය හා රාජ්‍යමූල්‍ය කළමනාකරණය !

කලින් සටහනක කියපු පරිදි, උද්ධමනය වේගයෙන් පහළ යාමේ ගෞරවය වගේම ඊට පෙර උද්ධමනය විශාල ලෙස ඉහළ යාමේ වගකීමද පැවරෙන්නේ මහ බැංකුවට. උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ රස්සාව. නමුත්, උද්ධමනය ඉහළ යාමට අයහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණය හේතු වුනා වගේම උද්ධමනය වේගයෙන් අඩු වෙන්න යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණය උදවු වුනා.
වසරේ මුල් මාස පහේ රජයේ ආදායම් හා වියදම් දිහා බැලුවහම පසුගිය වසරට සාපේක්ෂව වෙනස පැහැදිලිව පේනවා.

රජයේ ආදායම - රුපියල් බිලියන 1,122.4යි.
පොලී ගෙවීම් හැර වියදම - රුපියල් බිලියන 1,075.0යි.
ප්‍රාථමික ශේෂය - රුපියල් බිලියන 47.4යි.

මේ අනුව, වසරේ පළමු මාස පහ තුළ රජය විසින් එකතු කරගත් ආදායම් වලින් 4.2%ක් පමණ ඉතිරි කර ගැනීමට සමත් වී තිබෙනවා.

ප්‍රමාණය කොපමණ වුවත්, මේ විදිහට කීයක් හෝ ඉතිරි කර ගැනීමයි වැදගත්. ඒ විදිහට ඉතිරි වන මුදලෙන් අඩු වශයෙන් පරණ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලියෙන් යම් කොටසක් හෝ ගෙවන්න පුළුවන්. ඒ නිසා, අලුතෙන් ණය ගන්න අවශ්‍ය වෙන්නේ පරණ ණය හා ඉතිරි පොලී ගෙවන්න පමණයි.

රජය විසින් ආපසු ගෙවන පරණ ණය හා පොලී එම ණයහිමියන්ට ලැබෙද්දී ආර්ථිකයට යම් මුදල් ප්‍රමාණයක් එකතු වෙනවා. මේ කතා කරන්නේ දේශීය ණය ගැන. විදේශ ණය පිළිබඳ කතාවනම් වඩා සංකීර්ණයි. මේ විදිහට ආර්ථිකයට එකතු වන මුදල් ටිකම නැවත රජය විසින්ම ණය විදිහට ගනිද්දී රජයෙන් පිටත මුදල් වෙළඳපොළේ අරමුදල් වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා, රජය විසින් ආපසු ගෙවන ණය හා පොලී මුදල් ටිකම ආපසු ණය විදිහට ගන්නවානම්, මහ බැංකුවට අලුතෙන් සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මෙහිදී වෙන්නේ තියෙන ණය ටිකම අලුත් වීමක්. සල්ලි එළියට ගිහින් ආපසු ඒමක් වගේ වුනත් සල්ලි හෙල්ලෙන්නේ නැතුවම මේ වැඩේ වෙන්න පුළුවන්. කල් පිරෙද්දී ස්ථිර තැන්පතුවක් නැවත අලුත් වෙනවා වගේ දෙයක්.

ස්ථිර තැන්පතුවක් කල් පිරුණු පසු පොලියත් එක්ක නැවත ආයෝජනය කරද්දී මුල් මුදල ඉහළ යනවා වගේම මෙහිදී රජයේ ණයත් ඉහළ යනවා. නමුත් රජයට වියදම් කළ හැකි අරමුදල් කිසිවක් අලුතෙන් ලැබෙන්නේ නැහැ.

වසරේ පළමු මාස පහේ පොලී වියදම රුපියල් බිලියන 1,062.1ක්. රුපියල් බිලියන 47.4ක ප්‍රාථමික අතිරික්තය මේ පොලිය ගෙවන්න ගෑවෙන්නත් මදි. ඒ නිසා. ඉතිරි පොලී කොටස ගෙවන්න විතරක් රුපියල් බිලියන 1,014.7ක් ණයට ගන්න වෙනවා. ඊට අමතරව පරණ ණය ගෙවන්නත් අලුතෙන් ණය ගන්න වෙනවා. හැබැයි කලින් කිවුවා වගේම මෙහිදී වෙන්නේ එළියට යන සල්ලි ටිකම නැවත ණය විදිහට ලබා ගන්න එක නිසා මුදල් වෙළදපොළ තුළ පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ශුද්ධ වශයෙන් වැඩිපුර රුපියල් බිලියන 47.4ක් වෙළඳපොළට එන එක. ඒ නිසා, පොලී අනුපාතික මත පහළට මිසක් ඉහලට පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න එකේ වැදගත්කම ඒකයි.

ප්‍රාථමික අයවැය අතිරික්තය මීට වඩා වැඩි කරගන්න එක පහසු වැඩක් නෙමෙයි. මේ වගේ මට්ටමක දිගටම පවත්වා ගන්න එකත් විශාල අභියෝගයක්. රජයේ ආදායම රුපියල් බිලියන 1,122.4ක් වෙද්දී වියදම් සීමා කිරීම මගින් රුපියල් බිලියන 1,062.1ක පොලී ගෙවන්න තරම් සල්ලි ඉතිරි කරගන්න බැහැ කියන එක කාට වුනත් තේරෙන්න ඕනෑ. පොලිය ගෙවාගන්න බැරුව ණය ගෙවිල්ලක් ගැන හිතන්නවත් පුළුවන්කමක් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා.

මෙහිදී අපි බැලුවේ දේශීය ණය පැත්ත පමණයි. නමුත් ණය හා පොලී විදිහට ගෙවිය යුතු මුදලින් කොටසක් විදේශ ණය. ඒ කොටසත් දේශීය ණය වගේම අලුත් වුනේ නැත්නම් එයින් වෙන අඩුව පුරවන්න වෙන්නේත් දේශීය ණය අරගෙන. එවිට වෙළඳපොළට යන අරමුදල් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ණය විදිහට වෙළඳපොළෙන් ලබා ගන්න වෙනවා. සල්ලි අච්චු ගැහුවේ නැත්නම් පොලී අනුපාතික මත පීඩනය ඉහළ යනවා. මේ තත්ත්වය ගැන සලකලා තමයි IMF එකෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් දුන් ණය වලින් යම් කොටසක් රජයේ අයවැය හිඟය පියවීම සඳහා යොදා ගන්න ඉඩ දී තියෙන්නේ.

මෙහි තවත් වාසියක් තිබෙනවා. මේ විදේශ ණය කොටස ගෙවන්න දේශීය ණය ගන්න වුනානම් ඒ විදිහට ණයට ගන්න රුපියල් ඩොලර් කරන්නත් වෙනවා. ඒ නිසා, පොලී අනුපාතික මත පීඩනය වැඩිවෙනවාට අමතරව වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිද්දී විණිමය අනුපාතය මත වන පීඩනයද වැඩි වෙනවා. යම් ණය ප්‍රමාණයක් ඩොලර් වලින්ම ලැබුණු විට මේ ප්‍රශ්නය විසඳෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් වීමෙන් පසුව පොලී වියදම සැලකිය යුතු ලෙස අඩු වෙයි. ඒ අනුව, සමස්ත අයවැය හිඟයද අඩු වෙයි. නමුත්, පොලී වියදම් ගොඩක් වැඩි නිසා ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වූ පසුද අයවැය හිඟය නැති වෙන්නේ නැහැ.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

උද්ධමනය විශාල ලෙස පහත බසී!

උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පැවති හා වේගයෙන් ඉහළ යමින් තිබුණු පසුගිය වසරේ මැද කාලයේ සිටම අප විසින් දිගින් දිගටම විශ්වාසනීය ලෙස කියූ පරිදි අප්‍රේල් උද්ධමනය විශාල ලෙස අඩු වී තිබෙනවා.

මාර්තු මාසයේදී 50.3%ක් වූ උද්ධමනය අප්‍රේල් වන විට 35.3% දක්වා 15.0%කින්ම අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 30.6% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 37.6% දක්වාත් අඩු වී තිබෙනවා.

FB IMG 1682867360285

මේ උද්ධමනය වේගයෙන් අඩු වෙන්නට පටන් ගත්තා පමණයි. මැයි මාසයේදී 25% ආසන්න මට්ටමකටත්, ජූනි මාසයේදී 13% ආසන්න මට්ටමකටත් උද්ධමනය අඩු වීමට නියමිතව ඇති අතර ජූලි මාසය වන විට බොහෝ විට උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙනවා. ප්‍රස්ථාරයේ දැකිය හැකි පරිදි පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මිල මට්ටම ස්ථාවරව පවතින අතර, සැප්තැම්බර්-අප්‍රේල් අතර මාස හතක කාලය තුළ මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.6%කින් පමණයි.

ප්‍රධානම අභියෝගය වූ උද්ධමනය පාලනය කිරීමේ අභියෝගය මේ වන විට ජයගෙන අවසන්ව ඇතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගය තවමත් එලෙසම තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි සාර්ථකත්වය මුළුමනින්ම මෙන් රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීම මතයි.

ඉකොනොමැට්ටා

Page 2 of 8