සෝමරත්න දිසානායක මහතාගේ අධ්‍යක්ෂණයක් වන‘ජංගිහොරා' (Underpants Thief) චිත්‍රපටිය ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වූ 6 වැනි අන්තර්ජාතික චිත්‍රපටි උළලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ඇති බව වාර්තා වෙයි.
සෝමරත්න දිසානායක විසින් මෑතකදී අධ්‍යක්ෂණය කල චිත්‍රපට වලට සාපේක්ෂව වෙනසක් සනිටුහන් කළ මෙම චිත්‍රපටයෙහි කතා ශරීරය කාන්තා යට ඇඳුම් වෙතින් ලිංගික තෘප්තිය ලබන මානසික අක්‍රමතාවයකින් පෙළෙන පුද්ගලයෙකු (සෑම්) කේන්ද්‍රීයව ගොඩනගා ඇති අතර පුබුදු චතුරංග සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකවී ඇත.
මේ පිළිබඳ newstube.lk කළ විමසුමේදී චිත්‍රපටයේ අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මෙසේ සිය අදහස් දැක්වීය.
"මම පසුගිය කාලයේ මුළුමනින්ම පාහේ නිර්මාණය කළේ පවුලේ සැමට එකට ඉඳ රසවිඳිය හැකි ළමා චිත්‍රපට. නමුත් මට හිතුණා දැන් වෙනසක් කරන්න කාලය හරි කියලා.එහි ප්‍රතිපලයක් විදිහට තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. නමුත් මං මීට පෙර ළමා තේමාවෙන් පොඩි වෙනසකට ගිහින් සරිගම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එයත් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්. නමුත් මේ අලුත් චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලෙසයි තිරගත වෙන්නෙ. දැනට මේ සඳහා මට තෘප්තිමත් වියහැකි ප්‍රතිචාර ලැබෙමින් තිබෙනෙවා."
සුජීවා බණ්ඩාර