හතර දෙනෙකුට කොරෝනා හැදුණේ කොහොමද අභිරහසක් !

හතර දෙනෙකුට කොරෝනා හැදුණේ කොහොමද අභිරහසක් !

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මෙරට පුද්ගලයින්ගෙන් සිව්දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සමාජයේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් ද සිටිය හැකි බවද එම සංගමය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් වෙන් නොකර සමාජය තුළ ගැවසීමට ඉඩහැරීම අධි වසංගත තත්ත්වයක් කරා ළගාවීමට හේතුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති සාරද කන්නන්ගර ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසය සීග්‍රයෙන් රට තුළ ව්‍යාප්තවීමත් සමග ජනතාව පෙරට වඩා සෞඛ්‍ය පුරුදුවලට යොමුවිය යුතු කාලසීමාවක් පැමිණ ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

එමෙන්ම සමාජය අතර ගැවසීමෙන් වැළකී තමන්ට අවශ්‍ය ආහාර බෝග සිය ගෙවත්තේම වගා කරගැනීමට පුරුදුවීම ද මේ මොහොතේ දී යෝග්‍ය බවරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති සාරද කන්නන්ගර වැඩිදුරටත් කියා සිටියේය.

 ග්‍රෑන්ඩ්පාස් වාස් පටුමගත් වසා දමයි !

grandpass

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ජීවත් වූ ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය තවදුරටත් වසා දමා ඇත.

එහි වෙසෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමේ අරමුණීන් පොලීසිය ඊයේ සුවිශේෂී කටයුත්තක් සිදු කළේය. ඒ, පොලිස් සංගීත කණ්ඩායම විසින් එම නිවාස සංකීර්ණය අසල සංගීතමය වැඩසටහක් සංවිධාන කරමිනී.

මේ අතර අදාළ පුද්ගලයාගේ පුත්‍රයෙකු වාසය කළ ග්‍රැන්ඞ්පාස් ‘‘ද වාස් පටුමග’’ තවදුරටත් වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. ඔහුගේ පවුලේ සියලූදෙනා ද මේවනවිට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පවසයි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ග්‍රෑන්ඩ්පාස් ‘‘ද වාස්’’ පටුමගේ පදිංචි ඔහුගේ පුත්‍රයාගේ නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසිනි.

ඔවුන් ඒ සඳහා ඇඳිරිනීති අවසරපතක් ලබා ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත ගොස් ඇති බවට ද අනාවරණ වී ඇත.  ඒ අනුව අදාළ අවස්ථාවේ එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ද නිරෝධායනය වන ලෙසසෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත.

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයක සිටී කාන්තාවකටත් කොරෝනා :

මේ අතර පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. එම කාන්තාව ඊයේ රාත්‍රීයේ IDH රෝහල වෙත යොමු කෙරුණු බව සෞඛ්‍ය අංශ පවසයි.

අදාළ කාන්තාවගේ සැමියා ද කොරෝනා ආසාදිතයෙකු ලෙස ඉකුත් 31 වනදා හඳුනා ගෙන තිබිණ. ඔහුද එදින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා අතරට අයත්වූවෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මෙම පුද්ගලයා ඉන්දුනීසියාව සහ තවත් රටවල් කිහිපයකටද ගොස් ඇති බව ද මේවනවිට අනාවරණ වී ඇත. ඔහු ඉකුත් 26 වනදා පුත්තලම, කඩුමයන්කුලම ප්‍රදේශයෙන් හමුවූ පළමු නව කොරෝනා ආසාදිතයා සමග ඉන්දුනීසියාවේ සංචාරයකට එක්ව ඇති බව ද හෙළිව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න