කොරෝනා ආසාදිතයින් 162 දක්වා ඉහළට : මෙතෙක් ප්‍රගතිය සමාලෝචනයට !

 කොරෝනා ආසාදිතයින් 162 දක්වා ඉහළට : මෙතෙක්  ප්‍රගතිය සමාලෝචනයට !

අද (4)  දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයින්  තිදෙනෙක් සොයා ගෙන ඇති අතර  ඒ අනුව මෙරට  ආසාදිතයන් ප්‍රමාණය 162 දක්වා ඉහළ ගොස් ඇත.

 එසේම  කොවිඩ් 19  වෛරසය ආසාදනය වීම නිසා මෙරට  මිය ගිය සංඛ්‍යාව පහකි.
 
කොරෝනා මැඩලීමේ ප්‍රගති සමාලෝචනය මෙන්න !
 
මේ අතර කොවිඩ්-19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය  වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පැහැදිලි කර ඇත.

රට තුළ වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මේ සෞඛ්‍ය ගැටලුව පාලනයෙන් ගිලිහී යා නොදී කළමනාකරණය කිරීමට හැකි වූ බව අනතුරුව සිදු වූ අදහස් හුවමාරුවේදී ප්‍රකාශ කෙරිණ. 

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙතෙක් කළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනුයේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ දැනුම සහ නිර්දේශ මත පදනම්ව බව මෙහිදී සාකච්ඡා විය.

රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින්වර කරන නිර්දේශ අධ්‍යයනය කොට සුදුසු පරිදි පිළිපැදීමට ද තීරණය කරනු ලැබීය.

දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යාමට සාකච්ජාවේදී එකඟත්වය පළ විය. 

ආසාධිතයන්, ආසාධිතයන් යැයි සැක කෙරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයටලක් කළ යුතු බව ද තීරණය කෙරිණ. 
වසංගතය පාලනය කිරීමට සමත් වූ සෙසු රටවල් අනුගමනය කර ඇත්තේ එවැනි පිළිවෙතකි. 

ආසාධිතයන් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනාගැනීමට හැකිවී ඇතැයි ආරක්ෂක බලධාරීහූ සඳහන් කළහ. 

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග,හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමිකමේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙසු නිළධාරීහූ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සාකච්ජාවට එක්ව සිටියහ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න