ගාලුපාරේ ට්‍රැෆික් අඩුකරන්න : ඇමති ජොනී වැඩට බහියි !

ගාලුපාරේ ට්‍රැෆික් අඩුකරන්න : ඇමති ජොනී වැඩට බහියි !
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාරිතාව සීග්‍රයඝ්‍රයෙන් ඉහළ යාම නිසා වර්තමානයේ දී දවසේ ඕනෑම කාලසීමාවක දෙහිවල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා දැඩි රථ වාහන තදබදයක් ඇති බව මහා මාර්ග  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  පවසයි.
 
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  කොල්ලුපිටියේ සිට දෙහිවල හිල් වීදිය ( Hill Street ) දක්වා දිවෙන සමුද්‍රීය මාර්ගයේ ( Marine Drive ) දෙහිවල පාලම අසල සිට හිල් වීදිය ( Hill street )  දක්වා කි.මි 1.2ක් වන  කොටසේ ඉදිකිරීම් වල ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවේදී අදහස් දක්වමින් ය.
 
ඉහත ගැටලුවට පිළියමක් වශයෙන් මෙම සමුද්‍රීය මාර්ගය ( Marine Drive ) කොල්ලුපිටියේ සිට දෙහිවල හිල් වීදිය  ( Hill street )  දක්වා ඉදිකරයි. 
 
දැනට සමුද්‍රීය මාර්ගයේ ඉදි කර ඇති  මංතීරු 2 ක් සහිත දෙහිවල පාලම පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස මංතීරු 04  දක්වා පුළුල් කර ඉදිකිරීමට මේ වන විට වැඩ ආරම්භ කර ඇත. මෙම නව පාලම සඳහා රුපියල් මිලියන 228ක් වැය වේ. ඉදිකරන නව පාළමේ දිග මීටර 25කි. එහි පලල මීටර 18කි.
 
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
මෙම සමුද්‍රීය මාර්ගයේ පසුගිය යහපාලන රජයේ අවුරුදු 5 තුළ කිසිම සංවර්ධනයක් වෙලා නැහැ. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපේ රජයේ අරමුණ නියමිත ප්‍රමිතියට අනුව කඩිනමින් සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කිරීමයි. ඒ අනුව දින 70 වැනි කාලයකදී මෙම දෙහිවල සිට හිල් වීදිය දක්වා මාර්ග කොටසේ ඉදිකිරීම් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පවතින රථ වාහන තදබදයට මෙම මාර්ගය ඉදිකිරීම මගින් කෙටිකාලීන පිළියම් ලැබෙනවා. මෙම මාර්ග තදබදයට ස්ථිර ස්ථිරසාර විසඳුමක් ඉදිරියේදී මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා .
 
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
අපි මේ මොහොත වන විටත් නව ව්‍යවස්ථාවේ වැඩකටයුතු කරගෙන යනවා .
 
අපි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ සියල්ල නියමිත පරිදි ඒ ආකාරයෙන් පැවැත්වීමට මේ වන විට  කටයුතු සූදානම් කරගෙන යනවා. ගෞරවනීය මහා සංඝ රත්නයෙන් මේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් මතුවී තිබෙනවා. පක්ෂයක් හැටියට අපේ තීරණය නම් නිසි වේලාවට මේ මැතිවරණ සියල්ල පැවැත්විය යුතුයි යන ප්‍රතිපත්තියේ තමයි අපි ඉන්නෙ. ගරුතර මහා සංඝරත්නය සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ඇතිව තමයි අපේ ආණ්ඩුව ක්‍රියාකරන්නේ. මහා සංඝරත්නය සහ අපි අතර කිසිම ගැටුම්කාරී තත්වයක් ඇති වෙලා නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් පෙනී සිටීමට ඔවුනටද අයිතියක් තිබෙනවා. මහා සංඝරත්නය මතයට අපි විරුද්ධ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ අපි වැඩකටයුතු කරන්න ඕනා. අපේ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ඡන්දවලින් බලයට පත් වුණු ආණ්ඩුවක්. ඒක කිසි කෙනෙකුට අභියෝගයට ලක්කරන්න බැහැ. අපි ඒක අභියෝගයට ලක් කරන්නෙත් නැහැ. අදටත් අපි බෞද්ධාගමට සහ ගරුතර සංඝරත්නයට මූලිකත්වය දීලා කටයුතු කරන ආණ්ඩුවක්. අපි මහා සංඝරත්නය සිරගත කරලා ඔවුන්ගේ ඔලු පළල ඔවුනට ජල බවුසර්වලින් පහර දුන්නු ආණ්ඩුවක් නෙවෙයි අපේ ආණ්ඩුව. එදා වගේම උන් වහන්සේලා අදත් අපි වෙනුවෙන් පෙනී සිටිනවා. ගරුතර මහා සංඝරත්නයේ මේ  ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වෙද්දි විපක්ෂය පොඩි චූන් එකක් අරගෙන ඉන්නේ. අපි මහා සංඝරත්නය ආරක්ෂා කරනවා. ඔවුන්ගේ අවවාද අනුශාසන අපි පිළිපදිනවා.
 
කොරෝනා වලින් මියගිය අයගේ මෘත දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට දුන් පිළිතුර 
 
සෞඛ්‍ය බලධාරීන් මෘතශරීර සම්බන්ධයෙන් ලබා දී තිබෙන උපදෙස් හා ක්‍රියාමාර්ග අනුව අපි ක්‍රියා කරනවා. ඒවාට පටහැනිව අපි ක්‍රියා කරන්නේ නැහැ. කොවිඩ්  වසංගතය ක්‍රියා ක්‍රියාකරන්නේ දේශපාලනඥයන්ට උවමනා පරිදි නොවේ. ලෝකයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව අපි කොවිඩ්  මර්දනයේදී ඉදිරියෙන් සිටිනවා. සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අපි නියමිත පරිදි පිලිපදිනවා. ඔවුන්ගේ උපදෙස් වලට පටහැනිව අපි ක්‍රියා කරන්නේ නැහැ. අපි පැහැදිලිව කියනවා එක රටක් එක නීතියක් තමයි ක්‍රියාත්මක කරන්නේ කියලා. එතනින් එහාට අපි වැඩ කරන්නේ නැහැ. නමුත් මහා සංඝරත්නයට හා විවිධ කණ්ඩායම් වලට මේ සම්බන්ධයෙන් පෙනී සිටීමට අයිතියක් තිබෙනවා. මෘත ශරීර සම්බන්ධයෙන් ගරුතර මහා සංඝරත්නයට ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීම ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් මම සතුටු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණය තමයි තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට ඇති හැකියාව.
 
කොරෝනා වසංගතය නිසා අපේ සංවර්ධන කටයුතු අපි අඩාල කරගන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ආරක්ෂිතව අපේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා. කොන්ත්‍රාත් සමාගම් සමග තිබෙන ගිවිසුම් නිසා සංවර්ධන ව්‍යාපෘතීන් නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වුවහොත් අපිට ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. එම නිසා අපේ සංවර්ධනය කටයුතු නොකඩවා ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා. සොබාදහම වෙනස් වූ ආකාරයට අපිත් අපේ ක්‍රමවේදයන් වෙනස් කර රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න