ජනාධිපති යහපාලන ආර්ථික පිළිවෙතට : ඕක තමයි පාර - මංගලගෙන් නිවේදනයක් !

ජනාධිපති යහපාලන ආර්ථික පිළිවෙතට : ඕක තමයි පාර - මංගලගෙන් නිවේදනයක් !

ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජනයක් ගෙන්වාගැනීම, රට විකිණීමක් රට පාවාදීමක් හැටියට තම පක්ෂය විසින් පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බවට පිළි අරගෙන යහපාලන රජය විසින් ආරම්භකරන ලද එම ආර්ථික පිළිවෙත රටේ අනාගත පරම්පරාවන් ගැන සිතා යළි ඉදිරියට ගෙනයන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටින බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ඒ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීරණය අනුමත කරමිනි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

බොරු දේශප්‍රේමයෙන් බැටකන ආණ්ඩුව !

පසුගිය කාලය පුරාම විදේශ ආයෝජකයින් මේ රටේ සංවර්ධනයට එකතු කරගැනීම රට පාවා දීමක්, රට විකිණීමක්, දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට පුන පුනා කියපු දේශපාලන නායකයින්, අද එදා මිනිස්සුන්ව රවට්ටන්නට ඔවුන් කියූ බොරැවලින්ම බැට කමින් සිටිනවා.

ඒ බොරැ සහ රැවටීම පාරාවලල්ලක් වෙලා දැන් ඔවුන් හොඳ වැඩක් කරන්න හැදුවත් ඔවුන්වම විනාශ කරන තත්වයට පත්වෙලා තියෙනවා.

ඒක මම කලින් දැනං හිටියත්, අපි ඒ ගැන කලින් කිව්වත්, ඒක වෙනවා දැක දැක මට සතුටු වෙන්න බෑ. ඒකට හේතුව, අද මේ රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම අත්‍යාවශ්‍ය වීමයි.

එදා, විදුලි සංදේශ ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් දෙපාර්තමේන්තුව සමාගමක් බවට පත් කරමින්, ලෝකයේ විශාලතම සන්නිවේදන තාක්ෂණ සමාගම ආයෝජනයට හවුල් කරගැනීම නිසා මේ රටේ සිදුවූ දැවැන්ත විප්ලවය ගැන අලුතෙන් මතක් කළ යුතු නැත.

යහපාලන නිවැරැදි ආර්ථික මග !

ආරම්භයේ සිටම වගේ පාඩු පිට දුවපු ශ්‍රී ලංකන් ගුවන් ආයතනයද මුලු ඉතිහාසයේ ලාභ ලබාගත්තේ විදේශීය ආයෝජකයින් සමග හවුල් වූ වසර කීපය තුළ පමණි .

අද මේ රටේ ආර්ථික මර්මස්ථානයක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියටද මෙම නව ආයෝජනය තුළින් නව යුගයක් උදාවන බව මං විශ්වාස කරනවා.

ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද තරුණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි.

විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණි.

ඒ ආයතන දියුණු කරන්න, පවත්වාගන්න, ලාභ ලබන්න, විසඳුමක් විකල්පයක් යෝජනාවක් ඔවුන් ළඟ නෑ.

අද වියට්නාමය, කාම්බෝජය වැනි සමාජවාදී රටවල් පවා රටක් දියුණු කිරීමට විදේශ ආයෝජකයින්ගේ ඇති වැදගත්කම තේරැම් ගිනිමින් විදේශ ආයෝජකයින්ට වරප්‍රසාද විශාල වශෙන් ලබා දෙනවා.

එපමණක් නොව විදේශ ආයෝජකයින්ද තමන්ගේ මුදල් ආයෝජනය කිරීමේදී එම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මානව අයිතීන් ගරැකරන නීතියේ ආධිපත්‍ය රජ කරන විනිවිද භාවයෙන් යුතු වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් බලාපොරොත්තු වෙනවා.

එවැනි ආර්ථික රාමුවකට 2015 අප රජය විසින් ඇති කළ ආරම්භය නිසා, වැඩිම විදේශ ආයෝජකයින් 2018 සහ 2019 දී ලබා ගන්නට අපට හැකියාවක් ලැබුණා.

පසුගියදා ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද්දේද එදා ජනතාව නොමග යවමින් සෙල්ලම් ටයර් ෆැක්ටරියක් ලෙස හඳුනවාදුන් විදේශ ආයෝජනයකි.

විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට හැකිවුයේ ආයෝජනයට හිතකර පරිසරය දර්ශකයේ වර්ධනයක් පෙන්වූ නිසාය. තව තවත් පහසුකම් ලබාදීමට නව නීති රීති පවා ඇති කිරීමට අප සූදානම් කර තිබුණි.

ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජනයක් ගෙන්වාගැනීම, රට විකිණීමක් රට පාවාදීමක් හැටියට තම පක්ෂය විසින් පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බවට පිළි අරගෙන යහපාලන රජය විසින් ආරම්භකරන ලද එම ආර්ථික පිළිවෙත රටේ අනාගත පරම්පරාවන් ගැන සිතා යළි ඉදිරියට ගෙනයන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටිනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න