Language Switcher

V2025

ප්‍රේමදාස දේශපාලනය වාෂ්පයි : 43 සේනාංකයේ මංගල ප්‍රකාශය එළිදැක්වෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ඇතුළු සමගි ජනබලවේගය සහ තවත් සිවිල් සමාජ  - දේශපාලන ක්‍රියාකාරීන් එකතුව ගොඩනැගූ 43 සේනාංකයේ මංගල ප්‍රකාශය එළිදැක්වීම අද (17) කොළඹ ගාලුමුවදොර හෝටලයේදී සිදුකෙරිණ.

එහි විශේෂත්වය වූයේ මේ අවස්ථාව සඳහා සමගි ජනබලවේගය පක්ෂය ගොඩනැගූ ප්‍රමුඛයන් කිහිපදෙනකු මූලිකත්වය ගෙන සිටියත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ප්‍රේමදාස දේශපාලනය සම්බන්ධව වචනයක් හෝ සඳහන් නොවීමය.

මීට පෙර සමගි ජනබලවේගය පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ එම  පක්ෂය සඳහා දිනාගත නොහැකි බලවේග දිනා ගැනීම වෙනුවෙන් නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට පොදුජන පෙරමුණ ට එක්නොවූ පිරිස් වියත්මග සංවිධානය වටා ගොඩනැගූ මාදිලියට මේ 43 සේනාංකය ගොඩනගන බවය.

මේ බව සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ප්‍රමුඛ පෙළ  නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක වෙතින් විමසූ අවස්ථාවේ ඔහුද  සඳහන් කළ  බව එම පක්ෂයේ විශ්වාසදායක ආරංචි මාර්ග වාර්තා කර තිබිණ.

නමුත් වියත්මග හරහා ගෝඨාභය දේශපාලනය යුක්තියුක්ත කළ ආකාරයට සජිත් ප්‍රේමදාස දේශපාලනය යුක්තියුක්ත වන කිසිවක් පමණක් නොව අද 43 සේනාංකය මංගල ප්‍රකාශය එළිදැක්වීම අවස්ථාවේ සජිත් හෝ ප්‍රේමදාස දේශපාලනය ගැනවත් කිසිවක් සඳහන් වූයේ නැත. මේ සම්බන්ධව මේ වන විට දේශපාලන විචාරකයන් අතර මෙන්න දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇත.

මේ උත්සව අවස්ථාවේ ගනුලැබූ ජායාරුපයක් එදාා එජාපය තුළ සිටිමින් සජිත් ප්‍රේමදාස එහි නායකයා කිරීමට කැපවූ, ඒ වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ගල් ගැසීමට, කුප්‍රකට කුරුඳු පොලු හටනට මැදිහත් වූ එමෙන්ම පසුව සමගි ජනබලවේගය පක්ෂය පිහිටුවීමට තීරණාත්මක මැදිහත්වීමක් කළ නීතිඥ   ශිරාල් ලක්තිලක විසින් සිය ෆේස්බුක් ගිනුමට යොමුකර තිබිණ. එහි පවා සජබ හෝ සජිත් ප්‍රේමදාස සමග දේශපාලන ගමනක් ගැන කිසිදු සඳහනක් නැති අතර එය පහත දැක්වෙයි.

shiral my patalee keerthi 1000px

මිනිසත්කම, දැනුම, කුසලතාවය පදනම්කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික නව ජීවනයක් අත්පත් කරගැනීමේ හා සමාජ ප්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් ලෙස 43 සේනාංකයේ මංගල ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාව හඳුන්වාදී තිබිණ.

FB IMG 1610902270949පාදඩ පිළිල පලවා හැරීම 43 සේනාංකයේ අපේක්ෂාවක් - අනුරුද්ධ ප්‍රදීප් 

ආරම්භයේදීම පුරවැසි ව්‍යාපාරයේ අරමුණු හා පදනම පිළිබඳව කරුණු දැක්වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් සඳහන් කර සිටියේ, ප්‍රභූ පවුල්වල දරුවන්ට පමණක් අයිතිව තිබූ සුඛෝපභෝගී භාණ්ඩයක් වන අධ්‍යාපනය මෙරට පොදු මහජනතාවගේ දරුවන්ට අනුලංගනීය අයිතියක් බවට පත් වූ ස්වර්ණමය වසර 1943 බවයි. ඒ අනුව ඒ පරපුරේ වර්තමානය සවිමත් කරමින් රටේ සෑම ක්ෂේත්‍රයකම තුලනාත්මක ගමන් මඟක් ඇති කිරීම මෙම ව්‍යාපාරයේ එක් අපේකෂාවක් බවයි. 

එමෙන්ම සංස්කෘතිකව අශික්ෂිතවූත්, රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් නිර්මාණශීලීත්වයෙන් හා කළමණාකරන හැකියාවෙන් තොරවූත් පාදඩ පිළිල වලින් දේශපාලනය හා ආණ්ඩුකරණ දේහය වසාගෙන සිටින කණ්ඩායම් පළවා හැර රටේ දේශපාලන බලය ඊට සුදුසු සමාජ බලවේග අතට පත් කිරීමෙන් තොරව මේ රටට අනාගතයක් නොමැති බවයි. එහිදී ප්‍රධාන කොන්දේසි දෙකක් අත්‍යාවශ්‍ය බවත්, ඉන් පළමු වැන්න රට ඉදිරියට මෙහෙයවීම සදහා වූ රජ්‍ය දර්ශනයක් සහ ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ගැනීමයි. දෙවැන්න, දේශපාලන හා පරිපාලන පිරමීඩය මුදුනේ සිට බිම් මට්ටම දක්වාම නිසි සුදුස්සන් අතට පත් කිරීමයි. අපේ රට නවීන ශක්තිමත් සාධාරණ හා සමෘර්ධිමත් රාජ්‍යයක් බවට එනම්, ඉන්න හිතෙන රටක් බවට පත්කළ හැක්කේ මේ දෙයාකාරයෙන්ම සාර්ථක වීමට හැකිවුවහොත් පමණක් බව ඔහු පෙන්වා දෙයි.

මේ අවසන් ලියවිල්ල නොවෙයි !

ඒ වෙනුවෙන් දැනට මූලික ලියවිල්ලක් සම්පාදනය කළ ද, එය අවසාන ලියවිල්ල නොවන බවත්, එය සම්පූර්ණ කිරීම සඳහා රටට ආදරේ කරන සෑම සියලු ක්ෂේත්‍රයකම කිසිදු මට්ටමකින් ලොකු කුඩා භේදයකින් තොරව දායක විය යුතු බවත් අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය අවධාරණය කරයි. ඒ වෙනුවෙන් 43 සේනාංකය ඉදිරියට රට පුරා විහිද කටයුතු කිරීමට සූදානම් බව ද හෙතෙම පෙන්වා දෙයි.

මෙහිදී 43 වන සේනාංකයේ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් සමායෝජක කණ්ඩායමක් ප්‍රකාශයට පත් කෙරිණ.  එහි සමාජිකයන් ලෙස කරුණාරත්න පරණවිතාන, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, වෛද්‍ය සංකල්ප මාරසිංහ, සුමේධ රත්නායක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ, ධනුෂ්ක රාමනායක, කේ සංජීව, තීක්ෂණ ගම්මන්පිල, ප්‍රියදර්ශනී ආරියරත්න, වෛද්‍ය ශිහාන් අසීස්, සංජීව රත්නායක, නිරාශාන් විතානගේ, ලක්ෂාන් තංගරාජා සහ එම්.අයි.එම්. ඉන්ෆාස් කටයුතු කරනු ඇත.  සියලු තොරතුරු සහ මංගල ප්‍රකාශනය පරිශීලනය සඳහා මෙන්ම සහසම්බන්ධවීම වෙනුවෙන් www.43.lk වෙබ් අඩවිය ද ප්‍රකාශයට පත් කෙරිණ.

පාඨලි 43 පහදයි !

champika 1000px 22 08 19 

මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ, 1982 වර්ෂයේ පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ජයග්‍රහණය කිරීමෙන් පසු අතුල ජයදේව නැමති කවියා ඉතා කෙටි කවියක් ඉරිදා දිවයින සංග්‍රහයේ පළ කර තිබුණි.

‘එවා මද දඟ පන්දු ඇරුණු හිත් කඩුල්ලට - දවා ගත්තෝ උන් අපේ පිළ බින්දුවට’ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1977 ඇති කළ ආර්ථිකය බඩුමුට්ටු පිරුණු, පාට පාට සල්පිල්වල මිනිස්සු ඉතාම උත්කර්ෂවත්ව හැසිරෙද්දි සමාජ වෙනසක් ප්‍රාර්ථනා කළ වාමාංශිකයන් වේවා, සමාජවාදීන් වේවා, නිදහස් මතධාරීන් වේවා, විවිධ ජන කණ්ඩායම්වලට අයිති අය වේවා මේ සියලු දෙනාම ‘ඇරුණු හිත් කඩුල්ලට එවන ලද මද දඟ පන්දුවකින් දවාගත්’ බවයි ඔහු ප්‍රකාශ  කර තිබෙන්නේ. ඒ අතුල ජයදේව අද ජීවත්ව සිටියානම්, ‘එවා හයිපර් පන්දු හැක් කෙරුණු හදවතට - දවා ගත්තෝ උන් පරපුරක් බින්දුවට’  යනුවෙන් පවසනු ඇත.

අද වන විට අපට ස්වාධීනව හිතන්නට තිබෙන ඉඩකඩ නැති කර, අපේ හදවත හා මොළය දෙකම අන්තර්ජාලය හා බැඳිච්ච ක්‍රියාකාරීත්වය විසින් හැක් කර, ඒ හැක් කෙරුණු හදවත්වලට ඉහළ ගණයේ මාධ්‍ය ආයතන විසින් වක්කරන විවිධ දිෂ්ඨීන් ඉදිරිපත් කර, ඒ දිෂ්ඨි වලට අනුකූලව, විටෙක නයි දිෂ්ටිය, විටෙක කුණ්ඩලනී යෝගය, විටෙක පැණි යෝගය වැනි දිෂ්ඨි මඟින් අපේ පරපුර බින්දුවට දවාගෙන තිබේ. 

එම හයිපර් ලෝකය වෙනුවට යථාර්තවාදී ලෝකයක නව යුගයක් ගොඩනගාගැනීම ගැන අප සාකච්ඡා කළ යුතු මොහොත දැන් එළඹ ඇති බවද පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

අද මේ යුගය 05 වන පරපුර, එහෙමත් නැත්නම් 5G  නෙට්වර්ක් එක යුගය ලෙස ද, විද්‍යාව, තාක්ෂණය පැත්තෙන් බලන විට මේ යුගය 04 වන කාර්මික විප්ලවයේ යුගය නමින් ද, යුද්ධය පිළිබඳ කාරණා වලදී විවිධ යුද යුග ගැන විමසා බලන විට මේ යුගය 5G උණුසුම් යුද යුගය ලෙස ද,  හෝමෝ සේපියන්ගේ යුගය අවසන් වී හෝමෝ සේපියන් විසින්ම හැක් කරන ලද නව මානවයෙක් බිහිව ඇති  Homo Dens පශ්චාත් මානව යුගය ලෙසද හැඳින්විය හැකිය.

මොකක් ද මේ නව පරපුර - 43 වන සේනාංකය ?

43 සේනාංකය යනු, අධ්‍යාපනය නැමති කුසලතාවය මතින් ඉහළට ඔසවන ලද බලවේගයක්. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අද මේ රටේ අපට තිබෙන ප්‍රධානම සවිමත් සමාජ දර්ශක දෙකක්.

මෙම සමාජ දර්ශක දෙකෙන් අපේ රටේ ආර්ථිකයට, රටේ ඉදිරි ගමනට කොපමණ දායකත්වයක් ඇති වුණාද කියන එක ප්‍රශ්නයක් වුණත් අපට ආඩම්බර විය හැකි පළමු ලෝකයේ තත්ත්වයක් මේ දර්ශක දෙක ඔස්සේ අපට ලැබී තියෙනවා.

අපේ ආයු කාලය, අපේ සාක්ෂරතාවය මේ මඟින් නිරූපනය වෙනවා. අපි සමාජ සංගුණක මගින්,  අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් හොඳ තැනක හිටියත් ආර්ථික අතින් හොඳ තැනක නැති බව තමයි කියන්න තියෙන්නේ. අපේ රටේ පසුගිය අවුරුදු 70 ක කාලය තුළ ඇතිවෙච්ච ඒ හොඳ නරක දෙකටම වගකිය යුත්තේ පවුල් 04 කි. සේනානායක - කොතලාවල පරම්පරාව, බණ්ඩාරණායක - රත්වත්තේ පරම්පරාව, ජයවර්ධන - වික්‍රමසිංහ පරම්පරාව සහ රාජපක්ෂ පරම්පරාවයි. මෙම පරම්පරා අතරින් කිසිදු පරම්පරාවක් නොකළ ආකාරයට බිම්මට්ටමේ තිබෙන සුළු ව්‍යාපාරයේ  සිට ඉහළ ගණයේ පවතින සෑම ව්‍යාපාරයක්ම තම පවුලට නතු කරගැනීමේ වුවමනාවක් රාජපක්ෂ පරම්පරාවට තිබේ.

අද අපේ රටේ ප්‍රාදේශීය දේශපාලනය මෙහෙයවන්නේ වැලි, කළුගල්, පස්, මත්ද්‍රව්‍ය, මත්පැන් සහ රෙස්ටෝරන්ට් නමින් ගණිකා මඩම් පවත්වාගෙන යන අශිෂ්ඨ පාදඩ සමාජ පන්තියක් විසින්. එම පාදඩ අශිෂ්ට සමාජ පන්තිය විසින්ම අද ව්‍යාපාරික ලෝකයත්, සමාජ ලෝකයත් මාධ්‍ය ලෝකයත් අත්පත් කරගෙන තිබේ. මේ රට පාලනය කරනා හා කරන්න බලාපොරොත්තුවෙන් සිටිනා පවුල් පරම්පරාවන්ට නම් ඒ සඳහා ඉදිරියේදී හැකියාවක් නැති බව ඔවුන් ඉතිහාසයෙන් පෙන්වා තිබෙන බවත් අප සඳහන් කළ යුතුයි.  

කළකිරීමෙන් පසුවන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරලියකින් අද මේ රට එක අඟලක්වත් ඉචදිරියට ගෙනයන්න බෑ, සමහරවිට රට මීටත් වඩා අපහසුතාවයට අර්බුදයට ගමන් කරන්නට තිබෙන ඉඩකඩ වැඩිය.  ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ යුග පෙරලියකි. ඒ යුග පෙරලියට ගාමක බලවේගයක් අවශ්‍යයි. අන්න ඒ ගැමක බලවේගය ගොඩනගා ගැනීමට නම් මේ රටේ කුසලතා පූර්ණ පිරිසට අපි දේශපාලන ආගමික ජනවාර්ගික හෝ තවත් භේදවලින් තොරව ආරාධනා කළ යුතුයි මේ රට ගලවාගන්නා ලෙස.

අන්න ඒ සඳහා මූලාරම්භයක් තමයි අපි මේ 43 වන සේනාංකයෙන් ඉන්න හිතෙන රටකට පාර කපන්නට බලාපොරොත්තු වන්නේ. අපේ ඉදිරි පරම්පරාවට ලේ නොවැකුණු සමාජ වෙනසක් ඇති කරගැනීමට අප එම මාර්ගය තැනිය යුතුය.

 රටේ ප්‍රධාන අභියෝග 2ක් !

අද රටේ අපට ප්‍රධාන අභියෝග දෙකක් තිබේ. එනම්, ආර්ථික අර්බුදය හා නිපුණතා කණ්ඩායමක් නොමැතිවීමේ අර්බුදයයි. රටේ පවතින වත්මන් පාලන තත්ත්වය තුළ, චණ්ඩි කතා, මුග්ධ කතා. ව්‍යාජ දේශප්‍රේමී කතාවලට මේ රටේ රාජ්‍ය මූල්‍යයේ පවතින ප්‍රශ්නයවත්, විදේශ ණය ප්‍රශ්නයවත් දැවැන්ත ආර්ථික අර්බුදයවත් විසඳීමට නොහැකි බව අප වටහාගත යුතුයි. එනිසා තමයි අපට නිපුණතා කණ්ඩායමක අවශ්‍යතාවය පැන නගින්නේ. තම තමන්ගේ ක්ෂ්ත්‍රවල ව්‍යවසායදායකත්වයෙන්, වෘත්තීය ක්ෂේත්‍රවල, ක්‍රීඩාව, කලාව ඇතුළු හැම ක්ෂේත්‍රයකම නිපුණතාවය මුල්තැනට ගත්, කුසලතාවය මුල්තැනට ගත් පරපුරක අවශ්‍යතාවය මතුවන්නේ එහෙයිනි.  

මේ සඳහා අපි ඉදිරි කාලයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රතිපත්ති, ප්‍රතිපත්ති මත පදනම් වූ වැඩපිළිවෙළක්, ඊට පදනම් වූ ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සඳහා අප ක්‍රියා කරනවා. ඒ සඳහා ඔබ සියලුදෙනාගේම දායකත්වය හා කැපවීම අප බලාපොරොත්තු වෙනවා.

අද අපට අවශ්‍ය දියසෙන් පරපුරකි. එකට හිතන එකට ගමන් කරන, කුසලතාවයෙන් පරිපූර්ණ  නවීණත්වය දැක තිබෙන ලෝකය ජයගන්න පුළුවන් දුක වේදනාව, සමාජය හඳුනන පරපුරක් අද අපට අවශ්‍යය. 

අද අපට තනි දියසෙන් කුමාරයෙක් ගැන බලාපොරොත්තු තබා කටයුතු කල නොහැකිය.

අන්න ඒ දියසෙන් පරපුර ගොඩගනාගැනීමයි අප විසින් කළ යුත්තේ.   විශදත්වය - සරල පැහැදිළිතාවය, නිදහස් ක්‍රියාකාරීත්වය, දයාබරිත සහකම්පනය, වගවීමෙන් ඉලක්ක සපුරා ගැනීම යන මේ ගුණාංගවලින් යුතු  වන පරම්පරාවේ නායකත්ව මණ්ඩලයක්, එනම් දියසෙන් පරපුරක් අප බිහිකළ යුතුය.

ඒ මතින් අප රට ඉදිරියට ගෙන යා යුතුය.  ඒ වෙනුවෙන් අප හා අත්වැල් බැඳගන්නා මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.