කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය සඳහා ඉරණතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමා දූපතට මෘතදේහ ගෙන ඒමට විරෝධය පළ කරමින් අද (03) ඉරණමාතා නගර් වෙරළ තීරයේ දී විරෝධතා පවත්වා ඇත.
එහිදී විරෝධතාවට එක්වූ ජනතාව මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉරණතිව් දූපත තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත්, කොවිඩ් මෘත දේහ දූපතට රැගෙන ඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවත්ය.
යුද සමයේ පවා තම ජනතාව දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ බවත් ජනතාව ජිවත්වන භූමියක පිටතින් ගෙනෙන මෘත දේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස හෙළා දකින බවද එම ජනතාවගේ අදහස වී තිබේ.
විරෝධතාවයට එක්වු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පැවසූවේ රජය මුස්ලිම් ජනතාව හා කිතුණු ජනතාව අතර පවතින සහයෝගය බිඳ දැමීමමේ උත්සහයක නිරත වන බවට පෙනී යන බවයි.
ජනතාව ජිවත් නොවන කුඩා දූපත් රැසක් මෙරට සාගර කලාපයේ පවතින බැවින් රජය එවැනි භූමියක් තෝරාගෙන කොවිඩ් මෘත දේහ ආදාහනය කළ යුතු බව මේ ජනතාවගේ යෝජනාව වී තිබේ.
අද පැවති විරෝධතාවයට මේ ප්‍රදේශයේ ජනතාව මෙන්ම ආගමික නායකයින්,දේශපාලන නියෝජිතයින් ද එක්ව සිටි බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධව අදහස් දක්වන විචාරකයන් පවසන්නේ කොරෝනා මෘතදේහ සම්බන්ධව විකාර තීන්දු හේතුවෙන් මෙවැනි තත්ත්වයක් මතුව ඇති බවයි. වතුර මඟින් කොරෝනා වසංගතය ව්‍යාප්ත නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිළි නිර්දේශ නිකුත්කර තිබියදී භුමිදානයේ බිල්ලන් මවා රට ජාත්‍යන්තරය හමුවේත් අපකීර්තියට ලක්ව ඇති බවත් විචාරක මතය වී ඇත.
එබැවින් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ ඒ ඒ ප්‍රදේශ ආශ්‍රිත නියමිත පටිපාටියකට අනුව භූමිදාන සිදුකිරීමට ආණ්ඩුව තීන්දුවක් නොගන්නේ මන්ද යන්න ප්‍රශ්නයක් බවත් විචාරක පෙන්වාදීම වී තිබේ.

