කළු ඉරිදා විරෝධයට : ජාතික ජනබලවේගයේ සහය !

කළු ඉරිදා විරෝධයට : ජාතික ජනබලවේගයේ සහය !
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා සිටිමින් කතෝලික සභාව විසින් එළඹෙන මාර්තු 7 වන ඉරිදාට කැඳවා ඇති "කළු ඉරිදා" විරෝධයට ජාතික ජන බලවේගය සහය දක්වන බව පවසයි.
 
මේ බව සඳහන් කරමින් ජාතික ජනබලවේගය විසින් නිවේදනයක් නිකුත්කර ඇත.
 
"පාස්කු කඳුළට යුක්තිය ඉටුවිය යුතුයි! කළු ඉරිදාවට සහය පළ කරමු!" යන ශීර්ෂයෙන් යුතු එම නිවේදනය පහත දැක්වෙයි.
 
2019 අප්‍රියෙල් 21 දිනය ලාංකේය අපට කිසිදා අමතක කළ නොහැක. ක්‍රිස්තු භක්තිකයන් ක්‍රිස්තූත්ථානය සමරන එම උතුම් දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් අහිංසකයෝ තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මිය ගියහ. තවත් පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඇතැමෙක් සදාකාලික ආබාධිතයෝ වූහ. මේ නින්දිත ප්‍රහාරය කිතුනු ලබ්ධිකයන් තුළ මෙන්ම සමස්ත දේශය තුළ මතු කළ කඳුළේ බර සුළුපටු නොවේ.
 
මෙය එවකට පැවති ආණ්ඩුවේ හා රාජ්‍ය බලධාරින්ගේ නොසැලකිල්ල නොවන්නට වළක්වා ගත හැකිව තිබූ බව දැන් කිසිවෙකුටත් රහසක් නොවේ. වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පසිඳළනු පිණිස එවකට පැවති ආණ්ඩුවද, එම ප්‍රහාරයේ වේදනාවට ගොඩවී සිංහාසනයට පැමිණි වත්මන් ආණ්ඩුවද ඒ පිළිබඳව කළ එකම කාර්යය වූයේ පාස්කු කොමිසමය. 
 
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව දැන් නිකුත් වී ඇත. එහෙත් කොමිසම් සභා හා කොමිසම් සභා වාර්තා යටගැසීම තුළ එහි වරදකරුවන් හා මහා මොළකරුවන්ද දේශපාලන බලය වෙනුවෙන් අන්තවාදය පාවිච්චි කළවුන්ද සැඟව නොපෙනී යන  ඓතිහාසික සන්දර්භයක් තුළ මෙම අවස්ථාවේදී ද වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවන බව පොදු අදහස බවට පත්ව ඇත. එමෙන්ම පාස්කු කොමිසම් වාර්තාවද තවත් ප්‍රහේළිකා මතු කරනු විනා ප්‍රහේලිකාව විසඳා නැති බවද ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් නැගෙන මැසිවිල්ලයි.
 
යුක්තිය වෙනුවෙන් හඬ නැගීම පොදු මානවීය අයිතියකි. උක්ත සන්දර්භය තුළ අදාළ ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය කතෝලික සභාව 2021 මාර්තු 07වැනි දින කළු ඉරිදාවක් කර යුක්තිය ඉල්ලා සිටී. ජාතික ජන බලවේගය ලෙස ඊට අපගේ පූර්ණ සහයෝගය පළ කරන අතර තවත් ප්‍රමාද නොකර මේ පිටුපස සැඟව සිටින මහ මොළකරු/මොළකරුවන් හා වැරදිකරුවන් හෙළිදරව් කර, ලේ කඳුළට නෛතිකව යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට හා අදාළ නීති අංශවලට බලකර සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න