කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ කාරක සභාවක් ඉල්ලයි

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ කාරක සභාවක් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙම ලිඛිත ඉල්ලීම කර තිබේ.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක  පැවසුවේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අංක 03 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයටද ඇතුළත් කර ඇති බවයි.

එම යෝජනාව සඳහා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේට අමතරව අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි ,රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ආචාර්‍ය හරිනි අමර්සූරිය, රෝහිණි කුමාරි විජේරත්න, තලතා අතුකෝරළ, ගීතා සමන්මලී කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ යන මහත්මීන්ද අත්සන් තබා තිබේ.

මෙම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් පත්කරනු ලැබිය යුතු බවත් යෝජිත කාරක සභාවේ සං‍යුතිය මන්ත්‍රීවරයන් 25 ගෙන් සමන්විත විය බවටත් යෝජනා කර තිබේ.

සිය පළමු රැස්වීමේ දිනයේ සිට වසරක් ඇතුළත කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, එය සභාගත කර සති 08 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් වන සිය නිරීක්ෂණ සහ ගන්නා ලද පියවර විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතු බවටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් යෝජනා කරයි.

ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරමින් එයට ගරු කරනු ලබන බව සහ ශ්‍රී ලංකාව තුල සියලුම කාන්තාවන් සහ දැරිවියන් සවිබල ගන්වනු ලබන බව සහතික කරමින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන වෙනස්කොට සැළකීම්වලට ලක් වූ අයගේ නොවිසඳී ඇති ගැටලුවලට පිළියම් සෙවීම සඳහා ප්‍රධාන වශයෙන් මෙම මෙම කාරක සභාව යෝජනා කර තිබේ.

රැකියා, උසස්වීම් අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදුවන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනිවිලි විභාග කර බැලීම, සියලුම අංශවලට සහ සියලුම මට්ටම්වලට ප්‍රමාණවත් අභ්‍යන්තර සම්පත් වෙන් කර දීම සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී- පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇති ප්‍රවේශය සමාලෝචනය කිරීම සහ ඒ වෙනුවෙන් පෙනි සිටීම ඇතුළු යෝජනා දහයක්(10) කාරක සභාවෙන් ඉටුවිය යුතු බවට මන්ත්‍රීවරියෝ යෝජනා කරති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න