බන්දුලට සීනි වැඩිවෙලා : මහින්දගේ සීනි බස්සගෙන !

බන්දුලට සීනි වැඩිවෙලා : මහින්දගේ සීනි බස්සගෙන !
රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 15.9 ක මහා පරිමාණ පාඩුවක් සිදුකළ පොහොට්ටු ආණ්ඩුවේ  කුප්‍රකට සීනි බදු වංචාවේ වරද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පිටින් යවා ඇත.
 
ඒ බව අනාවරණය වන්නේ සිනී බදු අඩු කිරීමේ වාසිය මහාපරිමාන සීනි ආනයන කරුවන් කිහිපදෙනෙකු අතට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් කරන ලද විමසුමකට පිළිතුරු වශයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ වාර්තාව හරහාය.
 
මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කල එම වාර්තාවේ  ප්‍රකාශ කර ඇත්තේ බදු අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ වගකීම පවතින්නේ වෙළඳ අමාත්‍යාංශයට බවයි.
 
මුදල් අමාත්‍යාංශයට මැදිහත්විය හැක්කේ ආනයනය කරනු ලබන සීනිවල ප්‍රමාණය සහ ගොඩබාන මිල තීරණය කිරීමට පමණක් බව පෙන්වා දෙන එම වාර්තාව, සීනි  සාධාරණ ලෙස බෙදා හැරීම සහ ජනතාවට දැරිය හැකි සිල්ලර මිලක් තීරණය කර පවත්වාගෙන යාම මුදල් අමාත්‍යාංශයේ විශය පතය යටතට නොගැනෙන බවත් එහි සඳහන්ය.
 
අදාළ වගකීම  වෙළඳ අමාත්‍යාංශයේ සහ එය යටතේ ඇති පාරිභෝගික කටයුතු අධිකාරියේ කටයුත්තක් බවත් එහි සඳහන් බවත් වාර්තා වෙයි.
 
එසේම සීනිබදු අඩු කිරීමට අදාළ තීරණයේ වාසිය අපේක්ෂාකරන ලද ප්‍රමාණයට හා වේගයට පාරිභෝගිකයන්ට නොලැබුනේ ඒකාධිකාරී වෙළඳපොළ ව්‍යූහය සහ උපරිම සිල්ලර මිල පාලනය කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අකාර්යක්ෂම භාවය හේතුවෙන් බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
වෙළඳ අමාත්‍යාංශය භාරව සිටින්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වන අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයා වන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් ඩි.එම්.එස්. දිසානායකය. 
 
කෙසේ වුවත් රාජ්‍ය බදු ආදායම අහිමි වූයේ වෙළඳ අමාත්‍යංශය නිසා නොව මුදල් අමාත්‍යංශය ආනයනික සීනි කිලෝවක් සඳහා  රුපියල් 50.00 කට තිබු බද්ද රුපියල් 49.75කින් අඩුකර එනම් ශත 25ක් කිරීම නිසාය.
 
මේ අතර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට සමීප ආරංචිමාර්ග පවසන්නේ මුදල් අමාත්‍යංශයේ මේ ප්‍රතිචාරය සම්බන්ධව ඔහු දැඩි කළකිරීමෙන් සිටින බවය.  ඔහුගේ මේ දිනවල හැසිරීමෙන් ඒ බව තහවුරු වන බවත් එම ආරංචිමාර්ග පවසයි.
 
පසුගියදා කහ සම්බන්ධව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වෙතින් ප්‍රශ්න කළ මාධ්‍යවේදියකු වෙතද ආවේගයෙන් ප්‍රතිචාර දක්වනු දකින්නට ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න