කොරෝනාවට විසඳුම එන්නත්කරණය පමණයි : එතෙක් පරිස්සමෙන් ඉන්න - ජනාධිපති

කොරෝනාවට විසඳුම එන්නත්කරණය පමණයි : එතෙක් පරිස්සමෙන් ඉන්න - ජනාධිපති

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බවත්  ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති අතර  අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අවධාරණය කරයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කරන අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා තිබේ. ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත පුද්ගලයින් 925,242කට මේ වන විට ලබාදී ඇත.

එම එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිතය. ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවැනි මාත්‍රාව දෙනු ලැබේ. ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටී.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.

පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.

මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටී.

කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.

කොවිඩ් 19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතුය යැයි සමහරු කල්පනා කරති. ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරයි. ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින් අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකිය. අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙති.

එබැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා අදහස් කරයි.– ජනාධිපති මාධ්‍ය ඒකකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න