කොවිඩි අසාධ්‍ය රෝගීන්ට KDU රෝහලේ ICU පහසුකම් - සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා

කොවිඩි අසාධ්‍ය රෝගීන්ට KDU රෝහලේ ICU පහසුකම් - සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා

දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා පවත්වාගෙනයාමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  පවසයි.

ඒ අනුව ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර ඒකක 03 ක් කොවිඩ් රෝගීන්ගේ දැඩි සත්කාරක සේවා සදහා වෙන් කිරීමටත්, මෙම ඒකක තුල ICU ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කොට Hi-flow ඔක්සිජන් ඇතුලු සියළු පහසුකම් ලබාදීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

මෙම කටයුුතු සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  ඊයේ (29) රාත්‍රියේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පැවැති විශේෂ සාකච්ඡාවේ දී මෙම දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන වෛද්‍යවරු 30 ක්, හෙදියන් 80 ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 ක් කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදෙන ලදි.

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ වර්ග කඩිනමින් ලබාදීම කටයුතු කරන ලෙසත්, මෙම දැඩි සත්කාර ඒකකවල සේවය සදහා පැමිණෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආරක්ෂිත නේවාසික හා ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසට ද සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පිහිටි රෝහල් සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල දැඩි දැඩිසත්කාරක සේවා පුළුල් කිරීමටත්, ඇඳන් ධාරිතාවය වැඩි කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා බ්‍රිගේඩියර් සමන් තිලකරත්න හා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න