ආණ්ඩුවේ ‘යුද ජය’ සමරන්න : විපක්ෂ නායක සජබට හොරෙන් ගිහින් !

ආණ්ඩුවේ ‘යුද ජය’ සමරන්න : විපක්ෂ නායක සජබට හොරෙන් ගිහින් !

උතුරේ යුද ජයග්‍රහනය සැමරීම සඳහා ආණ්ඩුව විසින් පවත්වන ලද දොළොස්වැනි සැමරුමට විපක්ෂ නායකයා සහභාගි වී ඇත්තේ සිය පක්ෂයේ අනුමැතියකින් තොරව බව හෙළි වී තිබේ.

“ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී මැයි 19 දින පස්වරුවේ පවත්වා‌ තිබුනි.

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූයේ සමගි ජන බලවේගයේ තීරණයට පිටින් බව එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු කොළඹින් පලකෙරෙන සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට පවසා තිබේ.

සිය අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා ඇති පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ සහභාගි වූ “විජයග්‍රහණයේ දිනය” සැමරුමට සහභාගි නොවීමට, පක්ෂය තුළ ‘නිල නොවන මට්ටමේ එකඟතාවක්’ පැවති බවයි.

එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එකඟ වී සිටි බව ඔහු තව දුරටත් සඳහන් කර තිබේ.

“සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ ජලනි දෙන්නාම මෙම උත්සව වලට සහභාගි වුනා කියල අපිට පස්සෙ දැනගන්න ලැබුණ. ඔහු කොයි වෙලාවකවත් කිව්වේ නැහැ යනවා කියලා”

විපක්ෂ නායකයාගේ සමීප ආරංචි මාර්ගයක් පවසා ඇත්තේ, මෙය “ජාතික උත්සවයක්” බැවින්, ඒ සඳහා ඔහුගේ සහභාගිත්වය නොවැළැක්විය හැකි බවයි.

කෙසේ වෙතත්, වත්මන් විපක්ෂ නායකයා එක්සත් ජාතික පක්ෂයේ සිටියදී, මෙයට වෙනස් ස්ථාවරයක් දැරූ බව සිහිපත් කරන සන්ඩේ ටයිම්ස් වෙබ් අඩවිය, එම වකවානුවේදී ඔහු මෙම සැමරුමට සහභාගී වී නොමැති බව පෙන්වා දෙයි.

විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි පරාජයෙන් වසර දොළහකට පසුව, විපක්ෂ නායකයා එම සැමරුමට සහභාගි වීම, ආණ්ඩුවේ ක්‍රියා අනුමත කිරීමක් බව සන්ඩේ ටයිම්ස් දේශපාලන කතුවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ එක්සත් ජාතික පක්ෂය ගත් ක්‍රියා පිළිවෙත මෙයට වෙනස් විය.”

2020 වසරේ අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සිතියමෙන් අතුගා දැමීමටද, පක්ෂයේ එම ස්ථාවරය එක් හේතුවක් වූ බව සන්ඩේ ටයිම්ස් මතයයි.

සමගි ජන බලවේගයේ පවතින මත ගැටුම් මැද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමඟ එක්සත් ජාතික පක්ෂ නායකයා සාකච්ඡා ආරම්භ කර ඇති බවට දැන ගැනීමට ලැබී තිබෙන බව සන්ඩේ ටයිම්ස් දේශපාලන කතුවරයා පවසයි.

සමගි ජන බලවේගයේ ඇතැම් සාමාජිකයන් චෝදනා කරන්නේ, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් “ඒකපාර්ශ්වික” තීරණ ගනිමින්, පක්ෂය “ඉතා ලැජ්ජා සහගත තත්වයන්ට” ඇද දමා ඇති බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.