Language Switcher

V2025

GSP නැතිවෙයි කියා ආණ්ඩුව බයවෙයි : යුරෝපා බලවතුන්ට කොළ කොඩි දායි !

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා යුරෝපා පාර්ලිමේන්තුව විසින් පසුගිය මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාව පරිදි ආණ්ඩුව කටයුතු නොකළොත් ලංකාවට GSP+ බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධි කටයුතු සඳහා ලබාදෙන ආධාරද අහිමිවීමේ අනතුරක් මතුව තිබේ.

මෙසේ බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුර මතුවීමත් සමග ශ්‍රී ලංකාණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට පියවර ගන්නා බව යුරෝපයට දැනුම් දී තිබේ.

පනත “සමාලෝචනය කිරීම සඳහා” ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව සහ “ප්‍රතිසන්ධානයේ නිශ්චිත ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය” සම්බන්ධයෙන් යුරෝපා සංගමයට දැනුම් දුන් බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දහසය දෙනෙකු ජනාධිපතිවරයා විසින් නිදහස් කර යැවීමද එහිදී ප්‍රධාන වශයෙන් දැනුම් දී ඇත.

දෙමළ සිරකරුවන් නිදහස් කළ දාම විශේෂ සමාවකින් මුදා හරිනු ලැබූ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් යමක් සාකච්ඡා කළේ දැයි විදේශ අමාත්‍යාංශය හෝ යුරෝපා සංගමය හෝ ප්‍රසිද්ධියට පත් කර නැත.

"ඒ අනුව, ජුනි 25 වැනි දින විදේශ අමාත්‍යාංශය විසින්, දැනට පවත්නා නීති සම්පාදනය, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන් අධ්‍යයනය කිරීමත් සමඟ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දී ඇත."