Language Switcher

V2025

ජාතික ආරක්ෂාව අනතුරේ : අනුරගෙන් අනාවරණයක් !

රටේ බල ශක්ති ක්ෂේත්‍රයෙන් සැලකිය යුතු පංගුවක් විදෙස් සමාගමකට පැවරීම රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමක් බව ජවිපෙ නායක අනුර දිසානායක අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රාජ්‍ය අයිතියෙන් 40%ක් ෆෝට්ට‍්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩලය පසුගියදා ලබාදී තිබූ තීරණය සම්බන්ධයෙන් 27/2 යටතේ ප්‍රශ්න කරමිනි.

එම ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටියදී ජනාධිපතිවරයාද පාර්ලිමේන්තු සභාගැබට පිවිසියේය.

එම ප්‍රශ්නය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නය – 2021.08.05

ශ‍්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයේ හිමිකම විදේශීය සමාගම් අතට පත්වීම හේතුවෙන් රටට හා ජනතාවට බලපෑ හැකි අවදානම්කාරී තත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත‍්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති බව පසුගියදා වාර්තා වුණා. එසේම එම කැබිනට් පත‍්‍රිකාවට අනුරූපීව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි ඇමරිකානු සමාගමත් බලශක්ති සම්පාදනය පිළිබඳ මූලික ප‍්‍රතිපත්තිමය ගිවිසුමක් අත්සන් කොට ඇති බවද එම සමාගම විසින්ම වාර්තා කොට තිබුණා. ඒ අනුව කෙරවලපිටිය ‘යුගදනවි’ විදුලි බලගාරය සඳහා ගෑස් සැපයීමට අදාළ පාවෙන ගෑස් ගබඩාව, නල පද්ධතිය ඇතුළු ගෑස් පිරවීමේ පර්යන්තය ඉදිකිරීම එම ඇමරිකානු සමාගමට පැවරෙනවා.

මෙම කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ අයිතිය ආයතන කිහිපයක් අතර බෙදී යනවා. මහා භාණ්ඩාගාරය, සේවක අර්ථසාධක අරමුදල, රජය සතු ලෙකෝ සමාගම, රජය සතු ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගම එම කොටස් හිමි ආයතනයි. කෙසේ වුවද මෙම ඉදිකිරීමට සමගාමීව කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රාජ්‍ය අයිතියෙන් 40%ක් එම ඇමරිකානු සමාගමට ලබා දීමට නියමිතයි. එසේ වනුයේ විදුලි බල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව මේ වනවිට 2035 වර්ෂය වනවිට යුගදනවි බලාගාරය මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට අයිති විය යුතුව තිබියෙදීයි.

එසේම මේ වනවිට එම ඇමරිකානු සමාගම, කෙරවලපිටියේ මෙගා වොට් 350ක තවත් බලාගාරයක් පිහිටුවීමට ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට අනුබද්ධ ‘ලක්දනවි’ සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇති බවද වාර්තා වනවා. එම බලාගාරය සඳහාද ගෑස් සැපයීමට නියමිතව ඇත්තේ එම ඇමරිකානු සමාගම විසිනුයි.

ඒ අනුව ලංකාවේ විදුලි බල සැපයුමෙන් මෙගා වොට් 1000කට ආසන්න බලශක්ති සැපයුමේ පාලනය මෙම නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගම සතු වනවා. මෙය රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව අවදානමකට ඇද දමන බරපතළ කරුණක් වෙනවා.

එමෙන්ම මේ කෙරවලපිටිය බලාගාර සඳහා ගෑස් නළ පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් සහ ගෑස් ගබඩා කිරීම සඳහා වූ පාවෙන ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම වෙනුවෙන් මේ වසරේ මුල් භාගයේදී විදුලි බල අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනු ලැබ තිබුණා. එම ටෙන්ඩරයේ කාලය අවසන් වී තිබුණේ පසුගිය ජුනි මාසයේයි. දැනගැනීමට ඇති පරිදි එම ටෙන්ඩරය වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩලයක් බඳවා ගනු ලැබ තිබූ අතර වෙනම කාර්යාලයක්ද විවෘත කරනු ලැබ තිබුණා. එසේ තිබියෙදී මෙම ඇමරිකානු ෆෝට්ට‍්‍රස් සමාගමටම එම ඉදිකිරීම් දෙකද ලබා දීමට මෙම කැබිනට් පත‍්‍රිකාව මගින් කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

එසේම බලාගාර සඳහා අවශ්‍ය වන ගෑස් මාසිකව හෝ වාර්ෂිකව ටෙන්ඩර් මගින් ලබා ගත යුතුව තිබුණත් එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05ක කාලයකට මෙම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ලබා දී තිබෙන බවද වාර්තා වනවා.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු විදුලි බල අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

කෙරවලපිටිය බලාගාර සඳහා ගෑස් නළ පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් සහ ගෑස් ගබඩා කිරීම සඳහා වූ පාවෙන ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම වෙනුවෙන් විදුලි බල අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවනු ලැබ තිබුණේද?

ටෙන්ඩර් කැඳවනු ලැබූවේනම් ඒ කවරදාද? ඒ ටෙන්ඩරය අවසන් වී තිබුණේනම් ඒ කවදාද? එසේනම් කවර හෝ සමාගමක් ඒ සඳහා තෝරා ගනු ලැබ තිබුණේද? එසේනම් එහි නම කුමක්ද?

ටෙන්ඩර් ඉල්ලුම්කරුවන් අතර නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි නමින් සමාගමක් පැවතියේද? තෝරා ගනු ලැබුවේ එම සමාගමද?

ටෙන්ඩර් කැඳවනු ලැබ තිබූ ව්‍යාපෘතිය ටෙන්ඩර් පරිපාටියට පිටින් නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගමට පැවරීමට තීරණය කර තිබේද?

ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනු ලැබ, එය අවසන් කර තිබියෙදී එය අවලංගු කර එම ව්‍යාපෘති කැබිනට් පත‍්‍රිකාවක් මගින් විදේශීය සමාගමකට පැවරීම අනුමත කරනු ලබන්නේද?

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි ඇමරිකානු සමාගමත් මූලික ප‍්‍රතිපත්තිමය ගිවිසුමක් අත්සන් කොට තිබේද? එය මෙම සභාව හමුවේ තැබීමට කටයුතු කරන්නේද?

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රාජ්‍ය අයිතියෙන් 40%ක් නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි ඇමරිකානු සමාගමට ලබා දීමට ආණ්ඩුව සූදානම් වන්නේද?

කෙරවලපිටිය ‘ලක්දනවි’ සමාගම, එම ඇමරිකානු සමාගම සමග හවුල් බලාගාර ඉදිකිරීමක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේද?

ගෑස් සැපයීමේ අයිතිය වසර 05ක කාලයකට මෙම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ලබා දී තිබේද?

මෙම විදුලි බල උත්පාදනයේ හිමිකම විදේශීය සමාගමක් අතට පත්වීම රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව අවදානමකට ඇද දමන පියවරක් නොවන්නේද? රටේ බලශක්ති අයිතිය ඇමරිකානු සමාගමකට පැවරීම පිළිබඳව ස්ථාවරය කුමක්ද?

lanka truth