Language Switcher

V2025

ශ්‍රීලනිපයේ බහුතරය රනිල්ට විරුද්ධව : චන්ද්‍රිකාගේ තීන්දුව ශ්‍රීලනිපයට දැනුම්දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදිය යුතු බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බහුතර මතය වී ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍යවරයෙකු උපුටා දක්වමින් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග මේ බව සඳහන් කරන අතර අග්‍රාමාත්‍ය රනිල් ඉවත්කර ඒ වෙනුවට ශ්‍රීලනිප ජේෂ්ටයෙකු එම තනතුරට පත්කර ගැනීමේ අපේක්ෂාවක් පවතින බවද එම ආරංචිමාර්ග සඳහන් කරා සිටියි.

මේ පිළිබඳ දැනට වාර්තා වන තොරතුරු වලට අනුව නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ එස්.බී. දිසානායක යන අමාත්‍යවරුන්ගේ නම් අග්‍රාමාත්‍යධුරය සඳහා යෝජනා වී ඇත.

එස්.බී ට සහ යාපා ගැන ඒකාබද්ධය උනන්දු නෑ !

කෙසේ නමුත් එස්.බී දිසානායක සහ අනුර ප්‍රියදර්ශන යාපා සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශවය එකඟතාවක් දක්වා නොමැත. ඒ හේතුවෙන් අගමැතිධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා යෝජනා කිරීමට එකඟත්වයක් ඇතිව තිබේ.

පසුගියදා මාධ්‍ය හමුවේ බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් ශ්‍රීලනිපයේ අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වාගේ නම සඳහන් කරන්නට යෙදී ඇත්තේද ඒ අනුවය.

චන්ද්‍රිකාගෙන් ප්‍රබලයෙකුට ඇමතුමක් !

මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රීලනිපයේ සිටින තම පාක්ෂිකයන් වෙත දැනුම්දී ඇත්තේ මේ අවස්ථාවේ කිසිඳු ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව පරාජය කිරීමට සහය නොදෙන ලෙසය. ආණ්ඩුවේ සිටින ප්‍රබල අමාත්‍යවරයෙකු හරහා මේ බව පක්ෂය තුළට දැනුම්දීමට හිටපු ජනාධිපතිවරිය කටයුතු කර ඇති අතර අග්‍රාමාත්‍යවරයා පරාජය කිරීමට පක්ෂය තීන්දුවක් ගතහොත් ඊට කොන්දේසි විරහිතව විරෝධය පළකරන ලෙසද ඇය දැනුම්දී ඇත.

මෙහිදී හිටපු ජනාධිපතිවරියගේ ස්ථාවරය වී ඇත්තේ පවතින ආණ්ඩුව නියමිත කාලය පවත්වාගෙන යා යුතු බවත් අතර මැද වෙනස්කම් සිදුකිරීමට යාම හමුවේ ඉක්මන් මහමැතිවරණයක් වෙත යාම සුදුසු නොවන බවය. එසේම 2015 ජනාධිපතිවරණය හමුවේ වත්මන් ජනාධිපතිට සහය නොදුන් කිසිවෙක් විශ්වාස කර හදිසි තීන්දු නොගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම්දෙන ලෙසද ඇය ශ්‍රීලනිපයේ ප්‍රබලයා දැනුවත් කර ඇත.

සිරිසේන ජනාධිපතිට තියෙන ටිකත් නැතිවෙන වැඩක් !

එහිදී හිටපු ජනාධිපතිවරිය පෙන්වාදී ඇත්තේ යම් ආකාරයට විශ්වාසභංගය ජය ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකි වුවහොත් එය ජනාධිපතිවරයාට වඩා මහින්ද රාජපක්ෂ ලැබූ ජයක් බවට තහවුරු වන බවත් ඒ හේතුවෙන් පක්ෂය තුළ තිබෙන පාලනයත් සිරිසේන ජනාධිපතිවරයාට අහිමිවීයාමේ අවධානමක් පවතින බවය.

අග්‍රමාත්‍යධුරයේ කිසිඳු වෙනසක් සිදුනොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියේද ඇයගේ මෙම ස්ථාවරය නිසාය. එසේම තමන්ද අගමැති තනතුර සදහා තමන්ද සූට් මහගෙන සිටින බව සඳහන් කරමින් මේ වන විටත් අගමැතිවරයා වීමට අපේක්ෂාවෙන් සිටින පාර්ශව උපහාසයට ලක්කරන්නට ඇය කටයුතු කළේද ඒ අනුව බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

අද (25) ජනාධිපතිවරයා පකිස්ථාන සංචාරය අවසන් කොට ලංකාවට පැමිණ සිටින අතර මේ වන විටත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධව හිටපු ජනාධිපතිනියගේ ස්ථාවරය ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.