Language Switcher

V2025

ගෝඨාභයගේ ආරක්ෂාව රංගජීවටත් : යුක්තිය පතන අයට අබ සරණයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට ගත නොහැකිව පවතින්නේ දේශපාලන මැදිහත්වීමක් මත බව වාර්තා වෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමේදී පොලිස් පරීක්ෂක රංගජීව ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ද සමග පැමිණ සිරකරුවන් තෝර තෝරා ඝාතනය කළ බවත් ඒ සඳහා කළින් සුදානම් කරගත් ලැයිස්තුවක් ඔවුන් සතුව වූ බවත් වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේදී පත්කළ කමිටුව හමුවේද අනාවරණයවී තිබිණ.

කෙසේ නමුත් අදාළ ඝාතන සිදුවීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධව එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙතද චෝදනා එල්ල විය.

එසේම මිග් ගනුදෙනුවේ සිට ලසන්ත ඝාතනය, රතුපස්වලට හමුදාව යවා ජනතාවට ජීව උණ්ඩ යොදා වෙඩි තැබ්බවීම, රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම හරහා රාජ්‍ය මුල්‍ය අවභාවිතා කිරීම ඇතුළු චෝදනා රැසක් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇතත් ඒ කිසිවක් සම්බන්ධව විමර්ශන නිසි ලෙස සිදු නොවන තත්ත්වයක් පෙන්නුම් කරයි.

දේශපාලන ගනුදෙනුවක් !

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සමඟ ආණ්ඩුවේ පාර්ශව මේ චෝදනා විමර්ශන යට ගැසීම වෙනුවෙන් දේශපාලන ගනුදෙනුවක යෙදී සිටින අතර පොලිස් පරීක්ෂක රංගජීව අත්අඩංගුවට ගැනීම වලක්වා ඇත්තේද එම දේශපාලන ගනුදෙනුව මතය.

ආණ්ඩුවේ ප්‍රබල මැදිහත්වීමක් !

එසේම මේ වන විටත් ඔහුට එරෙහිව එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධව සිදුවන නෛතික කටයුතු අඩාල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වලන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරමින් සිටින අතර එම නීතිමය ආවරණය ලැබී ඇත්තේද ආණ්ඩුවේ ප්‍රබල මැදිහත්වීමක් මත බවත් වාර්තා වෙයි.

නිලධාරීන්ට බැනලා වැඩක් තියනවද ?

කෙසේ වුවත් පසුගිය රජය සමයේ සිදු වූ විවිධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇණහිට තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ නිසා බවට එම ආයතන චෝදනා ලබා ඇති නමුත් එම ආයතන අක්‍රීය වීමටද මේ දේශපාලන ගනුදෙනු හේතුවී ඇති බව සඳහන් වෙයි.

2019 වන තුරු මොකුත් වෙන්නේ නෑ !

මේ වන විටත් පොලිස් පරීක්ෂක රංගජීව, තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති අතර විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට පත්වීම වැලැක්වීමේ තීන්දුවක් ලබාදීමට ඉඩ තිබෙන බවය.

 ඒ අනුව අප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පවතින දේශපාලන ගනුදෙනුව මත පසුගිය ආණ්ඩුවේ වංචා දුෂණ කිසිවක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මකවීමක් අපේක්ෂා කල නොහැකි බවය. එසේම එම සමයේ සිදුවූ ඝාතන සම්බන්ධවද නීතිය ක්‍රියාත්මකවීමක් අපේක්ෂා කල නොහැකි බවත් වාර්තා වෙයි.