Language Switcher

V2025

මැයි 1 ගැන තීන්දු ගන්න ආගමික ප්‍රභූ තන්ත්‍රයට හෝ පාලකයන්ට අයිතියක් නෑ - පෙසප

ආණ්ඩුවට හැම පැත්තෙන්ම ජනතාවගේ අප්‍රසාදය එල්ල වෙමින් තිබෙන නිසා එය වසාගන්න කම්කරු දිනයට මුවාවී තවත් වංචාවකට අරාඳින බවත් ආගමික ප්‍රභූ තන්ත්‍රයකට හෝ පාලකයින්ට අවශ්‍ය ලෙස වැඩකරන ජනතාවගේ දිනය උදුරා ගන්න තමන් ඉඩනොතබන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

අද (28) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව අවධාරණය කළ අතර ඔහු මේ ප්‍රතිචාරය දක්වා සිටියේ ජනාධිපතිවරයා විසින් මැයි 1 කම්කරු දින සැමරුම මැයි 7 වනදාට කල් තැබීමට කැබිනට් තීරණයක් ගෙන ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කර සිටියේ ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 1 වැනිදාට යෙදී ඇත්තේ වැඩ කරන ජනයාගේ ලෝක පරිමාන සහයෝගිතාව හා අයිතිවාසිකම් උදෙසා අරගලය ශක්තිමත් කිරීමට මිස පාලකයන්ට අවශ්‍ය ලෙස එය සැමරීමට නොවන බවය.

එසේම කම්කරුවන්ගෙ ජාත්‍යන්තර සහයෝගිතාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් වන අරගලය සංකේතවත් කරන මේ දිනය පවත්වනවද නැද්ද සහ පවත්වන්නෙ කොහොමද යන්න තීරණය කරන්නේ ඇමතිවරු නොවන බවත් එය කම්කරු පන්තිය, කම්කරුවන්ගෙ සංවිධාන විසින් තීරණය කළයුක්තක් බවද පැවසීය.

කම්කරු දින සැමරුමට 2019ට වසර 200 යි

ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 1 වනදා බව 1889 වසරේ තීරණය කර එළඹෙන වසරට අවුරුදු 200ක් වන බවත් මෙම ජාත්‍යන්තර කම්කරු දිනය වෙනස් කරන්න දරණ මේ වංචනික උත්සාහය පිළිකුලෙන් හෙළාදැකිය යුතු බවද පැවසීය.

1886 මැයි මාසෙ එක්සත් ජනපදයෙ චිකාගෝ නගරයේ කම්කරුවන් සටන් කළේ පැය 8 වැඩ දිනය ඇතුලු අයිතිවාසිකම් වෙනුවෙන් බවත් එදින පොලිස් වෙඩිතැබීම නිසා ඔවුන් ගෙන ගිය සුදු කොඩි ලෙයින් රතු පාට වූ බව සිහිපත් කළ ලේකම්වරයා එතැන් පටන් ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය රතු ධජය තමන්ගෙ ධජය බවට පත් කරගත් බවත් ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස මැයි 1 වැනිදා නම් කරනු ලැබුවෙත් චිකාගෝ කම්කරුවන්ගෙ අරගලය සමරන අදහසින් වන බවද සිහිපත් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා,

"මේ ආණ්ඩුවේ නායකයන් 2015 මැතිවරණවලදි ගොවියන්ට, කම්කරුවන්ට රටේ සමස්ත වැඩ කරන ජනතාවට බොරු කියලා බලයට ආවා. පසුගිය අවුරුදු 3 පුරාම වැඩ කරන ජනතාවට කිසිදු සහනයක් නැති පාලනයක් ගෙන ගියා. මේ වනවිට ජනතාව පොදුවේ සමාජ ආර්ථික පීඩාවලින් බැට කමින් ඉන්නෙ.

ආණ්ඩුවේ අප්‍රසාදය වහගන්න කම්කරු දිනයට මුවාවෙන්න හදනවා

වැඩ කරන ජනතාවගෙ අයිතිවාසිකම් කප්පාදු කරන්න නීති සංශෝධන ගෙනාව ආණ්ඩුව ජනතාවගේ ජීවිතය දැඩි දුෂ්කරතා රැසකට ඇද දමලා තිබෙනවා. වැටුප් වැඩි කරන්න කිව්වම මහ මග පහර දෙන්න, කම්කරු අරගල මැඩ පවත්වන්න මර්දන හමුදාව පාවිච්චි කරනවා. මේ දිනවල පවතින සරසවි අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට කිසිඳු සාධාරණ විසදුමක් දෙන්න මැදිහත් නොවීම නිසා මාසයක් තිස්සේ සරසවි අධ්‍යාපනය කඩා වැටිලා. ඒ නිසා ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදය හැම පැත්තෙන්ම එල්ල වෙමින් තිබෙන නිසා මේ අප්‍රසාදය වසාගන්න කම්කරු දිනයට මුවා වෙලා ජනතාවට වංචා රකන්න දෙන්න බෑ.

ජනතාව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ආණ්ඩුවට අභියෝග කරන්න ඒකරාශි වන ජාත්‍යන්තර කම්කරු දිනයට බය වෙලා ආණ්ඩුව මේ තීරණය අරගෙන තිබෙනවා. නමුත් අපි මේ රටේ වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති, වාමාංශික පක්ෂ එකතු වෙලා මේ තත්වය පරාජය කරන්න කටයුතු කරනවා. කමුකරුවන් ඇතුළු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උදුරාගෙන කොදු කඩලා මේ ආකාරයට කම්කරු දිනය පවා පවත්වන්න අවහිර කරනවා නම් අපි ආණ්ඩුවට කියනවා, ඒකට ඉඩ දෙන්නෙ නෑ.

ජයවර්ධන සහ මහින්දත් ඔය දේම කළා

මීට පෙර 1987 ජේ.ආර්.ජයවර්ධන 1987 කම්කරු දිනය තහනම් කළා. නමත් මේ රටේ ප්‍රගතිශීලි ජනතාව ඇතුඵු විවිධ වාම කණ්ඩායම් ඒකරාශි වෙලා නාරාහේන්පිට අභයාරාමෙදි කම්කරු දිනය පවත්වන්න කටයුතු කළා. ඒ අවස්ථාවෙ රාජ්‍ය මර්දනය තමයි පිළිතුර වුනේ. ලේස්ලි ආනන්ද සහ කිත්සිරිමෙවන් රණවක යන සහෝදරවරු ආණ්ඩුවේ හමුදා විසින් වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වුණා. නමුත් අයිතින් වෙනුවෙන් ජනතාව ගෙනගිය ගිය අරගලය අවසන් වුණේ නෑ. 2006 මහින්ද රාජපක්ෂ පාලනය විසින් ජාත්‍යන්තර කම්කරු දිනය අවලංගු කරන්න කටයුතු කළා. සංවිධානය දුර්වල වුණු වමේ බලවේග දුර්මුඛව සිටි නිසා එය යම් ආකාරයකින් සාර්ථක වුණ.

සියළු බලවේග එක්කර මීට එරෙහි වෙනවා

නමුත් අපි කියනවා මේ සැරේ ආණ්ඩුවට අවශ්‍ය විදියට, මේ රටේ සියලු පීඩිත ජනතාව සහ වැඩකරන ජනතාව සමග ඒකාබද්ධව ආණ්ඩුවේ මෙම බලහත්කාරී තීරණයට එරෙහිව වමේ පක්ෂ සහ වෘත්තිය සමිති විසින් ඒකාබද්ධව කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුව ගත්ත ජනතා විරෝධී පිළිවෙතට එරෙහිව සියලු බලවේග ඒකරාශි කරමින් අපි මේ අරගලය කරන බව ප්‍රකාශ කරනවා."