Language Switcher

V2025

''විශ්වාසභංගයේ ජය පැරදුම ජනපති අතේ'' - මහින්ද

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දක්‌වන උනන්දුව අනුව එය සාර්ථක වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

'දිවයින' පුවත්පතට ප්‍රකාශයක් දෙමින් ඔහු එබව සඳහන් කර තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාවට එජාපයේම මැති ඇමැතිවරුන් පිරිසක්‌ද උනන්දු වන බව පවසන හිටපු ජනාධිපතිවරයා, එක්‌සත් ජාතික පක්‍ෂය අද මුහුණ පා තිබෙන තත්ත්වය නිසා එම පක්‍ෂය ඉදිරියට රැගෙන යා යුතු අය පිළිබඳවද ගැටලුවක්‌ මතු වී ඇතැයි කීයා සිටියි.

 ජනාධිපති සිතන්නේ කෙසේදැයි තක්සේරු කරගැනීම:

මේ අතර පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කල පේරාදේනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති, ආචාර්ය චරිත හේරත් මහතා, විශ්වාස භංගය සම්බන්ධයෙන් 'ලංකාදීප' පුවත්පතට යොමුකර ඇති විශේෂ ලිපියක සඳහන් වන්නේ ද විශ්වාසභංගය ජයගැනීමට නම් කළමනාකරණය කරගත යුතු සාධක අතර වැදගත්ම එකක් වන්නේ මේ කාරණය පිළිබදව ජනාධිපතිවරයා සිතන්නේ කෙසේදැයි හරියට තක්සේරු කරගැනීම බවයි.

ජනාධිපතිවරයාගේ සහාය නොලැබෙන යෝජනාවකින් මේ රජයේ අගමැති මේ මොහොතේ අස්කළ නොහැකි බව ඔහු සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

සිරිසේන ජනාධිපතිව සීරියස් ගන්න ඕනෙද?

විශ්වාසභංගය ජයගන්න ‘ජනාධිපති සිතන්නේ කෙසේදැයි තක්සේරු කරගැනීම වැදගත්’ බවට ආචාර්ය චරිත හේරත් මහතාගේ කල සඳහන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති දේශපාලන විචාරයකු වන දීප්ති කුමාර ගුණරත්න මහතා පවසන්නේ, කෙනෙකුගේ ආශාව කියවීම අසීරු කටයුත්තක් බවයි.

එම කාරණය ඔහු මෙසේ විග්‍රහ කරයි.

''චරිත හේරත් මහත්මයා කියනවා ජනාධිපතිගේ මනස කියවීම වැදගත් කියලා. ඒක ඇත්ත. ඒ වගේම ජයදේව උයන්ගොඩ මහත්තයත්, මම දැක්ක රාවය පත්තරේට ලියල තියෙනවා.

මේකෙදී ජනාධිපතිවරාගේ මනස කියවන්ට පුලුවන්නම් හොඳයි කියලා. ඒත් හරි අමාරු වැඩක් කෙනෙක්ගෙ ආශාව කියවනවා කියන එක.

ඉතින් මට කියන්න තියෙන්නේ මේකයි. මේකෙ බලවේග තුනයි. මේ විශ්වාසභංගය හරහා බලවේග තුනක් ගැටෙනවා. පසමිතුරුතාවයන් තුනක් හමුවෙනවා අපිට. එකක් අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායම, අනික් පැත්තෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම, තව පැත්තකින් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම.

මෙන්න මේ පසමිතුරුතාවයන් තුන මෙතන හම්බවෙලා තියෙන්නේ. එතකොට මේ පසමිතුරුතාවයන් තුන කොහොමද කළමණාකරනය කරන්නේ කියන එක මිනිස් බුද්ධියකට හැර වෙන කිසිම දේකට කරන්න බැහැ

මේ වෙලාවේ මම කියන්නේ. මේ පන්සල්වල ගිහින් පූජා තියලා දේවාලවල බිලි පූජා තියලා ඒවා කරන්න බැහැ.

''මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්නවලට කිසිම සම්බන්ධයක් නැහැ""

අනිත් එක මේක ඉතාම පැහැදිළි මේ බලවේග තුන අතර මේ යන ගැටුම, මේ වෙලාවේ සමාජයේ තියෙන සාමාජීය බලවේග, මිනිස්සු හැසිරෙන විදිය, මිනිසුන්ට තියෙන ඇත්ත ප්‍රශ්නවල අතර කිසිම සම්බන්ධයක් නැහැ.

මේ වෙලාවේ මට අනුව. අරවා වෙනමම තියෙනවා, මේ තට්ටුව වෙනමම ප්‍රශ්නයක්. මේක ඇත්තටම පාර්ලිමේන්තු දේශපාලනය පිළිබඳ අර්බුදයක්, පාර්ලිමේන්තුව කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ.

ඉතින් එහෙම පිළිබඳ ප්‍රශ්නයක් මිසක් රටේ අනාගතය පිළිබඳ, රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක්, රටේ සමාජ ආර්ථික ගැටලු විසඳීම පිළිබඳ ප්‍රශ්නයක්, රටේ ජාතික ගැටළුවට ස්ථීරසාර විසඳුමක් පිළිබඳ ප්‍රශ්නයක්, ධනේශ්වර ක්‍රමය වර්ධනයත් එක්ක මාධ්‍යවල මේ හැසිරීම පිළිබඳ පාලනයක් අවශ්‍ය ප්‍රශ්නයක්, එවැනි ප්‍රශ්නවලට උත්තර මේවයින් ලැබෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස.''

වීඩියෝ