පයින් ගසා එළවන්න කලින් ඉවත් වෙන්න ඕන - ඇමති පාඨලී

පයින් ගසා එළවන්න කලින් ඉවත් වෙන්න ඕන - ඇමති පාඨලී

ආදි ශිෂ්‍ය කල්ලි, ගජ මිතුරු කල්ලි හෝ පවුල් කල්ලි මගින් රටක් ඉදිරියට නොයන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

රටක් ඉදිරියට යන්නට නම් ප්‍රජාතන්ත්‍රවාදීව නව තරුණ පිරිසකට නායකත්වය ලබාදිය යුතු බවත් එය ප්‍රතික්ෂේප කරන සියළු දෙනා සිදුකරන්නේ රාජපක්ෂගේ පවුල්වාදී දේශපාලනයට පාර කැපීම බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

කොළඹ පැවති ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජාතික පෙරමුණ යටතේ තේරී පත්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දිවුරුම්දීමේ අවස්ථාව අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේය.

වමේ පක්ෂ ගිය මළගම එජාපයටත් !

පයින් ගසා ඉවත් කිරීමට කළින් මිනිසුන් දේශපාලනයෙන් ඉවත්විය යුතු වෙලාවට ඉවත්වීමට පුරුදු විය යුතු බවත් එසේ නොකරනතාක් එම පක්ෂ මෙන්ම එම දේශපාලනයද පරාභවයට යන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

ඊට හොඳම උදාහරණය මෙරට වාමාංශික දේශපාලනය බවත් එන්.එම්. පෙරේරා අවුරුදු අසූ ගණනක් යනතුරු ඔහුගේ පක්ෂයේ නායකයාව සිටි බවත් 82 ජනාධිපතිවරණය හමුවේ වමේ දේශපාලනය අවසන් ගමන් ගිය බවද අමාත්‍යවරයා සිහිපත් කර සිටියේය.

ඒ බව සිහිපත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එවැනි තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂයත් සිදුවිය හැකි බවත් එවැනි මළගමක් යාමට තම පාර්ශවය සුදානම් නැති බවත්ය. එසේම වෙනස් විය යුතු වෙලාවේ වෙනස් කම් සිදුකල යුතු බවත් නැතිනම් වෙනස් කිරීම වෙනුවෙන් තම පාර්ශවය ඉදිරිපත් වන බවද අමාත්‍යවරයා පැවසීය.

2019 ජනාධිපතිවරණයට සුදානම් වෙමු

2019 ජනාධිපතිවරණයට දැන් සිට පෙළගැසිය යුතු බවත් ඒ සඳහා ආර්ථික දේශපාලන සහ සමාජීය වෙනස්කම් කඩිනමින් කරන අතර එජාපයේ සහ ශ්‍රීලනිපයේ මෙන්ම ඒ සමඟ සිටින දේශපාලන ව්‍යාපාර වල වැඩ කළ හැකි තරුණ පාර්ශවයන්ට වගකීම් පවරා එම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට කැපවිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ජනාධිපතිතුමාගේ පැත්තට ඡන්දය දුන් ලක්‍ෂ 17 යි අගමැතිතුමා ඇතුළු මේ පැත්තට දුන් ලක්‍ෂ 36 දෙකම එකට එකතු කර ගන්න පුළුවන් වෙන්නේ ඒ පක්ෂ දෙකේ සිටින තරුණ පිරිසට බලය ලබාදීමෙන් පමණයි.

ඒ වගේම මේ රට ෆෙඩරල් රටක් කරන්න නැවත ඉඩක් නැති බව ඉතාම පැහැදිලියි. ඒ නිසා අපි සියළු දෙනාම මේ තියන තත්වය පිළිගෙන රටේ අනාගත සාමය සමෘද්ධිය, සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරමු. රටේ එකීය භාවය අපි කිසි විටෙක වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම රටේ අනාගත ඉදිරි ආර්ථික ගමන් මගත් වෙනස් කළ යුතුයි. ඒ නිසා තමයි අපි යෝජනා කලේ නවෝත්පාදන ආර්ථිකයක්. කුසලතාවයට මුල්තැන දෙන රටක්. අපේ අමාත්‍යාංශ මූල්‍ය වශයෙන් ශක්තිමත් කරද්දි, පදවි තනතුරු දෙද්දි අපි අපේ පාක්ෂිකයන්ට දීලා නෙමෙයි, කුසලතාවය ඇති පිරිස්වලට මුල්තැන දී තමයි අපේ අමාත්‍යාංශවල ජයග‍්‍රහණ ලබාගැනීමට කටයුතු කරන්නේ. එම ජයග‍්‍රහණ අනාගතයේ රටටත් විශාල ආදර්ශයක් බවට පත් කර තිබෙන්නේ යැයිද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න