Language Switcher

V2025

රනිල්ට මාසයයි පුළුවන් ද : රනිල්ට බැරි නම් පුළුවන් කාටද ?

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබා මාසයක් ගතවී ඇත. දැන් අහන ප්‍රශ්නය රනිල්ට පුළුවන් ද යන්නය. ඊට පෙරළා නැගිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ "රනිල්ට බැරි නම් පුළුවන් කාටද ?" යන්නය.

මේ ප්‍රශ්නය වර්තමාන දේශපාලන - ආර්ථික හැසිරීම හමුවේ කිහිපවරක් නැගූවද වැඩි නැත. සැබවින්ම දේශපාලන ප්‍රොපගැන්ඩා සහ දේශපාලන යථාර්ථය යනු එකක් නොව දෙකක් ය. එහෙත් එකක් අනික මත ඇතිකරන පීඩනය සුළුපටු නැත. ප්‍රොපගැන්ඩා විසින් මොන මතයක් හැදුවත් දේශපාලන යථාර්ථයෙන් ගැලවීමක් ද නැත.

මේ මොහොතේ තරම් ඒ බව ප්‍රායෝගිකව අත්විඳින තත්ත්වයක් මෑත ඉතිහාසයේ මතකයට එන්නේද නැත.

🎯 රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාවේ ඉරණම !

"රනිල්ට බෑ" කියා ප්‍රොපගැන්ඩා හදන්න යාම තවදුරටත් වලංගුත් නැත. ඒ අදාළ ප්‍රොපගැන්ඩාව හැදූවන් ඒ බව ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති නිසාය. ඒ රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව හැදුවේම රනිල්ට පුළුවන් බව හොඳින්ම දැන සිටි නිසා කියමින් ය.

මේ ඒ ගැන අටුවා ටිකා ලියන අවස්ථාව නොවේය. ඉතිහාසයේ එකම දේ දෙවරක් වන්නේ , පළමුව ඛේදවාචකයක් වූ දේ, දෙවනුව හාස්‍යක් කරමින්ය .

පළමුව රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව අවසන් වුණේ රාජපක්ෂ පවුල් පාලනය දරුණු ඒකාධිපතිත්වයක් බවට පත්කරමිනි. දෙවනුව රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව අවසන් වූයේ ට්‍රැජි කොමඩියකිනි.

ඒ මොහොත මෙසේ සාරාංශ ගතකිරීමට පුළුවන. දෙවනුව රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව නිර්මාණය වුණේ, ජාතික ආරක්ෂාව , දේශීය ආර්ථිකය මුල් කරගෙනය. එහි අවසානය සටහන් වුණේ, ජාතික ආරක්ෂාව තබා තමාගේ ආරක්ෂාවවත් තහවුරු කරගන්න අසමත් ජනාධිපතිවරයෙකු බිහිකරමිනි. දේශීය ආර්ථිකය නම් විගඩම කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට ඇද දමනින් ය.

අවසානයේ ප්‍රතිඵලය සටහන්ව ඇත්තේ , ජාතික ආරක්ෂාව සහතික කරන අතර තුර මිහිමත යන එන මං නැතුව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව උපන් බිමට එන්න ආරක්ෂාව සැලසීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ උරමතට පැමිණෙමිනි.

ලංකා ඉතිහාසයේ මුහුණදීමට සිදුව ඇති දරුණුතම ආර්ථික අර්බුදයෙන් ලංකාවේ ජනතාව බේරාගැනීමේ වගකීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උරමතට පැමිණෙමිනි.

රනිල්ට බෑ කියූ දෙවැනි ප්‍රොපගැන්ඩාවේ ඊට වඩා දෙයක් ඇත්නම්, ඒ ලංකා ඉතිහාසයේ අසාර්ථකම විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉතිහාසයට එක්වීමය.

🎯 ඉතිහාසයේ සාක්ෂිය : ශක්තිමත් බැස්ටීල බින්ද විපක්ෂ නායක රනිල් !

රනිල්ට බෑ යන ප්‍රොපගැන්ඩාව කුඩු කරන්න ලංකා ඉතිහාසයේ දුර්වලම විපක්ෂ නායක ලෙස සජිත් ඉතිහාසයට එක්වීමත් හොඳටම ප්‍රමාණවත් ය.

ඔබට මතක නම් මෑත ඉතිහාසයේ ආර්ථිකය සෘන වූ චන්ද්‍රිකා පාලන සමයේ විපක්ෂ නායක රනිල් ය. ආර්ථිකය සෘන වූ අවස්ථාවේ දේශපාලන බලය ගන්න රනිල් වික්‍රමසිංහ සමත් වූවා පමණක් නොව , සෘන වූ ආර්ථිකය ධන කරන්නත් ඔහු ආණ්ඩුව මෙහෙයවීය.

තවත් උදාහරණයක් නම් තිස් අවුරුදු යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළීමය. 2009 යුද්ධය අවසන් වූ අවස්ථාවේ දේශපාලන විචාරකයන් බහුතරයක් හිතුවේ තවත් අවුරුදු 25 කට ලංකාවේ පාලනය රාජපක්ෂවරුන් ගෙන් ගැලවීම සුම්මා කියාය. එහෙත් දේශපාලන විචාරකයන් කඳ හරහා වට්ටමින් 2010 ජනාධිපතිවරණය වන විට රට තුළ රාජපක්ෂවරුන් තිත්ත වෙන තැනට දේශපාලනය හසුරවන්න සමත්වූ කප්පිත්තා රනිල් වික්‍රමසිංහ විය.

ඓතිහාසික දේශපාලන වරදක් ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නොගෙනෙන්න එදා රත්වුණ තැටියේ රොටිය කරකර ගන්න අවස්ථාවක් තිබුනා යන්න , ශක්තිමත් තර්කයකි.

ඊළඟ අවස්ථාව 2015 ජනාධිපතිවරණය අවස්ථාවය. ඊළඟ ජනාධිපතිවරණය අවස්ථාවේ බලය ගන්න සූදානම් වෙන්න කියා එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ කිව්වේය. 2014 සටන් පාඨය " පුළුවන් " යනුවෙන් ගන්නා ලෙස උපදෙස් දුන්නේ ය. විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් බිම් කොටා ආණ්ඩුව ගන්න බිම සකස් කළ නමුත් , දෛවයේ සරදමක් ලෙස ජනාධිපති අපේක්ෂකයා වූයේ , සිවිල් සමාජ ප්‍රමුඛ බලවේග උස්සගෙන ආ මෛත්‍රීපාල සිරිසේන ය.

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ගේ බිම් කෙටීම සාර්ථක වූ නිසා මෛත්‍රීපාල සිරිසේන උඩින්ම ජනාධිපතිවරණය ජය ගත්තේ ය.

දින 52 ආණ්ඩු කුමන්ත්‍රණය පවා ජයග්‍රහණය කරන්න තරම් රනිල් වික්‍රමසිංහ කෙරුමෙක් වූයේ , නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ හුරතල් දේශපාලන පුත්‍රයා ලෙස ප්‍රසිද්ධ වූ පසුබිමක බවත් මෙහිදී සිහිපත් කළ යුතුය.

අවසානයේදී සිරිසේන ජනාධිපති ගේ කෙරුවාව අවසන් වුනේ, දෛනික සරදම් කළේ රනිල්ට පමණක් නොව මුළු රටටම බව තහවුරු කරමින්ය .

🎯 ලංකා ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපති සහ අසාර්ථකම විපක්ෂ නායක සහ රනිල්ගේ දේශපාලන ක්‍රීඩාව !

ලංකා ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපති සහ අසාර්ථකම විපක්ෂ නායක බිහිවූයේ ඒ අනුවය.

එජාප නියෝජ්‍ය නායක වූ සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන ද්‍රෝහීකම් තීරණාත්මක වංගුවක් ගෙන එක්සත් ජාතික පක්ෂය අතුගා දැමීය. ඒ 2020 මහ මැතිවරණය අවස්ථාවේ ය.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට ඉතුරු වුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණය. බහුතරයක් හිතුවේ රනිල් ප්‍රමුඛ එජාපය " ගමනක අවසන " සටහන් වූ බවය.

එහෙත් බාධා රැසක් මැද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගෙන පාර්ලිමේන්තු පැමිණි රනිල් වික්‍රමසිංහ , දේශපාලන සෙල්ලම යළිත් ඇරඹීය.

ගෝලීය වසංගතයක් වූ කොරෝනා අවස්ථාවේ වෛද්‍යවරුන් පවා කළ යුත්තේ කුමක්ද යන්න සොයන විට, ජනාධිපති ගෝඨාභය කැඳවූ, සර්ව පාක්ෂික සමුළුව ඇමතූ රනිල් කිව්වේ, " වැක්සීන් එකක් එනතුරු මුව වැසුම් සහ අත්වැසුම් භාවිතා කරමු" කියාය.

ඒ කොරෝනා වෙනුවෙන් වූ ප්‍රතිකාර‍යක් නොව රෝගය වලක්වා ගැනීමට උපක්‍රමයක් විය. සෞඛ්‍ය ඇමතිනියගේ සිට බොහෝ දේශපාලන කුහකයන් එය හාස්‍යට ලක්කළ බව අපට මතකය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නිකුත්වීම සමග රනිල් වික්‍රමසිංහ නිවැරදි බව තහවුරු වුනේය.

අනතුරුව මෙරට ආණ්ඩුව කොරෝනා වසංගතයට එරෙහිව තෙල්, පැණි, දුම් වට්ටි, මැතුරූ කළ පස්සේ යමින් පිස්සු නටන විට, රනිල් කිව්වේ, ඉක්මනින් වැක්සීන ඇනවුම් කරන්න කියාය. රනිල් වික්‍රමසිංහට ඉස්සර කරන්න ගිය සජිත් කිව්වේ, ජාතියටම ප්ලැකනිල් ගස්සන්න කියාය.

අවසානයේ කොරෝනා මේ තරමට හෝ පාලනය කරගැනුනේ, රනිල් වික්‍රමසිංහ මුලින්ම කියූ වැක්සීන නිසා මිස, සජිත්ගේ ප්ලැකනිල් නිසා නොවේය.

🎯 ආසයි බයයි සජිත් සහ " මම කරලා පෙන්නන්නම්" රනිල් !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සෑම ක්ශේත්‍රයකම එකසේ අසමත් විය. ඊනියා බදු සහන හමුවේ රනිල් වික්‍රමසිංහ තනියම ඊට විරෝධය දැක්වීය. බොරු ජාතික පුරාජේරු වෙනුවට පණ අදින ආර්ථිකය ශක්තිමත් කරන්න IMF යන ලෙස පැවසීය . රසායනික පොහොර සහ යෙදවුම් තහනම රටේ සාගතයක් ඇති කරනු ඇතැයි කීවේය. ඩොලරය කෘතිම ලෙස පාලනය කිරීම විදෙස් සංචිත අර්බුදයකින් කෙලවර වනු ඇතැයි කිව්වේය.

මේ ආකාරයට ගෝඨාභය පාලනයේ වැරදි අඩුපාඩු ප්‍රසිද්ධියේ විවේචනය කරන්න පමණක් නොව , ඉදිරියේ ඇති අවධානමත්, කළ යුත්තේ කුමක්ද යන්නත් ප්‍රසිද්ධියේ කිව්වේ රනිල් වික්‍රමසිංහ ය. ඊට සජිත්ගේ ප්‍රතිචාරය වූයේ , ගෝඨාභය ආණ්ඩුව රනිල්ව ප්‍රමෝට් කරනවා කීම පමණය. ඒ නිසා අර්බුදය ආරම්භයේ කැඳවූ සර්ව පාක්ෂික සමුළු වර්ජනය කිරීමය.

🎯 නිශ්චිත මොහොතේ නිවැරදි ඉලක්කය ගැනීම !

අවසානයේ, ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය පැමිණියේය.
ගෝඨාභය පාලනයට එරෙහිව කොන්දේසි විරහිතව නිර්පාක්ෂික සාමකාමී අරගලයක් දියත් විය. ඉතිහාසයේ පළමු වතාවට මධ්‍යම පංතිය එහි කේන්ද්‍රය බවට පත්විය.

ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඉදිරියේ, අරගලය පාලනය කරගත නොහැකි වූ ජනාධිපති ගෝඨාභය , පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්කරවීය.

ඊළඟට ආණ්ඩුවක් හදන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ආරාධනා කළේය. එහෙත් බල දේශපාලනය සම්බන්ධයෙන් පමණක් නොව, සාමාන්‍ය දැනුමත් අහිමි, පාලම ඇති විටත් ඒදණ්ඩේ යන සජිත් විවිධ කොන්දේසි දමා ඒ අභියෝගය ප්‍රතිකේෂ්ප කළේය. සරත් ෆොන්සේකා ගේ සිට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි පාර්ශ්ව නම් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අලුත් ආණ්ඩුවක් සඳහා කැඳවීම් කළත්, අර්බුදය විසඳීමට තියා සමනය කරන්න, ඒ වෙනුවෙන් අභියෝගය බාරගන්න , ධෛර්යයක් ඇති නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් නැතිව අරාජිකත්වය වෙත යමින් තිබූ, ලංකාවේ සුක්කානම රනිල් වික්‍රමසිංහ බාරගන්නේ ඒ පසුබිමේ ය.

🎯 රනිල් දොස්තර වෙයි !

පාලනය බාරගත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ක්‍රමයට වැඩේ කරන්න ගත්තේ ය. ජනාධිපති ගෝඨාභය රටින් පළාගිය විට, ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය ලබාගන්නට කටයුතු කළේය.

විපක්ෂ නායක සජිත් හිටියේ , අවම වශයෙන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපති වෙන්න තරම් හෝ ධෛර්යය අහිමි කරගෙන ය. ජනාධිපති ධූරය තෝරණ ජන්දය සඳහා ඩලස් යෝජනා කර පැත්තකට වුනේ ඒ නිසාය.

පාර්ලිමේන්තුවේ ජන්දය හරහා ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ සුක්කානම අතට ගත්තේ ය. ලංකාව නම් ICU රෝගියා ට අවශ්‍ය ප්‍රතිකාර ප්‍රසිද්ධියේ කිව්වේය. ඒ වෙනුවෙන් සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් සියලු දෙනාට ආමන්ත්‍රණය කළේය.

ඒ වන විට අයාලේ යමින් ප්‍රචණ්ඩත්වය වෙත යොමුවූ අරගලයට පවා රට ගොඩනගන්න ආරාධනා කළේය. එදා LTTE සංවිධානය කැබලි වූ ආකාරයට අරගලය කැබලි වුනේ ඒ අනුවය.

ඉන්ධන , ගෑස්, පොහොර අඛණ්ඩව සැපයීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත් අතර , ඒ තුළ මධ්‍යම පංතිය ඔහු සම්බන්ධයෙන් නිල නොලත් විශ්වාසයක් තැබීය. ප්‍රකාශිතව මෙන්ම අප්‍රකාශිත ලෙසත්, "රනිල් සමහර විට කරයි- දීලා බලමු " ය සිතුවිල්ල බලයක් බවට පත්විය.

ආම්පන්න වෙත බනිමින් ඉන්න දුර්වල දේශපාලන කාර්මිකයා වෙනුවට ජනතාව වෙත විශ්වාසය කාන්දු කරන නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපති භූමිකාව පෙරට ගත්තේ ය.

රනිල් ගෙදර යවන්න සූදානම් කළ අගෝස්තු 09 අරගලය , රනිල් වික්‍රමසිංහ ගෙදර යවනු වෙනුවට අරගලය ගෙදර යැවුණේ ඒ අනුවය.

මාසයක් ඉක්මයන තැන ඉන්ධන පෝලිම් අවසන් විය. ගොවියාගේ පොහොර ප්‍රශ්නයට පිළිගත හැකි වැඩපිළිවෙළක් සකස් කෙරිණ . ගෑස් පෝලිම් අවස්ථාවේ කළා පමණක් නොව , මිලත් අඩු කළේය. ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට , සාගත තත්ත්වයක් ඇති නොවීමට පියවර ගැනිණ .

පාසල් අධ්‍යාපනය , රාජ්‍ය - පෞද්ගලික අංශය සුපුරුදු ලෙස සක්‍රීය කිරීමට පියවර ගත්තේ ය. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය මෙන්ම වෙළෙඳ පොළ හිඟය පියවීමට ක්‍රියාමාර්ග ගනිමින් ඇත. විදුලි කප්පාදුව පැය 12 සිට දිනකට පැය 2-3ක් දක්වා සීමා කර ඇත .

විදෙස් විනිමය අර්බුදය විසඳීමට IMF සමග සාකච්ඡා සාර්ථක කරගෙන ඉදිරියට යමින් ඇත . ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට සූදානම් කර ඇත .

ජනාධිපති ලෙස පත්ව, පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේ වික්‍රමසිංහ ජනාධිපති ලෙස,, අර්බුදය ජයග්‍රහණය කරවීමට මාර්ග සිතියම ඉදිරිපත් කර ඇත . සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික ඔස්තාර්ලා පවා ප්‍රසිද්ධියේ කියන්නේ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ තමන්ද අනුමත කරන බවය. ඔවුන් කවුරුත් සජිත්ගේ ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කියන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබා මාසයක් ගතවී ඇත. දැන් අහන ප්‍රශ්නය රනිල්ට පුළුවන් ද යන්නය. ඊට පෙරළා නැගිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ "රනිල්ට බැරි නම් පුළුවන් කාටද ?" යන්නය.

RRU වෙනුවෙන් :

එස්. එල්. ශ්‍යාම්