පොහොර වංචාවට වගේම හිඟයටත් තිත තැබෙයි !

 පොහොර වංචාවට වගේම හිඟයටත් තිත තැබෙයි !
“ලබන මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිළදී ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය පළ වී තිබෙනවා. යූරියා පොහොර මිළදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදී ඊට ලෝක බැංකුවේ නිර්දේශ ලැබෙනවා. එමනිසා ලබන මාස් කන්නයේ ලබාදෙන පොහොර වලින් රුපියලක් හෝ වංචා කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. සියලු මිළදීගැනීම් විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීමට කටයුතු කරනවා. ඒවගේම මනා විගණනයක් සිදු කරනවා. ඒ නිසා ඉදිරියේදී පොහොර ගණුදෙනු වලින් කාටවත් වංචා කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ” යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
 
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 න් දෙවන තොගය ඊයේ (22) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට නිල වශයෙන් භාරදුන් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
 
මෙසේ භාරදුන් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21000කි. කොළඹ වරායේදී මෙම යූරියා පොහොර භාර දීම සිදු කෙරුණු අතර එම අවස්ථාවට වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුලු පිරිසක් ද සහභාගී වූහ.
මෙහිදී මාධ්‍යට අදහස් පළ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, යල කන්නයේ වී වගා කළ ගොවීන්ට යූරියා පොහොර ලබා දීමේ දී කිසියම් ප්‍රමාදයක් සිදු වූවත් මෙ වන විට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය බෙදාහැර ඇති බවය. ඉන්දීය රජය විසින් ලබා දුන් පොහොර සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ චෝදනා ඉදිරිපත් කළේය. සමහරු යූරියා පොහොර තත්ත්වයෙන් බාල බවත්, විස සහිත බවත් ප්‍රකාශ කර තිබුණි. නමුත් මෙම යූරියා පොහොර තත්ත්වයෙන් ඉතාම උසස් බව ගොවි ජනතාවම දැන් ප්‍රකාශ කරන බවය.
 
ඉන්දීය රජය විසින් යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ලබා දීමට පියවර ගැනිණි. ඉන් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 44,000 ක් පසුගිය මාසයේ ලැබුණු අතර දෙවන තොගය මේ වන විට ලැබී තිබේ.යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර වලින් 98% ක් මේ වනවිට ගොවීන් වෙත බෙදා දී තිබේ. ඉතිරි 2% ඉදිරි කාලය තුළ බෙදා හැරීමට කටයුතු යොදා ඇති අතර, යල කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව තවත් යූරියා මෙට්‍රික් ටොන් 35, 000 ක් ඉතිරි වන අතර ඒවා ලබන මහ කන්නය ආරම්භයේදීම ගොවීන් වෙත බෙදා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.
 
මෙහිදී අදහස් පළකර ඇති ඉන්දීය මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ “ ශ්‍රී ලංකාවට අසල්වැසි හිතවතා වශයෙන් ලබා දිය හැකි සියලු සහයෝගය ලබාදෙනවා. මෙම යූරියා පොහොර ලබා දීමට හැකිවීම ගැන සැබෑවටම අපිට සතුටක් තියෙනවා. ඉන්දීය රජය හා ජනතාව සෑමවිටම ශ්‍රී ලංකා රජය සමග කටයුතු කරනවා” යනුවෙනි.
 
මේ සමඟ රසායනික පොහොර තහනම හේතුවෙන් අවධානමේ වැටුණු මෙරට කෘෂිකර්මාන්තය යළිත් පණ ගසා නැගිටින තැනට පත්වෙමින් ඇති බවට කෘෂි විශේෂඥයන් පළකරයි.
 
ඒ ඉදිරි මහ කන්නය වෙනුවෙන් ප්‍රමාණවත් පොහොර තොග මෙරටට ඇණවුම් කිරීමට සහ දේශීයව නිෂ්පාදනය කරන පොහොර වලද නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීමට ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව නිසා බවත් ඔවුන් පවසයි.
 
සුපුරුදු පරිදි  මහ කන්නයේ ඉහළ අස්වැන්නක් ලබාගැනීමට සහ  රටේ මතුවූ සාගතයක අවධානම අවම කර ගැනීමට මේ හරහා අවස්ථාව උදාවනු ඇති බවත් අවධාරණය කරන ඔවුන් ගොවි ජනතාව තුළ පොහොර සහ අනෙකුත් අයිතම සම්බන්ධයෙන් හිඟයක් ඇති නොවන තැනට විශ්වාසය ගොඩනැගීම , කෘෂි භෝග අස්වනු වැඩි වීමට පමණක් නොව ඒ ආශ්‍රිත මිළ සම්බන්ධයෙන්ද ධනාත්මක බලපෑමක් සිදුකරනු ඇති බවත් පවසයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න