තනි ආණ්ඩු බැහැ;කැබිනට් වෙනසක් කරනවා - ජනපති

තනි ආණ්ඩු බැහැ;කැබිනට් වෙනසක් කරනවා - ජනපති

පාර්ලිමේන්තුවේ පවතින මන්තී‍්‍ර ධුරවල ව්‍යුහය අනුව "එකතු වීම තුළ මිසක් කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශයක් නොමැති බව" තමන් පෙන්වා දී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය අවධාරණයෙන් සඳහන් කළේ අද (අප්‍රියෙල් 06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතමිනි.

"විශ්වාසභංග යෝජනාව තුළ ඇතිවුන ප්‍රතිඵලය අපි කවුරුත් දන්නවා.මේ තත්වය තුළ පාර්ලිමේන්තුවේ මොන විධියේ දේශපාලන ප්‍රශ්න සහ අර්බුද ඇති වුනත් ජනාධිපතිවරයා විධියට මම රටට වගකිව යුතුයි" ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම වගකීම් ඉටුකිරීමේ දී රජය ශක්තිමත් කිරීමට තමා බැඳී සිටින බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රටට වගකියන ජනාධිපතිවරයෙකු ලෙස රජය දුර්වල වීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.

"රජය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම අයෙකුට රජය සමග එක්විය හැකි අතර, ඒ වෙනුවෙන් තමා සියලුදෙනාට ආරාධනා කරන බවත්" ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසයි.

DaE0ESjVMAAluxg1
"යහපාලන රජයේ ඉදිරි ගමන ගැන අගමැති රනිල් වික්‍රමසිංහ සමග ඊයේත් සාකච්ඡාවක් පැවැත්වුණු බව" ජනපති පවසයි
අගමැති සමඟ සාකච්ඡා

ඉදිරි කාලය තුළ අමාත්‍ය පදවිවල විෂය පථයන්හි වෙනසක්ද සහිත පුළුල් කැබිනට් වෙනසක් සිදු කෙරෙන බව තහවුරු කළ ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ලබන සතියේ රැස්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණයක් ගන්නා බවත් ජනාධිපතිවරයා පවසයි.

අගමැති රනිල් වික්‍රම සිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහ ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අමාත්‍යවරුන් ගැන නැගුණ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා "යහපාලන රජයේ ඉදිරි ගමන ගැන අගමැති රනිල් වික්‍රමසිංහ සමග ඊයේත් සාකච්ඡාවක් පැවැත්වුණු බව" අනාවරණය කළේය.

මේ දිනවල සිදු කෙරෙන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීමේ කටයුතු පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන "මහජනතාවගේ ඡන්දයෙන් ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂ පරාජය කරමින්, විරුද්ධ පක්ෂවලට ඇතැම් ආයතනයන්හි බලය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර, මැතිවරණ ක‍්‍රමයේ පවතින එම විකෘතිභාවය හේතුවෙන් ජනමතයේ යටපත් වීමක් සිදුවන බව" පෙන්වා දුන්නේය.

පළාත් පාලන නියෝජිතයන් වැඩියි

එවැනි තත්වයක් යටතේ පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය වීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

පළාත් පාලන ආයතන සඳහා මන්තී‍්‍රවරුන්ගේ සංඛ්‍යාව 8000 කට අධික වීම කිසිසේත් රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

"ඒ නිසා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම ඉතාම අවශ්‍යයි. මේ පනත සංශෝධනය කිරීම තුළ මම යෝජනා කරනවා -අමාත්‍ය මණ්ඩලයට - මේ 8000 අනිවාර්යයෙන්ම 4000 කට අඩු කරන්න කියලා" ජනාධිපතිවරයා පවසයි.

BBC සේවය 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න