ලංකාවේ කිසිම දේශපාලන සිරකරුවෙක් නෑ : ජනාධිපති බීබීසීයට කියයි

ලංකාවේ කිසිම දේශපාලන සිරකරුවෙක් නෑ : ජනාධිපති බීබීසීයට කියයි

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කිසිඳු දේශපාලන සිරකරුවෙකු නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළ බව බීබීසී සිංහල සේවය වාර්තා කරයි.

එසේම එම වාර්තාවේ දැක්වෙන්නේ උතුරේ පැවැත්වෙන උද්ඝෝෂණ ජනතාවගේ ඒවා නොවන බවත් ඒවා රාජ්‍ය නොවන සංවිධාන වල බව ජනාධිපතිවරයා පැවසු බවය.

තවද ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට දැරෙන උත්සාහයන්ට කිසිදු ආකාරයකින් තමන්ගෙන් අනුබලයක් නොලැබෙන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇති බවද එම පුවතේ සඳහන්ය. ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගිය අවස්ථාවේ බීබීසී සිංහල සේවය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇත.

බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ පළකර ඇති පුවත පහත දැක්වේ. 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන සිරකරුවෙකු නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු රහසිගත රැඳවුම් කඳවුරක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වෙමින් සිටින අතරවාරයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

"ලංකාවේ දේශපාලන සිරකරුවන් නෑ එක්කෙනෙක්වත්. කිසිම කෙනෙක් නෑ ලංකාවේ දේශපාලන සිරකරුවන්," ඔහු පැවසීය.

"අනිත් එක මගේ රජය යටතේ කිසිදු රහසිගත සිර කඳවුරක් ලංකාවේ නෑ. සිර කඳවුරකවත්, යුද හමුදා කඳවුරකවත්, පොලිසියට අයිති තැනකවත්, කිසිම තැනක කිසිම කෙනෙක් හොරෙන් රඳවාගෙන නැහැ."

තමන් කිහිප වතාවක් ලන්ඩන් නුවර සංචාරයේ නිරත වූ අවස්ථාවල උද්ඝෝෂණවල යෙදෙන්නේ "එල්ටීටීඊ කාරයෝ" බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.
එවැනි විරෝධතා පැවැත්වීම ගැන තමන් "සතුටුවන" බව පවසන ජනාධිපතිවරයා අවධාරණයෙන් කියා සිටියේ, ඔවුන් ඉල්ලා සිටින "ඊලම කවදාවත් කෙරෙන වැඩක් නොවන" බවය.

PIC 05අතුරුදහන් වූ පුද්ගලයන් සොයා දෙන මෙන් කෙරෙන ඉල්ලීමක්

යුද ගැටුම පැවති සමයේ ආරක්ෂක හමුදා විසින් පවරා ගන්නා ලද උතුරේ ජනතාවට අයත් ඉඩම්වලින් "80%ක්" මේ වන විට නිදහස් කරනු ලැබ තිබෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, ආණ්ඩුව විසින් සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ ද "තෑග්ගක් විදියට" අක්කර 560 ක් යළි ලබා දුන් නමුත් "ඒ ගැන කවුරුත් කතාකරන්නේ නෑ," යනුවෙන් චෝදනාවක් ද එල්ල කළේය.

එසේ තිබියදී තවමත් උද්ඝෝෂණය කරන පුද්ගලයන් "බිස්නස් එකක් කරන" බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

ඉඩම්, අතුරුදහන්වූවන් මෙන්ම දේශපාලන සිරකරුවන් පිළිබඳ උතුරේ පැවැත්වෙන උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් පළකළ ජනාධිපතිවරයා "ඒ විරෝධය කරන්නේ ඔක්කොම රාජ්‍ය නොවන සංවිධාන නේ? සාමාන්‍ය ජනතාව නොමග යවන වැඩ ඒවා." යනුවෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට දැරෙන උත්සාහයන්ට කිසිදු ආකාරයකින් තමන්ගෙන් අනුබලයක් නොලැබෙන බව අවධාරණය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවැනි පුද්ගලයන් සමග තමන් කිසිදු සාකච්ඡාවක් පවා නොපවත්වන බව අවධාරණයෙන් කියා සිටියේය.
 

මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න