එක්සත් ජාතික පක්ෂයේ අද (26) පැවති පක්ෂා කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එජාප උප නායකත්වය ලබාදීම සම්බන්ධව හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා විරෝධය පළකර ඇතැයි වාර්තා වෙයි.
එසේම අදාළ තනතුර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කිරීම හේතුවෙන් තමන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද ඉල්ලා අස්වන බව සඳහන් කර ඔහු එයින් නැගිටගොස් ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සඳහන් කර සිටියේ මත ගැටුමක් හේතුවෙන් ජෝශප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්වූ බවය.
තවද බලාපොරොත්තුවූ ප්‍රතිසංවිධානය පක්ෂය තුළ සිදුවුනාදැයි මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක වෙතින් විමසු විට ඔහු සඳහන් කර සිටියේ බලාපොරොත්තුවූ වෙනස සිදුවුනාද නැද්ද යන්න ගැන අප්‍රේල් 30 වනදායින් පසුව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බවය.
ඇමති මලික් ප්‍රතිසංවිධාන කමිටුවට ඇවිත්
මේ අතර අමාත්‍ය මලික් සමරවික්‍රම එජාප ප්‍රතිසංවිධාන කමිටුවේ රැස්වීමට අද සහභාගීවීම සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ විරෝධයක් මතුව තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය 24 වනදා පැවති ප්‍රතිසංවිධාන කමිටු රැස්වීමටද අමාත්‍යවරයා සහභාගී වී ඇති බවත් පක්ෂයේ රහස් ජන්දයකින් තෝරාගත් කමිටුවක් සඳහා මේ ආකාරයට ඊට සම්බන්ධයක් නොමැති අයෙකු සහභාගීවීම බලහත්කාරී මැදිහත්වීමක් බව පක්ෂයේ බොහෝ දෙනෙකුගේ අදහසවී ඇති බවද වාර්තා වෙයි.
ජෝන් - රංජන්ට ගොරවයි
මේ අතර පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව විවේචනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධව අමාත්‍ය ජෝන් අමරතුංග පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණිලි කිරීමට සුදානම් වන බවද දැනගන්නට ඇත.
ඒ අනුව පක්ෂ නායකත්වයට ප්‍රසිද්ධ මාධ්‍ය හමු පවත්වා ගැරහීමේ යුතුකමක් නොමැති බවත් එය පක්ෂ විනය උල්ලංඝණය කිරීමක් බවත් සඳහන් කරමින් අමාත්‍යවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණිලි කර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව විනය පියාවරක් ගන්නා ලෙස ඉල්ලීමට නියමිත බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

