කොළඹ ක්‍රියාත්මකවූ සුදුවෑන් පැහැරගැනීම් සහ අපරාධ පිළිබඳ අනාවරණයක් එම කටයුතු සඳහා සම්බන්ධවූ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයකු විසින් ශ්‍රී ලංකාවේ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) වෙත අනාවරණය කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය 2018-04-23 දින නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එය එහි වෙබ් අඩවියේද පළකර ඇත.
ශ්‍රී ලංකාවේ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය මේ පිළිබඳ විශේෂ වාර්තාවක්ද සකස් කර ඇති බවත් ඊට සාක්ෂි ගොනුකරගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කල සිංහල නිලධාරීන් සහ දමිල අතුරු හමුදා සාමාජිකයන්ගෙන් බවද එහි සඳහන් කර ඇත.
එසේම අදාළ සාක්ෂි වලදී අනාවරණය වූ ඒවාට සම්බන්ධ පාර්ශවයන්ගේ නම් ඇතුළත් ලේඛණයක් සහ සාම සාධක කටයුතු සඳහා සම්බන්ධකර නොගත යුතු නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යොමුකරන බවද එහි සඳහන්ව ඇත.
තවද මේ වාර්තාවේ විශේෂ කාර්ය බලකායේ මුලිකත්වයෙන් සිදුවූ සුදුවෑන් පැහැරගැනීම් පමණක් නොව ලිංගික හිංසනයන්, නඩු විභාගයකින් තොරව සිදුකල මනුෂ්‍ය ඝාතන ඇතුළු දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධ සාක්ෂි ඇතුළත් බවත් සඳහන්ය.
තමන් සිදුකළ අපරාධ පිළිබඳ කම්පනයෙන් පසුවන ඇතැම් නිලධාරීන් සාක්ෂි දීමේදී එම සිදුවීම් "ත්‍රාස ජනක චිත්‍රපට ජවනිකාවක" ට සමාන කළ බවත් පැහැරගැනීම් වලට බඳුන්වූ සියලුදෙනා පාහේ ඝාතනය කළ බවත් සඳහන් කර ඇති බවද එහි සඳහන් වෙයි.

