Language Switcher

V2025

කාරක සභා සභාපතිවරුන්ට කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

කාරක සභා පැවැත්වෙන අවස්ථාවේදී වෙනත් කිසිදු බාහිර පුද්ගලයෙකු එම රැස්වීම් කාමර තුළට ඇතුළු විය නොහැකි බව කතානායකවරයා විසින් අද (20) දින විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

ඔහු මේ බව සඳහන් කළේ, අද (නොවැ. 20) පාර්ලිමේන්තුවේදී ය.

කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් තමා වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී ඇති බව ත් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පුරා පැවති සාම්ප්‍රදායන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලු ම කාරක සභා සභාපතිවරුන් ස්ථාවර නියෝග අනුව බැඳී සිටින බව කතානායකවරයා සඳහන් කළේ ය.

”පාර්ලිමේන්තුවේදී දැනට ක්‍රියාත්මකව පවතින විවිධ කාරක සභා රැස්වීම් සඳහා සාමාජික මන්ත්‍රීවරයන් හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික මන්ත්‍රීන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ කාරක සභාවේ වැඩකටයුතු සඳහා කැඳවීමක් කරන ලද වෙනත් බාහිර ආයතන නිලධාරීන්ට ද එකී කාරක සභාවේ කටයුතු ඉටු කරනු ලබන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මියන්ට පමණක් එම කාරක සභා සහභාගී විය හැකි බව ත් වෙනත් කිසිදු හෝ බාහිර පුද්ගලයෙකුට එම කාරක සභා රැස්වීමේ පැවැත්වීමේ අවස්ථාවේදී කාරක සභා කාමර තුළට පැමිණීමට හෝ කිසිදු අවසරයක් නොමැති බව ත් මෙයින් අවධාරණය කරමි. මීට අමතරව කාරක සභා සභාපතිවරයා තමන්ගේ විෂය සීමා ඉක්මවා කාරක සභාවේ වැඩ කටයුතු කිරීමේ ප්‍රවණතාවක් පිළිබඳ මා වෙත විවිධ අවස්ථාවලදී කරුණු මා වෙත ඉදිරිපත් වී ඇති බැවින් ඒවා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලු ම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තු ස්ථාවර විධි විධාන ප්‍රකාරව බැඳී සිටින බව අවධාරණය කරමි”

එසේ ම ඔහු තවදුරට ත් සඳහන් කළේ, කාරක සභා සභාපතිවරයන් වශයෙන් වැඩ කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහ උපදේශන කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයෙකුගේ සේවය සඳහා ස්වෙච්ජාවෙන් හෝ ලබා ගැනීමට කතානායකවරයාගේ ලිඛිත අවසරයක් ගත යුතු බව ය.

”පාර්ලිමේන්තුවේ කාර්යයය මණ්ඩලයේ නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරයන් විසින් කාරක සභාවේ වැඩ කටයුතු කිරීම සම්බන්ධීකරණය සහ උපදේශන කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයෙකුගේ සේවය ස්වෙච්ජාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා මාගේ පූර්ව ලිඛිත අවසරයක් ගත යුතු බව අවධාරණය කරමි”

කාරක සභා වැඩකටයුතු කරගෙන යාමේදී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ වැඩකටයුතු කිරීම සිදු කළ යුතු බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

”තව ද කාරක සභා වැඩකටයුතු කරගෙන යාමේදී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ වැඩකටයුතු කිරීමටත් පාර්ලිමේන්තුවේ ගෞරවයට අභිමානයට හානි නොවන ආකාරයෙන් සමබරව කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට ත්, ලිපි ගනුදෙනු කිරීමේදී අදාළ කාරක සභා නාමය සහිත නිල ලිපි ශිර්ෂ අදාළ කාරක සභා විසින් අනුමත කාරණා සන්නිවේදනය කිරීම සඳහා පමණක් භාවිතා කිරීමට ත් එම කාරක සභා නිල ලිපි ශිර්ෂ කිසිම අවස්ථාවක පෞද්ගලික හෝ දේශපාලනික කාරණා වෙනුවෙන් භාවිතා කිරීම නොකළ යුතු බවට ත් එලෙසම කාරක සභා වැඩකටයුතු සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමේදී ද මෙතෙක් අනුගමන කරන ලැබූ ක්‍රමවේදයන්ට අනුව කටයුතු කිරීමටත් සියලු ම කාරක සභා සභාපතිවරයන් විසින් වග බලා ගත යුතු බවට මෙයින් අවධාරණය කරමි”

මේ අතර, කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ පුත් කනිෂ්ක බණ්ඩාර කෝප් කමිටු රැස්වීමට පැමිණීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් පසුගිය දා දැඩි විරෝධය පළ කළහ.