ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සහ සුමේධා ජයසේන මන්ත්‍රීවරිය අද (07) මඩකලපුවේ චෙන්කලන්ඩි මහජන ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලියේ වේදිකාවට ගොඩවූ නමුත් එම කණ්ඩායමේ වෙනත් කිසිවෙක් වේදිකාවට ගොඩනොවූ බව වාර්තා වෙයි.
එහෙත් ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ දයාසිරි ජයසේකර මැයි රැළිය පැවති චෙන්කලන්ඩි මහජන ක්‍රීඩාංගණයේ අසල සිට මැයි දින රැළියේ ප්‍රේක්ෂකයින් අතර සිටි අතර විශ්වාසභංග යෝජනා ජන්ද විමසුම වර්ජනය කල නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද ඔවුන් සමඟ රැඳී සිටියේය.
එහිදී වේදිකාවට ගොඩනොවීම සම්බන්ධව දයාසිරි මන්ත්‍රීවරයා වෙතින් මාධ්‍ය විමසූ අවස්ථාවේ මැයි දින වේදිකාවට පමණක් නොව තමන් ඕන තරම් වේදිකාවලට ගොඩනොවී සිට ඇති බවයි. එසේම පක්ෂයෙන් ඉවත්ව නැති බැවින් පක්ෂයේ රැළියට පැමිණි බවත් අද දිනයේ පැවැත්වෙන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතාගේ විවාහයටද යාමට ඇති බවද ඔහු පැවසීය.
කෙසේ වුවත් 16 කණ්ඩායම නියෝජනය කරන වෙනත් කිසිඳු මැති ඇමතිවරයෙකු ඊට එක්ව නොසිටි බව දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටියි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කර සිටියේ ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගේ මුලිකත්වයෙන් තිබෙන මැයි දින වේදිකාව තම පාර්ශවය වර්ජනය කරන බවය.
2020 දී ජනාධිපතිගේ නායකත්වයෙන් ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් - අමරවීර
මෙහිදී මැයි දින රැළිය ඇමතු එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියේ ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටින්නේ ජනාධිපතිවරයාට ශක්තියක් වෙමින් ජනතා හිතවාදී ආකාරයට ආණ්ඩුවේ කටයුතු සිදුකිරීමේ අපේක්ෂාවෙන් බවය.
එසේම මේ රට දියුණු කළ හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2020 දී ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට කැපවෙන බවත් අමාත්‍යවරයා පැවසීය. තවද එය අලියා හෝ පොහොට්ටුව සමඟ යන ගමනක් නොවන බවට මැයි දින රැළියේ සිට සහතික වන බවද ඔහු පැවසීය.
ජනාධිපතිතුමනි, 2025 දක්වා මේ රටට සේවය කරන්න හයිය අපි දෙනවා - දුමින්ද
ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක රැළිය අමතමින් සඳහන් කර සිටියේ කම්කරු ජනතාවට දිනාදුන් දෙයක් තිබෙනවා නම් ඒ සිදුකර ඇත්තේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු පමණක් බවය. එසේම රාජ්‍ය ආයතන, ලාභ ලබන ආයතන ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සකස්වෙමින් ඇති බවත් පසුගිය අවුරුදු කිහිපයේ ජනාධිපතිවරයා මේ රට ආරක්ෂා කළ ආකාරයට 2025 දක්වා මේ රට පාලනය කිරීමට සියළු කම්කරුවන්ගේ ඇතුළු ජනතාවගේ ශක්තිය ජනාධිපතිවරයාට ලබාදෙන බවද ඔහු පැවසීය.

