පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද (08) පස්වරු 2.15 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව සැසිවාරය විවෘත කිරීමට ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියකින් සහ පොලිස් යතුරුපැදි කණ්ඩායමක් හා අශ්වාරෝහක කණ්ඩායමක් පෙරටුකරගෙන පාර්ලිමේන්තුව අබියසට පැමිණීමට නියමිත අතර කතානායක කරු ජයසූරිය සහ අගමැති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය විසින් ජනාධිපතිවරයා පිළිගෙන රතු පලස මතින් පාර්ලිමේන්තුවේ සභාගාරය වෙත කැඳවාගෙන යාමට නියමිතව ඇත.
එතැන් සිට කතානායකවරයා ඇතුළුව සෙංකෝලය රැගත් වේත්‍රධාරී ඇතුළු නියෝජ්‍ය සහ සහකාර වේත්‍රධාරිවරු සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඇතුළු ලේකම් මණ්ඩලය කැටුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුවෙන් ජනාධිපතිවරයාව සභාගර්භය වෙත කැඳවාගෙන යාමට නියමිතව තිබේ.
පසුව කතානායකවරයා සිය අසුනට පහළින් ඇති ලේකම් මණ්ඩලයේ අසුනක අසුන් ගන්නා අතර ජනාධිපතිවරයා කතානායක අසුනේ අසුන්ගනු ලබයි.
අනතුරුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමේ සහ කැඳවීමේ ප්‍රකාශන, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක විසින් සභාවට කියැවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර එම ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තුව අනිද්දා (9දා) පස්වරු 1.00 වනතෙක් කල්තැබීමෙන් පසු මැති ඇමැතිවරු සහ
ආරාධිතයන් සඳහා වන තේ පැන් සංග්‍රහයක් පවත්වන්නටද නියමිතව ඇත.
16 කණ්ඩායමට විපක්ෂයේ අසුන් සූදානම්
මෙහිදී ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවට නිල වශයෙන් දැනුම්දී ඇති බැවින් ඔවුන්ට ඒ සඳහා නියමිත අසුන් පනවා ඇති බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

