කන්තලේ සීනි සමාගමේ ආයොජකයින්ගෙන් කප්පම් මුදල් ලබාගැනීමේදී අත් අඩංගුවට පත්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි.කේ. මහානාම තම පියාණන් වූ හිටපු ඉඩම් අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු අමාත්‍යවරයාගේ පුත් නලීන් ගුණවර්ධන කියයි.
අද (09) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් කැඳවා තිබූ මාධ්‍යය හමුවකදී හිටපු අමාත්‍යවරයාගේ පුත් නලින් ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියේය.
තම පියා මරණ මංචකයේදී සීනි කර්මාන්ත ශාලාවේ ආයෝජකයින්ගෙන් මුදල් ඉල්ලන ලෙස දැන්වූ බවට අයි. කේ මහානාම විසින් කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් තම පියාගේ සම්බන්ධීකරණ ලේකම් වරයා ලෙස කටයුතු කළ බැවින් ඒ ගැන හොඳින්ම දන්නා බවද ඔහු සඳහන් කර සිටියි.
එසේම තම පියා වූ එම් කේ ඩී එස් ගුණවර්ධන එවැනි අල්ලස් ගැනීමේ සිදුවීම් වලට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බව තමාට සහතික වශයෙන් කිව හැකි බවද ඔහු සඳහන් කළේය.
මහානාම ලන්ඩන් ආවා !
පියා අසනීපව සිටියදී එංගලන්තයේ වෙසෙන තම නැගණිය සමඟ නතරවී ප්‍රතිකාර ලබාගත් බවත්, එම කාලය තුළද තමන් තම පියා සමඟ සිටි බවත්, එක් අවස්ථාවක කළුතර බොධියේ ඉඩම් ඔප්පුව ලබාදීම සඳහා ඊට තම පියාගෙන් අත්සන් ලබාගැනීමට මහානාම මහතා එංගලන්තයට පැමිණි බවත් නලින් ගුණවර්ධන මහතා කීය.
එම ගමනේදී පවා මහානාමගේ වැඩි අවධානයක් යොමු වූයේ ආයෝජකයෙකු සොයාගැනීම බවද, තම පියාගේ අත්සන් ලබාගැනීමට වඩා ඔහු ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා වෙහෙසුනු බවද නලින් ගුණවර්ධන එහිදී වැඩිදුරටත් පැවසීය.
තම පියාගෙන් පසුව ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ සමයේ මෙම යකඩ ටෙන්ඩරය නාවුක හමුදාවේ ඉහළ පුද්ගලයෙකුගේ බිරිඳකට ලබාදීමට උත්සහ කළ බවත් පසුව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ සමයේ එම අවස්ථාව ඇහිරී ගිය බවත් නලින් ගුණවර්ධන පවසයි.
පියා මියයන විට ඉඩම් රෙජිස්ටාර් කොමිසමේ පැරණි නිල නිවසක ජීවත්වූ බවත් තම පියා මියයාමෙන් පසු අවසන් කටයුතු වලින් පවා මෙම මහානාම නැමති නිලධාරියා මුදල් ගසාකෑ බව කීම තමන්ට ලැජ්ජාවක් බව ද නලින් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.
සැකකරුවන්ගේ සමස්ථ දේපළ වත්කම් හොයන්න - කැෆේ කීර්ති
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම අල්ලස් සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇති නිලධාරින් පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමේදී ඔවුන්ගේ සමස්ථ දේපල සහ වත්කම් යනාදිය පිළිබඳවද අවධානය යොමු විය යුතු බවය.
මෙම නිලධාරීන්ට අයත් මහල් නිවාස කොළඹ ටොරින්ටන් වල පිහිටා ඇති බවටත්, ශ්‍රී ජයවර්ධන පුර සරසවිය ආසන්නයේද නිවාස පිහිටා ඇති බවටත්, මාතර නගරයේ ගොඩනැගිලි ඇති බවටත් එම පරීක්ෂණ වලදී කරුණු හෙළිදරව් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

