හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ රෝහිණී කුමාරි අතපත්තු 2018.02.17 දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහනකට සහභාගිවෙමින් සිටියදී මියයාමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව 2018.05.10 දින නිකුත්ව ඇති බවත් එම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කඹයකින් වැටී හිසට තුවාල සිදුවීම නිසා සිදු වූ මරණයක් ලෙස දක්වා ඇති බවත් ලංකා ගුරු සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මේ බව සඳහන් කරන අතර මෙම මරණය සම්බන්ධයෙන් වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවේද එය උඩසිට වැටීමේදී හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බව සඳහන්ව තිබූ බවද එම නිවේදනයේ දැක්වේ.
අධ්‍යාපන කෙරුමන්ගේ වරද ඔප්පු වෙයි
මෙම මරණ පරීක්ෂණ වාර්තා අනුව මෙය අනාරක්ෂිතව සිදුකළ පුහුණුවීමක් නිසා සිදුවූ මරණයක් බව පැහැදිලි බවත් කඹයෙන් වැටීමේදී හිස් ආවරණයක් හෝ අවශ්‍ය ආරක්ෂිත උපාංග ප‍්‍රමිතියෙන් නොතිබූ ආයතනයකට අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පුහුණුව භාර දී තිබු බවය.
එසේම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කඩිමුඩියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පරීක්ෂණයක් සිදු කර අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් 7 ක් සිද්ධියට වගකිව යුතු බව නිවේදනය කළත් මානව සම්පත් අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ ස්ථාන මාරු කිරීම හැර වගකිව යුතු අතිරේක ලේකම්වරු ඇතුළු සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.
වන්දි මුදලක්වත් ලබාදී නැහැ
මෙම මරණය සම්බන්ධයෙන් මියගිය විදුහල්පතිනියගේ ස්වාමිපුරුෂයාට වන්දි මුදලක් හෝ ලබාදී නොමැති අතර සිදුව ඇත්තේ ඔවුන් දිගින් දිගටම රැවටීම පමණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඍජුවම වගකිව යුතු බැවින් අදාළ විදුහල්පතිනිය මෙලෙස අනාරක්ෂිත පුහුණුවකට යෙදවූ නිලධාරීන් සම්බන්ධයෙන් හා එවැනි පුහුණුවක් පැවැත්වීමට තීරණ ගත් අය සම්බන්ධයෙන් විධිමත් විනය පියවර ගෙන නැත.
එසේම මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සෙසු කිසිදු කෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර නැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු වී නැත. මේ තත්වය තුළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන් නීතිය ඉදිරියට පමුණුවන ලෙස ලංකා ගුරු සංගම බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

