Language Switcher

V2025

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා !

අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (14) පස්වරුවේ එක්වෙමිනි.

දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළේය.

අද පස්වරුවේ කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

විදුහල් භූමියේ පිහිටි බුදු මැදුර වෙත ගොස් මල් පූජාකර ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළේය.

නව පන්තිකාමර නිරීක්ෂණය කිරීමට ද එක් වු ජනාධිපතිවරයා සිසු දරුවන් සමඟ සුහද කථා බහක ද නිරත විය.

අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ විද්‍යාලයේ සිසුවියන් වෙත තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණ.

මෙම නව ගොඩනැඟිල්ලේ පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 450ක මුදලක් වැය කර තිබෙන අතර, එම මුදල රජය සහ දෙමාපියන් විසින් ලබා දී තිබිණි.

ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස සිසුවියන් කළ ඉල්ලීම අනුව අදියර දෙකක් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවද අවධාරණය කළේය.

රට දියුණු කිරීමට නම් අලුත් මාර්ගයක ගමන් කළයුතු බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කරමින් රට සීග්‍ර දියුණුවක් කරා ගෙන යාමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ද සඳහන් කළේය.

මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමටත්, සංචාරක, ආර්ථික සහ තොරතුරු තාක්ෂණ නගරයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය :

දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රටේ දරුවන් වෙනුවෙන් නවීන අධ්‍යාපනයක් ලබා දීමට රජය කැපවී කටයුතු කර තිබෙනවා. අතීතයේ අධ්‍යාපන ක්‍රම පිළිබඳ දැන් කථා කර ඵලක් නැහැ. අප අනාගතය දෙස බලමින් දකුණු ආසියාවේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුළ ඇති කළයුතුයි. අපේ රටේ ශක්තිය අධ්‍යාපනයයි. සෑම විටම අපේ රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමයක් පැවතුණා. පසුගිය කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් අප හැකි අයුරින් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.

මම භාරගනු ලැබුවේ බංකොළොත් රටක්. ඒ වන විට දේශපාලන පක්ෂ කැඩී ගොස් තිබුණා. ඒ නිසා අප කණ්ඩායමක් එක් වී ආණ්ඩුවක් නිර්මාණය කර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. දැන් අප අනාගතය පිළිබඳව සිතිය යුතුයි. දැන් අපි ආර්ථික ප්‍රශ්න ක්‍රමයෙන් විසඳා ගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ සිදු කළ ප්‍රකාශය අනුව අපට සාර්ථක ලෙස ඊළග කාර්තුවේ මුදල් ලැබී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස් වෙනවා. එම රැස්වීමෙන් පසු අපට බංකොළොත්භාවෙයන් ඉවත්වීමට හැකියාව ලැබෙනවා. වසර දෙකක් ගතවීමට පෙර මෙම තත්ත්වය උදාකර ගැනීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.

අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවත් සමඟ ඉදිරියට යා යුතුව තිබෙනවා.

තව වසර දෙකකින් විරැකියාව 5%ක් දක්වා අඩු කරගත යුතුයි. ඒ වගේම අපේ ආදායම් ද වැඩිකර යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. මේ රට දියුණු කළ හැකිවන්නේ එම වැඩසටහන ඉදිරියට ගෙන ගියහොත් පමණයි. අපි අලුතින් සිතිය යුතුයි. එහිදී අලුත් තාක්ෂණය අධ්‍යාපනයට ඇතුළත් කිරීමට අප කටයුතු කර තිබෙනවා.

ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීමයි. සටන් පාඨ කියමින් කාලය ගත කළ යුගය දැන් අවසන්. අපට නැවතත් එම යුගයකට යන්න බැහැ.

මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ වගේම වෙළඳ කලාපයක් සහ ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට බිංගිරිය ප්‍රදේශයේ අක්කර දාහක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඉරණවිල සංචාරක කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එවිට සංචාරක ආර්ථිකය සහ කර්මාන්ත ආර්ථිකය මේ ප්‍රදේශයට ලැබෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලැබුවන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ නගරයක් මාදම්පේ ප්‍රදේශයේ ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම රජය ආරම්භ කර ඇති කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අනුව ගම්මානවලට නවීන කෘෂිකර්මාන්තය හදුන්වා දෙනවා වගේම එම කටයුතු කරගෙන යාමට තරුණ තරුණියන්ට අවශ්‍ය මුදල් ලබා දෙනවා. ඒ සමග ධීවර කර්මාන්තය ද දියුණු කළ විට මේ ප්‍රදේශයේ නව ආර්ථිකයක් ඇති කළ හැකියි. අප 1977 දී ගම්පහ ප්‍රදේශයට අලුත් ආර්ථිකයක් ලබා දුන්නා. දැන් එම වැඩසටහන මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව හලාවත සිට කුලියාපිටිය දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා.

රට දියුණු කිරීමට නම් අප අලුත් මාර්ගයක ගමන් කළයුතුයි. ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කර, රට තුළ සීග්‍ර දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා. ඒ නිසා දේශපාලනයෙන් තොරව මෙය සම්මත කර ගැනීම සඳහා සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මේ කාලයේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න බැහැ. කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් සියලුදෙනා එකතු වී රටේ සහ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැඩ කළයුතුයි.

dcc4fdee d938 4a89 992b e3336e070f5d