අවුරුදු නමයකට ඉහතදී යුද්ධයෙන් මියගිය තම සමීපතමයන් අනුස්මරණය කළ දෙමළ දෙදෙනකුගේ වැඩ තහනම් කළ හැටන් නැෂනල් බැංකුව වර්ජනය කිරීමට උතුරේ ගනුදෙනුකරුවන් රැසක් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
මුල්ලිවයික්කාල් සමරුව දා කිලිනොච්චි බැංකු පරිශ්‍රය තුලදී කාර්ය මණ්ඩලය හා එක්ව පහන් දැල්වීමක් කළ කිලිනොච්චි HNB ශාඛාවේ සහකාර කළමනාකාර සසිවර්නන් පරිපූර්ණනන්දසර්මා සහ තවත් ආධුනික සේවකයකුගේ වැඩ තහනම් කර තිබේ.
තම ක්‍රියාව “ශ්‍රී ලාංකිකයින්ගේ අභිමානය” වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාවක් ලෙසින් බැංකු පාලනාධිකාරිය විසින් යුක්ති සහගත කොට ඇත.
“ශ්‍රී ලාංකිකයින්ගේ අභිමානය කෙරෙහි තර්ජනයක් විය හැකි හෝ සමාජ සම්මතයන් උල්ලංඝනය කරන කිසිදු හැඟීමක් හෝ ක්‍රියාවක් හැටන් නැෂනල් බැංකුව ලෙස අපි කිසිදු ලෙසකින් පිලිනොගන්නා අතර එවැනි තත්වයන් කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු කරන බව අවධාරණයෙන් පවසන්නෙමු,” යි HNB බැංකුව ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
''මිනිස් හැඟීම්වලට ගරු කරන්නට නොහැකි සමාගමක්''
විනාශකාරී යුද්ධයකින් මිය ගිය දහස් ගණනක් සැමරූ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව හා එක්වූ දෙදෙනකු ට එරෙහිව ගන්නා ලද පියවර ගැන කෝපයට පත් උතුරේ වැසියන් තම ගිණුම් අත් හිටුවන ලෙස ඉල්ලා ලියන ලද ලිපි දැක ගන්නට ලැබුන බව 'රේඩියෝ ගගන' වෙබ් අඩවිය වාර්තා කරයි.
“මිනිස් හැඟීම්වලට ගරු කරන්නට නොහැකි සමාගමක් සමග මුල්‍ය ගනුදෙනු කිරීමේ කිසිදු උවමනාවක් මට නැත,” යි යාපනය HNB කළමණාකරු වෙත ලියා ඇති එක ලිපියක සඳහන් වේ.
උතුරේ පමණක් නොව කොළඹ ඇතුළු ප්‍රධාන නගර වල HNB බැංකු වලටද වර්ජනය බලපානු ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා කියා සිටී.
“උතුරු පළාතම ශෝකවන මේ වගේ දිනයක් පැවැත්වීම ගැන මේ වගේ පලිගන්න එක හරි නෑ,” යි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
රජයේ මුල් පෙලේ ඇමැති වරුන් පවා දෙමළ ජනතාවට මුල්ලිවයික්කාල් දිනයේ ශෝක වීමේ අයිතිය පිළිගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
වැඩ තහනම් කළ දෙදෙනාම වහාම යළි සේවයට ගන්නැයි බලපෑම් :
දෙමළ ජනතාවගේ ශෝකය සංකේතවත් කරන අනුස්මරනයකට එරෙහිව ගන්නා ලද පියවර නිසා දෙමළ ජනතාව HNB බැංකුව කෙරේ තැබූ විශ්වාසය බිඳ වැටී ඇතැයි පවසන කිලිනොච්චි පුරවැසි සමාජය වැඩ තහනම් කළ දෙදෙනාම වහාම ආපසු සේවයට බඳවා ගන්නා ලෙස බලකර සිටී.
“ඒ බැංකු සේවකයන්ගේ ඥාතීනුත් ඒ අවාසනාවන්ත මැයි 18 වැනිදා මුල්ලිවයික්කාල් භුමියේ මිය යන්නට ඇති,” පුරවැසි සමාජ ලේකම් අයින්ගරරාසා ජීවනායගම් 'රේඩියෝ ගගන' හා කියා සිටියේය.
“උතුරු නැගෙනහිර පුරාම දෙමළ ජනතාව රජයේ ආයතන හා පුද්ගලික ආයතන සිම බේදයකින් තොරව තමන්ගේ ශෝකය බෙදා හදා ගත්තා. මේ වැඩ තහනම කිසිම සංවේදී කමක් නැතිව කරන ලද ක්‍රියාවක්.”
යාපනය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රධානී කුමරවඩිවේල් ගුරුබරන් වැඩ තහනම හෙලා දැක ඇත්තේ “ව්‍යාපාරික සිංහල බෞද්ධ ජාතිවාදයක්” ලෙසිනි.
මුල්‍ය කටයුතු පිළිබඳ මුල් පෙලේ ජාත්‍යන්තර සඟරාවක් වන “ද බෑන්කර්” විසින් 2017 වසරේ හොඳම බැංකුව ලෙස පිළිගන්නා ලද රට පුරා ශාඛා 251 ක් ඇති හැටන් නැෂනල් බැංකුවේ වර්තමාන සභාපතිවරයා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාය.
(radiogagana)

