අවස්ථා 45000 කදී ඇලෝගේ දත් ගලවලා : ලංකාදීප අනාවරණයක් !

අවස්ථා 45000 කදී ඇලෝගේ දත් ගලවලා : ලංකාදීප අනාවරණයක් !

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට අවස්ථාවන් 45,000 කදී පමණ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට මුදල් ලබාදීම සඳහා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම එම සමාගම් සමූහයේ සහෝදර සමාගම් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගම්ද යොදාගෙන ඇති බව හෙළිකරගෙන ඇති රහස් පොලිස් නිලධාරීන් විවිධාකාර පුද්ගලයින්ට එලෙස මුදල් ලබාදී ඇතැත් එම චෙක්පත් මාරු කරගෙන ඇත්තේ වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් බවද හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.

එලෙස මුදල් ලබාදී ඇති පුද්ගලයින් පිළිබඳව පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ලේඛන වල සටහන් තබා ඇති බවත් එලෙස තබා ඇති ඇතැම් සටහන්වල විවිධාකාර පුද්ගලයින්ගේ නාමයන් ඉංග‍්‍රීසි කෙටි අක්‍ෂරයන් (මුලකුරු) වලින් තබා තිබීම හේතුවෙන් නිශ්චිත පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනි දා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශවයන් විසින් ලබාදී තිබේද යන්න පිළිබඳව රහස් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනයේ දී මෙම තොරතුරු හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී අක‍්‍රමිකතාවයක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේදී හෙළි වු කරුණු මෙන්ම ඉදිරිපත් වු සාක්කි ද සැළකිල්ලට ගෙන ඇතැයි වාර්තා වේ.

(ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න