මංගලගේ පන්නරයෙන් "ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල" යළිත් !

මංගලගේ පන්නරයෙන් "ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල" යළිත් !

මාධ්‍ය වාරණය යන වචනය අදට වලංගු ­නොවන බවත්, වාරණ වෙනුවට සිදු කළ යුත්තේ සත්‍ය පුවත් වාර්තා කරන සැබෑ මාධ්‍යවේදීන් දිරිමත් කිරීම බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. 

ජනාධිපතිවරයා හෝ රජය මාධ්‍ය මගින් කුමන ආකාරයේ විවේචනයකට ලක් කළ ද පවතින මාධ්‍ය නිදහස කිසිදු සීමා කිරීමට ලක් නොකරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (06) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල දෙසැම්බර් මස 19 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍යවලින්, පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි සහ වෙබ් යන ක්ෂේත්‍ර හතර ඔස්සේ දැක් වූ දක්ෂතා වෙනුවෙන් සම්මාන 54ක් මෙහි දී ප්‍රදානය කිරීමට නියමිත ය. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් අදාළ නිර්දේශයන් සිදු කරනු ඇත.

මෙම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

බොහෝ විට ජනමාධ්‍ය පිළිබඳ එල්ල වන්නේ දෝෂාරෝපණයන් ය. හැම විට ම ජනමාධ්‍ය පිළිබඳ ඍණ ආකල්පයක් සමාජ ගතවෙමින් පවතින යුගයක ජනාධිපති සම්මාන උළෙලක් පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුව තිබේ. අද වන විට ස්මාට් ජංගම දුරකතනයක් හිමි හැම දෙනෙකු ම මාධ්‍යවේදියෙකි. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් අන්තර්ජාලය ක්ෂණිකව මුදා හැරීමට සැම කෙනෙකුට ම හැකිය. එබැවින් වාරණය යන වචනය අදට වලංගු නොවේ.

අසත්‍ය පුවත් නිර්මාණ පිළිබඳ ලොව පුරා කතා බහට ලක් වන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නකි. එබැවින් අසත්‍ය ප්‍රවෘත්තිවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය නිර්මාණය කර ගැනීම අවශ්‍ය වේ. අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වරෙක කියා තිබුණේ තමන් පුවත්පත් නොබලන බවයි. ඊට හේතුව ලෙස ඇය දක්වා තිබුණේ ප්‍රවෘත්ති කියවීමෙන් තමන්ට දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතු වන බවයි. එතරම් ම අසත්‍ය පුවත් අද සමස්ත ලෝකයටම තර්ජනයක් බවට පත්ව ඇත. මේ සඳහා කළ යුතු හොඳ ම දේ නම් සත්‍ය පුවත් වාර්තා කරන සැබෑ මාධ්‍යකරුවන් අගය කිරීමයි. එසේම ගෞරවනීය ජනමාධ්‍ය කලාවක් අගය කරන පිරිසක් බිහි කිරීමයි.

මාධ්‍ය නිදහසෙන් පහර කෑ පුද්ගලයකු ලෙස ජනාධිපතිවරයා ද මේ සම්මාන උළෙල පිළිබඳ ප්‍රසාදයෙන් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

ජනාධිපති මාධ්‍ය සම්මාන උ­ළෙල සඳහා වූ www.pma.gov.lk වෙබ් අඩවිය ජාල ගත කිරීම ද මෙහි දී සිදු කෙරිණි. සම්මාන උළෙලට අයදුම් කරන ආකාරය ඇතුළු සියලු විස්තර එම වෙබ් අඩවිය ඔස්සේ සේ ම www.media.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි ය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. මීට අමාත්‍ය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

{gallery}media{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න