Language Switcher

V2025

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් නීතිඥ සංගමයටක් ලක්ෂ 25ක්

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ මහා පරිමාණ මූල්‍ය වංචාවක් කළ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ශ්‍රී ලංකි නීතිඥ සංගමය ද රුපියල් ලක්ෂ 25ක මුදලක් (මිලියන 2.5ක්) ලබාගෙන තිබේ.

2016 අගෝස්තු මාසයේ 12 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙරට පැවැති ලෝ ඒෂියා ශ්‍රී ලංකා ගෝල්ඩන් ජුබිලි සම්මේලනය (Law asia Sri Lanka Golden Jubilee Conference) වෙනුවෙන් මෙම මුදල ලබාගෙන ඇතැයි, නීතිඥ සංගමය, 2017දී විධායක සභාවට ඉදිරිපත් කළ ලෝ ඒසියා ගෝල්ඩන් ජුබිලි සම්මේලනයේ ආදායම් වියදම් ගිණුම් වාර්තාවේ පැහැදිලිව සඳහන් වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම මුදල් ලබාගන්නා වකවානුවේදී එම සංගමයේ සභාපති ධූරය දරා ඇත්තේ ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතාය. එහෙත් ලෝ ඒෂියා ගෝල්ඩන් ජුබිලි සංවත්සරික සම්මේලනයේ සියලු සංවිධායක කටයුතු කරට ගෙන සිදුකර ඇත්තේ එහි සංවිධායක කමිටුවේ සභාපති එවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතාය.

එමෙන්ම මෙම සංවිධාන කමිටුවේ මුදල් උප කමිටුවේ ප්‍රධානියකු ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු උප සභාපතිවරයකු සහ පසුව ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වූ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන මහතා  ද විය. ඒ මහතා ශ්‍රේඨාධිකරණ විනිසුරුවීමත් සමග එම තනතුරින් ඉවත් වනමුත් මෙහි ඇති විශේෂත්වය පසුකාලීනව බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිසමේ ද සාමාජිකයකු ලෙස ඔහු කටයුතු කිරීමය. ලෝ ඒෂියා ගෝල්ඩන් ජුබිලි උළෙලේ සමාරම්භක උත්සව අනුග්‍රහ සඳහා ද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් ලක්ෂ 25ක් ලබාදී ඇති අතර ඊට අමතරව මොබිටෙල් ඩිමෝ වැනි ආයතන ද මුදල් ලබාදී ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයන් වී ඇත්තේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයාය.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වර්තමාන සභාපති යූ.ආර්. ද සිල්වාගෙන් විමසීමට උත්සාහ කළත් ඔහු විදේශගත වී සිටියේය. එවැන්නක් පිළිබඳව තමන් දැනුවත් වී නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරියේ දී කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වර්තමාන ලේකම් කෞශල්‍ය නවරත්න, රාවය කළ විමසුමකදී කියා සිටියේය.

 රාවය