තෙල්  සංස්ථාව කැබිනට්ටුවටත්  උඩින් ගියාද ?

තෙල්  සංස්ථාව කැබිනට්ටුවටත්  උඩින් ගියාද ?

මිල සූත්‍රයට අනුව පැට්රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට කටයුතු නොකරන ලෙසත් මාධ්‍ය වල පළවන පුවත් ඇසුරෙන් තෙල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් එය ඛනිජ තෙල් සංස්ථාව සමඟ වන බෙදුම්කාරත්වධුර ගිවිසුම්පත උල්ලංඝණය කිරීමක් බව සඳහන් කරමින් ඛනිජ තෙල් සංස්ථාව සියළු සිපෙට්කෝ බෙදුම්කරුවන් වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.

සංස්ථාවේ වැ.බ කළමනාකාර (අලෙවි) ඩබ්ලිව්.ඩී.එල්.සී. අබේගුණවර්ධන විසින් අද (06) දිනයේ එම  ලිපිය යවා ඇති අතර සංස්ථාවේ ලිඛිත අවසරයකින් තොරව මිල ඉහළ දැමීමක් සිදුකළ නොහැකි බවද එහි සඳහන් කර ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ හීනමාන ලිපිය !

56a29e60 c7a6 4eef bfb7 9f5d05b919b5

ඛනිජ තෙල් සංස්ථාව අයිති සියඹලාණ්ඩුවවටද නැතිනම් බදාහරින්නන්ට ලියුම් ලියන්න පෙර වගකිවයුතු පාර්ශවයන්ගෙන් අහන්න බැරිද? 
ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි නිවේදනයක් නිකුත් කළත් පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ ඉන්ධන සඳහා වන මිල සූත්‍රයට අනුව  සෑම මාස තුනකට වරක් එළඹෙන පස්වන දිනයේ මෙරට වෙළෙඳ ‍පොළේ පැට්‍රල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීම සිදුවේ.

ඒ අනුව ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල උච්ඡාවචනයන් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳ ‍පොළේ තෙල් මිල සෑම මාස තුනකට වරක් මේ අනුව සංශෝධනය වීමට හෝ නොවීමට ඉඩ පවතී.

එම මිල සූත්‍රය සකස් කිරීම සඳහා කමිටුවක්ද පත්කෙරුණේ කැබිනට් අනුමැතිය මතය.

ඒ අනුව නම් මිල සූත්‍රයට අනුව තෙල් මිල නිවේදනය කළ විට වෙළඳපොල මිල සකස් කිරීම මේ වන විට මෙරට ප්‍රධාන ඉන්ධන බෙදාහැරීම් පාර්ශව දෙකෙහිම වගකීමය.  විශේෂයෙන්  ඛනිජ තෙල් සංස්ථාව රජයේ ආයතනයක් බැවින් කැබිනට් තීන්දුවට අනුව කටයුතු කිරීමේ බැඳීමක් ඔවුනට ඇත. 

එසේනම් ඔවුන් කළ යුතුව තිබූණේ සිය රාජකාරිය අනුව මිල සුත්‍රයට අදාළ ලෙස වෙළඳපොල මිල ගණන් පිළිබඳ තම බෙදා හරින්නන් දැනුවත් කිරීමය.

එසේ නොකර ඉහත ආකාරයට බෙදාහරින්නන් වෙත සිහිකැඳවීම් ලිපි නිකුත් කරන්නට දෙයක් නැත. අවම වශයෙන් මිල ඉහළ දැමීම ගැන දැනුවත් වූ වහා ඒ ගැන අදාළ පාර්ශව වෙතින් තහවුරුවක් ලබාගැනීමටවත් සංස්ථාව කටයුතු කල යුතුව තිබිණ.

එසේ නොකර මෙවැනි විකාර ලියුම් යැවීමෙන් දුෂ්කරතාවට පත්වන්නේ ජනතාවය.  ඉන්ධන  බෙදාහරින සහ පරිභෝජනය කරන  පාර්ශවය.  අනෙක් අතට ඉන්ධන මිල සූත්‍ර කමිටුව නිශ්චිතව මිල ගණන් සඳහන් කර තිබියදී මෙවැනි ලිපියක් නිකුත් කිරීමද ගැටළු සහගතය. 

සිදුකළ යුතු රාජකාරිය නොකොට ඒ වෙනුවට හීනමානයෙන් පෙලෙන ආකාරයේ වැඩ කිරීම රාජ්‍ය ආයතනයක් සතු සාමුහිඛ බැඳීම ද කඩකිරීමක් වෙයි.  සියල්ලටම වඩා ආණ්ඩුවේ වැඩ ගැන ජනතා විශ්වාසය පළුදු වීමටද මෙවැනි වගකීම් විරහිත ක්‍රියා හේතුවන බවද සඳහන් කල යුතුව ඇත. 

මුදල් අමාත්‍යංශයෙන්  නිවේදනයක් !

කෙසේ නමුත් මේ මතුව ඇති තත්වය සම්බන්ධව මේ වන විට රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ අත්සනින් නිකුත් කොට ඇති එම නිවේදනය පහත පළවේ.
 
2018-07-06

2018 මැයි මස 09 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදී ඉන්ධන මිල තීරණය කිරීම පිණිස මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලදී. එම තීරණය පරිදී සෑම මාස දෙකකට පසුව තුන් වන මස පස් වන දින මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව වෙත පවරා ඇති බලය අනුව ජූලි මස 5 වන දින පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය කරන ලදී.

මෙම ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තර මිල අනුව ඉන්ධන මිල අඩු වැඩි විය හැකිය. තවද, ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද මිල අඩුවන විට එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇත.  ඒ අනුව ඉන්ධන  අලෙවියෙහි නිරත ආයතනවලට එම සංශෝධිත මිල ආශ්‍රිතව තම ඉන්ධන අලෙවි මිල වෙනස් කළ හැකිය.

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි මිල සම්බන්ධයෙන් මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී  තීරණයක් ගනු ලැබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න