Language Switcher

V2025

ASP ලියනගේ : කටාරයේ ශ්‍රී ලංකා පාසල "බලහත්කාරයෙන්" අල්ලාගෙන 

කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්,පී  ලියනගේ පොලිස් නිලධාරීන් සමඟ ගොස්  දෝහා අගනුවර පිහිටි ස්ටෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ පරිපාලනය බලහත්කාරයෙන් පවරාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව අනාවරණයක් බීබීසී සිංහල සේවය සිදුකර ඇති අතර එය පහත පළවේ.

කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් පොලිසිය සමග පැමිණ බලහත්කාරයෙන් සිය පාසලේ පාලනය පවරාගත් බවට දෝහා අගනුවර පිහිටි ස්ටෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ නිර්මාතෘවරයා චෝදනා කරයි. 

තානාපතිවරයා පොලිසිය ද සමග පාසල වෙත පැමිණි බැවින් එහිදී ගැටුමක් හටගත්තේ නම් එය පාසලට පමණක් නොව ශ්‍රී ලංකාවට ද අපකීර්තියක් බැවින් පාසලේ යතුරු භාර දුන් බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි පාසලේ නිර්මාතෘ සහ භාරකාර මණ්ඩලයේ සභාපති කුමුදු ෆොන්සේකා, එසේ පාසල පවරා ගැනීමට තානාපති කාර්යාලයට කිසිදු අයිතියක් නැති බව අවධාරණය කරයි.

එහෙත් දෝහා නුවර සිටින ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ පවසන්නේ දූෂණ චෝදනා මත භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ඉවත් කිරීමට කටාරයේ අධ්‍යාපන බලධාරීන් (Supreme Council of Education) තීන්දු කිරීමෙන් අනතුරුව පාසල පවරා ගැනීමේ කාර්යයට තමන් සම්බන්ධ වූ බවය.

"ඊයේ අලුත් සභාපතිවරයා රොෂාන් බාලසූරිය කියල මහත්තයෙක් වැඩ භාරගත්ත. දැන් මේක තියෙන්නේ එතුමාගේ සභාපතිත්වය යටතේ," යනුවෙන් තානාපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ නව පරිපාලනය යටතේ අලුතෙන් ගුරුවරුන් ද බඳවාගෙන "හොඳ පරිපාලනයක්" පවත්වාගෙන යන බවය.

oo1
මීට වසරකට ඉහතදී පාසල මුලින්ම ගොඩ නැගූ කුමුදු ෆොන්සේකා එයට ප්‍රතිචාර දක්වමින් බීබීසී යට කියා සිටියේ තානාපතිවරයා විසින් පවරාගනු ලැබුවේ පාසලේ "යතුර පමණක්" බවය. 
002
පාසලේ භාරකාර මණ්ඩලය වෙනස් කළ හැක්කේ පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලයට පමණක් බව පවසන ඔහු තානාපති කාර්යාලයට, කටාර් රාජ්‍යයට හෝ වෙනත් කිසිවෙකුට එවැනි බලයක් නොමැති බව අවධාරණය කරයි.

පාසල පවරා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මීළඟ පාසල් වාරයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇති බව ද ඔහු කියා සිටියේය.

දහසය වසරක් මුළුල්ලේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා පාසල වසා දැමීමට සැරසෙන බවට දැනට මාස ගණනාවක සිට එහි නිර්මාතෘවරයා සහ දෙමාපියෝ තානාපතිවරයාට චෝදනා එල්ල කරමින් සිටිති.

ඒ තත්වය යටතේ මුලින්ම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කටාරයේ සංචාරයක නිරතව කරුණු සොයා බැලූ අතර ඔහුගේ මැදිහත්වීම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද කටාරයේ දී සහ ශ්‍රී ලංකාවේදී දෙපාර්ශවය සමගම සාකච්ඡා කළහ.

විශේෂයෙන්ම අර්බුදය පිළිබඳ තමන් නිගමනයකට එළඹෙන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා මෙන් කොළඹදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තානාපතිවරයාට උපදෙස් දී තිබේ.

තමන්ට එවැනි උපදෙසක් ලැබුණ බව පිළිගන්නා තානාපතිවරයා පවසන්නේ තමන් මෙහිදී ජනාධිපතිවරයා දුන් එම නියෝගය කිසිසේත්ම උල්ලංඝනය නොකළ බවය.

"ජනාධිපතිතුමා කිවුවේ ඔහුව රිමාන්ඩ් කරන්න එපා. ඒ නඩුව ඉල්ලලා අස්කර ගන්න. ඒවා අපි කරා ඒ විදියටම," ඔහු පැවසීය.

එසේ නම් පාසල පවරා ගැනීමේ තීරණය ජනාධිපතිවරයා අනුමත කරන්නේ දැයි විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් ක්‍රියා කළේ අක්ත පත්‍රය ලබා දෙන අවස්ථාවේ ජනාධිපතිවරයා තමා කෙරෙහි තබන ලද විශ්වාසය මත පදනම් වී බවය.

"ඔයාට ලයිසන් එකක් දෙන්නේ ඩ්‍රයිවින් කරන්න නම් ඒ දේ ආයේ අවිශ්වාස කරන්න දෙයක් නෑනේ," තානාපතිවරයා පැවසීය.

එයට ප්‍රතිචාර දක්වන කුමුදු ෆොන්සේකා පවසන්නේ තමන්ට එරෙහිව කිසිදු අධිකරණ නියෝගයක් හෝ ආණ්ඩුවේ නියෝගයක් හෝ නොමැති බව අවධාරණය කරයි.

කෙසේ වුවත්, මේ ගැටුම දෙරට අතර සම්බන්ධතාවලට බාධාවක් විය හැකි බැවින් පාලක මණ්ඩලයට නව සභාපතිවරයෙකු පත්කරන මෙන් කටාරය තානාපති කාර්යාලයට දැනුම් දුන් බව ද ඔහු පැවසීය.

පාසලේ භාරකරුවන් "මුදල් ගසා කන" බව තානාපතිවරයාගේ චෝදනාව වී තිබේ. එහෙත් කුමුදු ෆොන්සේකා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

මේ අතර පාසල පවරා ගැනීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ බෙදා හළ පණිවුඩයක් සම්බන්ධයෙන් තානාපතිවරයා තමන්ට දෝෂාරෝපණය කළ බව සිසුවගේ පියෙක් වන සුසිල් සමරසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.
003
පාසලේ ඉතිහාසය

දිගු කලක් කටාරයේ වාසය කරන කුමුදු ෆොන්සේකාගේ අදහසක් ප්‍රකාර දරුවන් 14 දෙනෙකු සහිතව 2001 ඔක්තෝබරයේ දී දෝහා නුවර ආරම්භ කරන ලද ස්ටෆර්ඩ් (Stafford) ශ්‍රී ලංකා පාසලේ මේ වනවිට 1000 කට අධික දරුවන් පිරිසක් ඉගෙනුම ලබති.

ආරම්භයේ සිටම පාසල පාලනය කරනු ලැබුවේ කුමුදු ෆොන්සේකා ගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් විසිනි.

පාසලේ අධ්‍යාපනය හැදෑරීම පිණිස එක් දරුවෙක් මාසයකට කටාර් රියාල් 850 සහ 900 කට ආසන්න මුදලක් ගෙවන බව මිට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ ඔහු, වෙනත් පාසලක මාසික ගාස්තුව කටාර් රියාල් 3800 ක් පමණවන බව පැවසීය.

සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනමක් මත භාරකාර මණ්ඩලය එය පාලනය කරන බව පවසන සභාපතිවරයා, දරුවන්ගේ පාසල් ගාස්තුවලින් මුදල් ගෙවනු ලබන්නේ පාසලේ ගුරුවරුන්ට පමණක් බව ද කියා සිටියේය.

කටාර් රියාල් මිලියන 17 ක පමණ මුදලක් පාසල් අරමුදලේ ඉතිරිව තිබෙන අතර, ඒ මුදල සහ තවත් අරමුදල් රැස් කර රියාල් මිලියන 60 ක වියදමින් පාසල වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිය බලාපොරොත්තුව බව ද ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.

තානාපතිවරයා පාසල වසා දැමීමට හෝ පවරා ගැනීමට සැරසෙන්නේ මේ මුදල පිළිබඳව 'තන්හාවෙන්' බවට කුමුදු ෆොන්සේකා චෝදනා ක‍රන නමුත් තානාපතිවරයා එම චෝදනාව ද තරයේ බැහැර කරයි.