Language Switcher

V2025

විමල්,රංජන්, රාජිත : මෙහෙම ඩීල් දැම්මද ? නැද්ද ? (වීඩියෝ)

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ අතර සිදුවූ දුරකථන සංවාදයක් ඇතුළත් හඬ පටයක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

එම සංවාදයට අදාළ ඇමතුම  ලබාගන්නේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින්ය. සංවාදයේ ආරම්භයේ විමල් වීරවංශ විසින් රංජන් වෙත එල්ල කරන විවේචන ගැන විමසීමක් සිදුවන අතර එහෙත් පසුව සංවාදය යොමු වන්නේ විමල් සහ ශෂී වීරවංශට අදාළව තිබෙන නඩු කටයුතු සමතයට පත්කර ගැනීම සම්බන්ධව ය.

 අමාත්‍ය රාජිත සේනාරත්න (රාජිත අයියා) හරහා නීතිපති සතුව තිබෙන නඩු ලිපිගොනු සම්බන්ධව සහනයක් ලබාදීමට  ඔහුගේ බිරිඳ වන සුජාතා සේනාරත්න (සුජාතා අක්කා ) තම නඩු කටයුතු ගොඩින් බේරා ගැනීමට සහය දෙන බවට පවසා ඇති බවද එහිදී ශෂී වීරවංශ සඳහන් කරයි.

දුරකථන සංවාදය හරහා පෙනී යන්නේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකද එම නඩු කටයුතු වලින් සහනයක් ලබාදීමට ශෂී වීරවංශට පොරොන්දුවී ඇති බවය.

පෙනීයන ආකාරයට නම් මේ  රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ තවත් මාධ්‍ය සංදර්ශනයක් වීමට තිබෙන ඉඩකඩ වැඩිය. මන්ද ඔහු හිටපු රාජ්‍ය අමාත්‍යවරියකවූ විජයකලා මහේෂ්වරන්ගේ සිදුවීමේදීද මෙවැනිම ආකාරයේ දුරකථන සංවාදයක් හරහා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූ නිසාය. එසේම එය ඔහු දෛනික පුරුද්දක් කරගෙන ඇති බවක්ද පෙනීයයි.

ඒ පෙර අවස්ථා ගණනකදීද  මේ ආකාරයේ වැඩ ඔහු සිදුකර ඇති නිසාය.

එහෙත් මේ සංවාදයේ ඇතුළත් කරුණු සත්‍ය නම් ඒ හරහා ගම්‍ය වන සත්‍යක්ද අප හමුවේ අනාවරණය වෙයි. 

ඒ මාධ්‍ය සංදර්ශන වලදී මාරාන්තිකව විරුද්ධවාදීන් ලෙස හැසිරෙන පාර්ශව ඊට අතිරේකව තවත් කටයුත්තක නිරත වන බවය. එනම් රාජපක්ෂ සමයේ සිදුකල විවිධ අපරාධ, අක්‍රමිකතා සහ දුෂණ සම්බන්ධව වගකිව යුත්තන් අද නීතිය හමුවට ගේනවා, හෙට දඬුවම් දෙනවා කියමින් ජනතාව ඇන්දිල්ලක් සිදුකරන බවය.

එසේ ජනතාව නොමග යවා සිය බල සම්බන්ධතා නඩත්තු කිරීම වෙනුවෙන් ඒ කරන ප්‍රකාශ වල ප්‍රතිවිරුද්ධ වැඩේද සිදුකරන බවය.අනෙක් අතට මාරාන්තික දේශප්‍රේමීන් සිය පරණ පව් කමා කර ගැනීමට රහසින් ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවේ වැඳ වැටී එළියට බොරු වීරකම් ප්‍රදර්ශනය කරන බවය.

ඒ හරහා අවසානයේ සමාජ යුක්තිය ගැන වන අපේක්ෂා නිර්ලජ්ජිත ආකාරයට බිඳ වැටෙද්දී මේ පහත් වැඩ කරන උදවිය කවුරු බලයට ආවත් ආරක්ෂිතව සිටීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

කෙසේ වුවත් නැවතත් ආවධාරණය කළ යුතුව ඇත්තේ මේ ගැන වන අප විවේචනය අදාළ වන්නේ ඉහත සංවාදයේ තොරතුරු සත්‍ය නම් පමණය. 

අදාළ හඬ පටයට පහතින් සවන් දෙන්න.