සිසුවකු යහ මඟට ගැනීමේ අරමුණෙන් දඬුවම් කල විදුහල්පති හට වසර තුනක සිර දඬුවම් නියමවී ඇති පුවතක් වාර්තා වෙයි.
අඹ ගෙඩි කිහිපයක් සොරාගත් බව කියන අහිංසක කාන්තාවකට මාස හයක සිර දඬුවම් වලට යටත් වීමට සිදු වීමත් මිනි මැරුම් සහ ස්ත්‍රී දූෂණවලට සම්බන්ද සැකකරුවන් ඇප මත නිදහස් වී නිදැල්ලේ සමාජ විරෝධී කටයුතු වල නියැලෙමින් සිටීම වැනි පුවත් ලක් වාසීන් හට අළුත් දේවල් නොවේ.
නමුත් පසුගිය සතියේ කුරුණෑගල මහාධිකරණයෙන් වාර්තා වූ පුවතකින් කියවුනේ වසර 38ක දීර්ඝ සේවා කාලයක් පුරාවට පාසැල් සිසුන් දස දහස් ගණනකගේ දෑස් පෑදූ, කීර්තිමත් ව්ශ්‍රාමික විදුහල්පතිවයෙකුට, සිසුවකුට කල දඬුවමක් හේතුවෙන් වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වීම පිළිබඳවයි.
කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් මෙසේ දඬුවම් පමුණුවන ලද්දේ, අතින් පයින් පහරදීමෙන් ශිෂ්‍යයකු කෲරත්වයට පත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ පොල්පිතිගම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයා වන වාසල රාජකරුණා මුදියන්සේලාගේ ජයවර්ධන බණ්ඩාර (68) නමැති අයටය.
වසර 26ක් පුරාවට විදුහල්පති ධූරයේ කටයුතු කර ඇති ඔහු, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් ව්ද්‍යා කීර්ති වැනි ගෞරව සම්මාන වලටද පාත්‍ර වූ පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.
වසර 2010.11.02 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පොල්පිතිගම ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස සේවය කරමින් සිටියදී එවකට එම පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි වයස අවුරුදු 16ට අඩු ජානක සමන් කුමාර නමැති ශිෂ්‍යයාට පහරදී පීඩාවට පත්කිරීම සම්බන්ධව ගොනු කර තිබූ අධිචෝදනා වලට 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධිත පනතේ අංක 308 අ (11) දරන වගන්තිය යටතේ වැරදිකරු බවට පත්වූ ඔහු හට, සිර දඬුවමට අමතරව රුපියල් දස දහසක දඩයක් ද, අගතියට පත් ශිෂ්‍යයාට රුපියල් ලක්ෂයක වන්දියක් ද ගෙවීමට මහාධිකරණ විනිසුරුවරිය නියම කළාය.
නමුත් මේ පිටුපස තරමක වෙනස් කතාවක් ද සැඟව ඇතැයි යන්න මෙම නඩුව පිළිබඳව අවධානයෙන් සිටි බොහෝ දෙනෙකුගේ අදහසවී ඇත.ඒ විදුහල්පතිවරයා සමග අදාල සිසුවාගේ පවුලේ සාමාජිකයන් අමනාපයකින් සිටි බව ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ කරුණක් වීම නිසාය.
කලකට ඉහතදී එම සිසුවාගේ මව පාසැලට නොගැලපෙන ඇඳුමකින් සැරසී පාසල් භූමියේ රැඳී සිටිනු දුටු විදුහල්පති ජයවර්ධන මහතා එම කාන්තාව හට පිටව යන ලෙස දන්වා සිටි සිද්ධියක් මත ඒම විරසකය හට ගෙන ඇත. තවද එම සිසුවාගේ සහෝදරයෙකුට එම පාසලේ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකාර ධුරය ලබා නොදීම පිළිබඳව ද විදුහල්පතිවරයා සමග සහෝදරයාගේ දැඩි අමනාපයක් තිබූ බව ගම්වාසීන් මෙන්ම පාසලේ ගුරුවරුන් සහ සිසුන් ද දැන සිටි කරුණකි.
සිසුන් යම් වැරැද්දක් කල විට ඔවුන් යහ මඟට ගැනීමට දඬුවම් කිරීම ඉතා සාමාන්‍ය දෙයකි. නමුත් ඉහත කී ශිෂ්‍යයා හට ලබා දුන් දඬුවම විදුහල්පතිවරයාගෙන් පලි ගැනීමට තමන් ලද අනගි අවස්ථාවක් ලෙස සිතූ ඔහුගේ මව විසින්, විදුහල්පතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර විදුහල්පතිවරයා අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් සිසුවා රෝහල් ගතකර ඇති බව ප්‍රදේශවාසීන්ද පවසයි.
ඒ බව තවත් තහවුරු කරන්නේ සිසුවාගේ මිතුරන්ම පවසන පරිදි දඬුවම් ලද දිනට පසුදා ද ඔහු සාමාන්‍ය පරිදි පාසැල් පැමිණ ඇති අතර පහර දීමෙන් තුවාල ලබා ඇතැයි කියමින් රෝහල් ගතවී පොලීසියට පැමිණිලි කොට ඇත්තේ ඊටත් පසු දින වීම නිසාය. මෙම සිදුවීමට විරෝධය පල කරමින් ඊයේ (11) දිනයේ දී පොල්පිතිගම ජාතික පාසලේ ගුරුවරුන් හා සිසුන් මෙන්ම ගුරු සන්ගම් ක්‍රියාකාරීන් ද එක්ව විරෝධතා ව්‍යාපාරයක් ද දියත් කර ඇති අතර, සිසුවා සහ ඔහුගේ පවුලේ අය වෙත ප්‍රදේශවාසීන්ගේ දැඩි අප්‍රසාදය ද එල්ල වන බවද වාර්තා වේ.
{gallery}polpithigama{/gallery}

