යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දෙවන සේවා දිගුවක් ලබාදීම හේතුවෙන් අවසන් ඊලාම් යුද්ධයේ හමුදා ප්‍රධානීන් අතර ඉතිරිවී සිටින මේජර් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ඉහළ හමුදා නිලධාරීන් රැසකට යුද හමුදාපති ධුරයට පත්වීම් නොලැබ විශ්‍රාම යෑමට සිදුව ඇත.
ඒ අනුව දැනට යුද හමුදාවේ දෙවනියා ලෙස සැළකෙන එහි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුටද, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනටද, ස්වේච්ජා බලසේනාවේ අධිපති මේජර් ජෙනරාල් ප්‍රියල් වික්‍රමරත්නටද යුද හමුදාපතිවරයාගේ සේවා දිගු කාලය තුළදී විශ්‍රාම යෑමට සිදුවනු ඇත.
මේ වසරේ අගෝස්තු 18 දින යුද හමුදාපතිවරයාට ලබාදුන් පළමු සේවා දිගුව අවසන්වීමට නියමිතව තිබු අතර දෙවන සේවා දිගුවත් සමඟ ඔහුට 2019 වසරේ අගෝස්තු 18 දින දක්වා යුද හමුදාපතිධුරයේ කටයුතු කළ හැකිය.
එම කාලය තුළදී යුද හමුදාපති තනතුර සඳහා සුදුසුකම් පෙන්වා සිටි ඉහත සඳහන් නිලධාරීන්ට අමතරව මේජර් ජෙනරාල්වරුන් වශයෙන් කටයුතු කරන ශවේන්ද්‍ර සිල්වා, රුවන් කුලතුංග, රුක්මාල් ඩයස් හා දර්ශන හෙට්ටිආරච්චිටද වයස අවුරුදු පනස් පහ පිරීම නිමිත්තෙන් විශ්‍රාම යෑමට සිදුවනු ඇත.
යුද හමුදා නීතිය අනුව වයස අවුරුදු පනස් පහ සම්පුර්ණ වීමට පෙර යුද හමුදාපතිධුරය ලබා ඊළඟ නිලය වන ලුතිනන් ජෙනරාල් නිලයට උසස්වීම් නොලැබුවහොත් දැනට සිටින මේජර් ජෙනරාල්වරුන් විශ්‍රාම යා යුතුය.
(අනිද්දා)

