සැපයුම් ජාලයට අත නොතබා : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කරන්න බෑ - අගමැති

සැපයුම් ජාලයට අත නොතබා : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කරන්න බෑ - අගමැති

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයට අත නොතබා රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කළ නොහැකි බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

පසුගිය පාලන සමයේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවීමට මූලික සුදුසුකම් ලෙස සැලකුවේ ස්ත්‍රී දූෂණය එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය බෙදාහැරීම බවත් මත්ද්‍රව්‍ය උවදුර නතර කිරීමට පියවර ගන්නා ලෙස එදා තමන් අවධාරණය කළත් පැවති පාලනය සිදුකළේ  බෙදාහරින අය අල්ලා ගැනීමට ක්‍රියා කිරීම පමණක් බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අද (14) ගොකරැල්ල සහ ඉබ්බාගමුව ප්‍රදේශවල පැවැති උත්සව කිහිපයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර  2015 සිට මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අක්‍රීය කිරීමට තම රජය පියවර ගත් බවත් බවද පැවසීය.

එසේම 2002 වසරේ තම රජය  ආරම්භ කළ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගොස් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම, මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට නිසි වැඩපිළිවෙළක් නොතිබීම හා දේශපාලන මැදිහත්වීම් නිසා කොළඹ නගරවලට පමණක් සීමාවී පැවැති මත්ද්‍රව්‍ය අද වනවිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා ව්‍යාප්තවී පාසල් සිසුන් නැඹුරු කර ගන්නා තත්ත්වයට පත්ව ඇති බවද අග්‍රාමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.
ඉබ්බාගමුව ශ්‍රවණාගාරය විවෘත කිරීම නිමිත්තෙන් අද එහි පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින ගොකරැල්ල පොලිස් ස්ථානයේ නව තෙමහල් ගොඩනැගිල්ල, වාරියපොළ පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල සහ වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ද විවෘත කරනු ලැබීය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඕනෑම රජයක යුතුකම හා වගකීම බවට පත්ව තිබෙන්නේ ඒ රටේ නීතිය හා පරිපාලනය ඉදිරියට ගෙන යෑම බවත් රටේ නීතියක් නැති නම් පරිපාලනයක් නැති අතර  පරිපාලනයක් නැති නම් නීතියක්ද නොමැති වන බැවින්  මේ අංශ දෙක එකට ගෙන යා යුතු බවද සඳහන් කර ඇත.

එසේම වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.

නීතිය හා පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙනවා නම් රට ඉදිරියට ගෙන යන්න බැහැ. මේ අංශ ස්වාධීනව ඉදිරියට ගෙන යෑමේ ගමන 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත් කිරීමෙන් පසු අප ආරම්භ කළා.

2015 සිට රටේ අපරාධ මර්දනය කිරීම හා ඒවා මැඩපැවැත්වීමට විශාල වැඩකොටසක් සිදු කර තිබෙනවා.

අද මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අතීතයේ මත්ද්‍රව්‍ය තිබුණේ කොළඹ නගර කිහිපයක පමණයි. නමුත් පසුගිය වසර ගණනාව මුළුල්ලේ පොලීසියට නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට නොහැකි වූ නිසා අද මත්ද්‍රව්‍ය ගමට ව්‍යාප්ත වී තිබෙනවා. අද ඇතැම් කුඩා පාසල්වලට ද මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී තිබෙනවා. මෙය අද රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව කිව යුතුයි.

2002 වසරේ අප ආරම්භ කළ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගොස් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළා නම් මේ ආකාරයට ගමට මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට නිසි වැඩපිළිවෙළක් නොතිබූ නිසත්, ඊට දේශපාලන මැදිහත්වීම් නිසත් නීතිය යටපත් වුණා.

2015 දී මත්ද්‍රව්‍ය මැඩලීමේ එතෙක් පැවැති ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අප වෙනස් කළා. ඒ අනුව සැපයුම් ජාලය කඩාදැමීමට අපේ රජය පියවර ගත්තා. මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය කඩන්නේ නැතිව මත්ද්‍රව්‍ය මැඩලිය නොහැකියි.

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීම සම්බන්ධව අප සාකච්ඡා කර කෙසේ හෝ සැපයීම් ජාලය කඩාදැමිය යුතු බවට තීරණය කළා. ඒ අනුව ගත් පියවර නිසා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අඩු කර ගැනීමට හැකිවී තිබෙනවා.

මත්ද්‍රව්‍ය මැඩලීම් හා ඒ පිළිබඳ අලූත්ම තත්ත්වය සම්බන්ධව නීතිය හා සාමය පිළිබඳ ඇමැතිතුමාට හා පොලිස්පතිතුමාගෙන් මා තොරතුරු විමසුවා. ඒ අයගෙන් දැනගැනීමට ලැබුණු පරිදි 2015 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 46 ක්, 2016 දී කීලෝග්‍රැම් 207 ක්, 2017 දී කිලෝග්‍රෑම් 250 ක්, 2018 ගෙවුණු මාස 07 තුළ කිලෝග්‍රෑම් 50 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2015 දී  ගංජා කිලෝග්‍රෑම් 6570 ක්, 2016 දී කිලෝග්‍රෑම් 4178 ක්, 2017 දී කිලෝග්‍රෑම් 4987 ක්, 2018 ගෙවුණු මාස 07 තුළදී කිලෝග්‍රෑම් 2900 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කොකේන් 2015 දී කිලෝග්‍රෑම් 06 යි, 2016 දී කිලෝග්‍රෑම් 1571 ක්, 2017 දී 221 ක්, 2018 දී ගෙවුණු මාස 07 තුළ දී කිලෝග්‍රෑම් 14 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය මර්දනය කිරීමට අප ගත් පියවර නිසා අද මත්ද්‍රව්‍ය සැපයුම අඩු වෙලා තිබෙනවා.  එමෙන්ම මත්ද්‍රව්‍ය මිල තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. එමෙන්ම සැපයීමේ ප්‍රමාණය අඩුවීම නිසා බෙදාහරින අය අතර ගැටුම් ඇතිවී තිබෙනවා.

මේ අනුව නීතිය හා සාමය ඇමැතිතුමාටත් සහ පොලිස්පතිතුමාටත් මා උපදෙස් දී තිබෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවට හානියක් නොවන ආකාරයට මත්ද්‍රව්‍ය පාලනය කරන ලෙසයි. එම කටයුතු අද ඉතා ක්‍රමවත්ව ඉටුවන බව කිව යුතුයි.

මෙම අවස්ථාවට එජාප මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න