Language Switcher

V2025

ඉහළම කුඩු බිස්නස්කාරයන් ඉන්න තැන් ගැන මංගලගෙන් ඔත්තුවක් (වීඩියෝ)

"මම මරණ දඬුවමට එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මොකද මරන දඬුවම තියෙන කිසිම රටක අපරාධ අඩුවෙලා නැහැ. ඒක ඔප්පු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල මරණ දඬුවම තවමත් ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රාන්තවල තමයි ගොඩක් වෙලාවට වැඩි අපරාධ වැඩි මිනීමැරුම් තියෙන්නේ" මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටින්නේ  මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට අදාළව මරණ දඬුවම ලබාදිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය සහ සමාජයේ ඇතැම් පිරිස් දක්වන අදහසට ප්‍රතිචාර දක්වමින්ය. 

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා,

"මම කියන්නේ මේ කුඩු තර්ජනය සැහැල්ලුවට ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක සම්පූර්ණ තරුණ පරම්පරාවට බලපානවා. නමුත් මෙතනදි අපි කුඩුවලට ඇබ්බැහිවන තරුණයනුත් මේ රටට කුඩු ගෙන්වන මහා මුදලාලිවරුනුත් එක ගොඩට දාලා බලන්න බැහැ. 

ඇත්ත වශයෙන්ම කුඩුවලට ඇබ්බැහිවන තරුණයන්ගෙන් හිරගෙවල් පිරෙව්වයි කියලා මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ අයව පුනරුත්ථාපනය (Rehabilitation) කරන්න ඕනේ. රටේ තව තවත් (Rehabilitation Centers) ඇති කරන්න ඕනේ තව තවත් අර අහිංසක තරුණයන් විවිධ ප්‍රශ්න නිසා ඇබ්බැහිවෙන ඒ අහින්සකයන්ට. නමුත් අර ඉන්න මහ මහ උන් ටික අල්ලන්න පුළුවන්ද මම මේ අවන්කවම අහන්නේ? ඔය ඉන්න මහ උන් ටික මරණ දඬුවම ගෙනාවත් අල්ලන්න පුළුවන්ද? 

"සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියා, ජූරියයි, විනිශ්චයකාරතුමයි, මිනී මරණ කෙනයි ඔය ඔක්කොම එකක් වෙන අවස්ථා තියෙන රටක මරණ දඬුවමෙන් ඔය කියන මහා පරිමානයේ කුඩු කාරයෝ අල්ලන්න පුළුවන් නම් හොඳයි. නමුත් මම නම් කියන්නේ කිසිම මිනීමැරුමකට වුණත් මරණ දඬුමට එකඟ නැහැ. නමුත් අනිත් පැත්තෙන් මම කියනවා මරණ දඬුවමට වඩා ශක්තිමත් අපරාධකාරයෙක්ම නොමරා මරන්න ඕනේ. ජීවත් වෙමින් සිටියදී මරන්න ඕනේ දිනපතාම. ඒක කරන්න වෙන්නේ එකම විදිහයි. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්නොත්, ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් විඳින්න ඕනේ. එහම නැත්නම් සල්ලි තියෙනවා නම් හිරගෙදර ඉස්පිරිතාලෙ ඉඳලා අවුරුදු පහක් දහයක් ඉඳලා එන එක නෙවෙයි. මිනීමරණවට වඩා හොඳයි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ රටේ නීතිය තිතට ක්‍රියාත්මක කරන්න ඒක තමයි මේ ප්‍රශ්නෙට තියෙන නියම විසඳුම. හැබැයි එසේ කියලා මුළු කැබිනට් මණ්ඩලයම මේකට එකඟ වුණා. මම විරුද්ධ වුණත් පොදු තීන්දුවක් තියෙනවා.

ඔවුන් අල්ලගන්න හැම මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ප්‍රධාන කට්ටිය බන්ධනාගාරය තුළ ඉඳගෙනම තමයි මේවා මෙහෙයවන්නේ!

වෙන්න ඇති. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. බන්ධනාගාරය තුළ ඉඳන් මෙහෙයවනවානම් ඔක්කොටම ඉස්සෙල්ලා අල්ලගන්න ඕනේ ජේලර්ල ටික. එගොල්ලන්ට දෙන්නේ කවුද? කොහෙන්ද එහෙම තත්වයක් ඇති වෙන්නේ. ඒක නිසා දඬුවම් කරන්න ඕනෙ තැනට දඬුවම් කරල ඉන්න ඕනේ.

එතකොට ඇයි මේක වෙන්නේ නැත්තේ?

හරි වෙන්නේ නැත්තේ ඇයි කියලා මම තව ඇත්තක් කියන්නම්. ඔය බන්ධනාගාරය ඇතුලේ ඉන්නේ දෙවෙනි පෙළේ කුඩු බිස්නස් කාරයෝ. මේ රටේ පළවෙනි පෙළේ ඉන්න කුඩු බිස්නස් කාරයෝ ටික කොහෙවත් නෙවෙයි ඉන්නේ හොඳ හොඳ ලයන්ස් ක්ලබ්වල, රෝට්රි ක්ලබ්වල, බෞද්ධ සංවිධානවල සභාපතිවරු හැටියට ප්‍රධාන උපාසක උපාසිකාවන් හැටියටයි ඒ අය ඉන්නේ. මම මේ දන්න නිසා කියන්නේ.